නොසිතූ මොහොතක උණුසුම් තරගයක්; ජය ශ්‍රී ලංකාවට

493
SLPBXI vs Ban

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම අතර පැවැත්වෙන පෙර පුහුණු තරගය අද (22) කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැති අතර, එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම ලකුණු 2ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. 

මෙම තරගය සඳහා එළඹෙන බංග්ලාදේශ තරගාවලියේ ශ්‍රී ලංකා එක්දින සංචිතය නියෝජනය කරන කුසල් පෙරේරා, තිසර පෙරේරා, ධනංජය ද සිල්වා හා සචිත් පතිරණ ද එක්ව සිටින ලදි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම වෙත පළමුව පන්දුවට පහරදීමට අවස්ථාව ලබා දුන් අතර, කෝල්ට්ස් තණතීරුවට ආරම්භක පිතිකරුවන් ලෙස පැමිණි ඩිල්ශාන් මුණවීර හා කුසල් පෙරේරා පළමු පන්දුවාර 5 තුළ රිසිලෙස ප්‍රහාරය දියත් කරමින් ලකුණු 34ක් ලබා ගන්නා ලදි. 4 පහර 3ක් හා එක් 6 පහරක් බංග්ලාදේශ පන්දු හමුවේ එල්ල කල මුණවීර, ලකුණු 24කට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස දැවී යන ලදි.

අනතුරුව පිටියට පැමිණි සඳුන් වීරක්කොඩි හා එක්වූ කුසල් පෙරේරා වේගවත්ව පිතිකරණයක නිරත වෙමින් ලකුණු 114 අනර්ඝ සබඳතාවයක් දෙවන කඩුල්ල සඳහා ගොඩනැංවූ අතර, බංග්ලාදේශයට එතෙක් දුරට හිසරදයක් ව සිටි සඳුන් වීරක්කොඩි 4 පහර 8ක් හා දැවැන්ත 6 පහර 2ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා ඉනිම තුළ වැඩිම ලකුණු ලාභියා ලෙස තම වගකීම ඉටු කරමිනි. කුසල් පෙරේරා ලකුණු 64ක් ලබාගෙන සිටිය දී ආබාධයකට ලක්වූ නිසා පිටියෙන් ඉවත් වීමට සිදුවූ අතර ඒ වන විටත් ඔහු 4 පහර 4ක් එල්ල කර තිබුණි.

මැදපෙළ සවිමත් කරමින් තම පිත්ත ක්‍රියාත්මක කළ ධනංජය ද සිල්වා හා තිසර පෙරේරා වේගවත් ලෙස බංග්ලාදේශ පන්දු වලට පහරදෙමින් පිළිවෙළින් ලකුණු 52ක් හා ලකුණු 4ක් බැගින් රැස්කර ගන්නා විට, එහිදී ධනංජය ද සිල්වා 4 පහර 5ක් එල්ල කරමින් තම අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත් විය.

අවසන් පන්දුවාර කිහිපය තුළ ක්‍රියාත්මක වූ දසුන් ශානක, පන්දු 12ක් තුළ 4 පහර 2ක් හා එක් 6 පහරක් සමඟින් වේගවත් ලකුණු 26*ක් ලකුණු පුවරුවට එක් කරන ලදි.

නියමිත පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම ලකුණු 354 දැවැන්ත ලකුණකට හිමිකම් කීමට සමත් විය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් නායක මශ්රෆ් මොර්ටාසා, ටස්කින් අහමඩ්, සුන්සාමුල් ඉස්ලාම් හා අබුල් හසන් එක් කඩුල්ල බැගින් දවාලන ලදි.

ලකුණු 355 දැවැන්ත ලකුණක් හඹායාමට පිටියට පැමිණි බංග්ලාදේශ ඉනිමේ පළමු පන්දුව තුළම ක්‍රියාත්මක වූ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු, බංග්ලාදේශ කණ්ඩායමේ ඉම්රුල් කයිස් ලකුණු බින්දුවකට දවා ගැනීමට සමත් විය.

ඉන් අනතුරුව පිටියේ එක්වුනු සෞම්‍ය සරක්කාර් හා සබීර් රහමාන් ලකුණු 116ක සුපිරි සබඳතාවයක් ගොඩනංවන ලදි. එහිදී සරක්කාර් 4 පහර 5ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 47ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී යන ලදි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රහමාන් 4 පහර 11ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 72ක් ලබාගෙන පිටිය වර්ණවත් කරන ලදි.

කඩුලු 7ක් දැවී ලකුණු 239ක් ලෙස බංග්ලාදේශ ලකුණු පුවරුව දිස්වෙද්දී, පිටියට පැමිණි නායක මශ්රෆ් මොර්ටාසා සමඟින් එක්වුණු මහමදුල්ලා 8වන කඩුල්ල සඳහා ලකුණු 101ක විශිෂ්ට සබඳතාවයක් පවත්වාගෙන අවසන් පන්දුවාර කිහිපය තෙක් තරගය ඇදගෙන ආවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මොහොතකට නිහඬ කරවමිනි. අවසන් පන්දුවාරය තුළ ලකුණු 13ක් තම ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ලබා ගැනීමට නියමිතව අවැසිව තිබූ අතර, තිසර පෙරේරා අවසන්  පන්දුවාරය උපක්‍රමශීලීව භාවිතා කළ නමුත්, මහමදුල්ලා සාර්ථකව තම ප්‍රහාරය දියත් කරන ලදි. නමුත් අවසන් පන්දුවට ලකුණු 4ක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි විය. අවසානයේ ලකුණු 2ක තියුණු ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

එහිදී මහමදුල්ලා 4 පහර 4ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 71*ක් නොදැවී රැස්කරගන්නා ලදි. පන්දු යැවීමේ දී අකිල ධනංජය කඩුලු 3ක් දවාලමින් දස්කම් දැක්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායමකඩුලු 7ක් දැවී ලකුණු 354 (පන්දුවාර 50): සඳුන් වීරක්කොඩි 67, කුසල් පෙරේරා 64, ධනංජය ද සිල්වා 52, තිසර පෙරේරා 41, මිලින්ද සිරිවර්ධන 32, සුන්සාමුල් ඉස්ලාම් 1/27, අබුල් හසන් 1/25

බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 352 (පන්දුවාර 50): සබීර් රහමාන් 72, මොහොමඩ් මහමදුල්ලා 71*, මශ්රෆ් මොර්ටාසා 58, මොස්දෙක් හුසේන් 53, සවුම්ය සරක්කාර් 47, අකිල ධනංජය 3/61, චතුරංග ද සිල්වා 2/53

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය ලබන 25 වන සෙනසුරාදා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාගංනයේදි පැවැත්වීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට 

Match Highlights