දනුෂ්කගේ ශතක සිහිනය බොඳ වුවත් ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක

1407

අගෝස්තු පළමු වැනිදා සිට ආරම්භ වූ ලෝක ටෙස්ට් ශූරතාව වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයට පිවිසෙන්නේ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සමඟයි. ඒ ලබන 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. 

ඊට පෙර කණ්ඩායම් දෙකම මෙම තීරණාත්මක තරගාවලියට සූදානම් කිරීම වෙනුවෙන් පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ පළමු දිනය අද (08) වර්ෂාවේ බාධා මැද ක්‍රියාත්මක වූයේ ශ්‍රී ලංකාවට වැඩි වාසි ගෙන දෙමිනි.

නවසීලන්ත තරගාවලිය ලේසියට ගන්න බැහැ – දිමුත්

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර…..

අනපේක්ෂිත ලෙස අද අලුයම සිට දිවයින පුරා බල පැවැත්වුණු අයහපත් කාලගුණ තත්ත්වය නිසා අද පුහුණු තරගය ආරම්භ වූයේ පැය දෙකහමාරක පමණ ප්‍රමාදයකින් පසුවයි. සාමාන්‍යයෙන් මෙවැනි කාලගුණ තත්ත්වයක් යටතේ බොහෝ නායකයින් මුලින් පන්දු යැවීමට ප්‍රිය කළ ද ශ්‍රී ලංකා සභාපතිගේ පිළේ නායකත්වය හොබවන අශාන් ප්‍රියන්ජන් කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව තීරණය කළේ මුලින් පිතිකරණයේ යෙදීමටයි. අවට පරිසරය කෙසේ වුවද අද කටුනායක නිදහස් වෙළඳ කලාපීය ක්‍රීඩාංගණයේ තරගය වෙනුවෙන් සකසා තිබූ තණතිල්ල එතරම් තර්ජනාත්මක බවක් පෙන්නුම් නොකිරීම ඔහුගේ මෙම තීරණයට හේතු වන්නට ඇත.

නවසීලන්ත කණ්ඩායම ද තම කණ්ඩායම සතු අත්දැකීම්වලින් පරිපූර්ණම පන්දු යවන්නන් දෙදෙනා වන ට්‍රෙන්ට් බෝල්ට් සහ ටිම් සවුති ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා ලෙස භාවිතා කරමින් තරගයට අවතීර්ණ වුවද ශ්‍රී ලංකා ආරම්භයට බාධා කිරීමට ඔවුන්ට හැකි නොවීය. ඒ අද ඉනිම ඇරඹූ දනුෂ්ක ගුණතිලක සහ සදීර සමරවික්‍රම ඉතාමත් මැනවින් පන්දු තෝරා බේරා ගනිමින් පිතිකරණයේ යෙදුණු බැවිනි. ඔවුන් දෙදෙනා අද පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 154ක් එක් කළේ මේ දිනවල ශ්‍රී ලංකා පිළේ පිතිකරණ ස්ථාන සියල්ලකටම පාහේ හොඳ තරගයක් ඇති බව පෙන්නුම් කරමිනි.

ආබාධ තත්ත්වයක් නිසා හොඳින් දස්කම් අතර සිටි කාලයක කණ්ඩායමෙන් සමුගෙන යන්නට සිදු වූ දනුෂ්ක ගුණතිලක අද නැවතත් සුපිරි ඉනිමක් දියත් කළේ තම පිතිකරණ ස්ථානය නැවත දිනා ගැනීමේ අභිලාෂයෙනි. කෙසේ වෙතත් ශතකයට ලකුණු දෙකක් තිබියදී  ලෙග්-ස්ලිප් කලාපයට උඩපන්දුවක් ලබා දෙමින් ඔහු දැවී යාම දිනයේ සිදු වූ අවාසනාවන්තම සිදුවීම බවට පත්විය. ඒ මොහොත වන විට ඔහු මනා විශ්වාසයකින් පිත්ත හසුරුවමින් හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණි. කඩුල්ලේ අයිතිය අජාස් පටෙල්ට හිමි විය.

වේගපන්දු පුහුණුකරු නවසීලන්ත තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු වෙයි

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ටෙස්ට් තරග දෙකකින්…..

දනුෂ්ක සමඟ ශතක සබඳතාවයකට හවුල් වූ සදීර අද ලකුණු 40 දී අත්වැරදීමකින් උඩපන්දුවක් ලබා දුන්න ද එය නිපන්දුවක් බවට පත්වීම නිසා ලද අවසරයෙන් ලකුණු 80ක් දක්වා ඉනිම වර්ධනය කර ගත්තේය. කෙසේ නමුත් ඔහු අද හතරේ පහර 13ක් සමඟින් ක්‍රීඩා කළ ඉනිම තුළ හොඳ තාක්ෂණයක් සහ කල් මැනීමක් දැක ගන්නට ලැබීම සුබවාදී කරුණක් විය. පසුගිය දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය අතර පිත්තෙන් කැපී පෙනෙන දක්ෂතා දක්වූ ඕෂධ ප්‍රනාන්දුට අද දිනය වාසනාවන්ත නොවූ අතර ඉදිරියට පැන එල්ල කළ පහරක් පන්දු යැවූ අජාස් පටෙල් විසින්ම රැක ගැනීමත් සමඟ ලකුණු 4කට දැවී ගියේය.

Photos: Sri Lanka Board President’s XI vs New Zealand | Tour Match – Day 1

මේ ආකාරයෙන් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු දැවැන්ත සබඳතාවයෙන් අනතුරුව කිවියන් වෙනුවෙන් දිගින් දිගටම කඩුලු දවා ගැනීමේ යෙදුනේ අජාස් පටෙල් නම් නවක වමත් පිට දඟපන්දු යවන්නායි. මේ වනවිට වයස අවුරුදු 30 සම්පූර්ණ කර තිබුණ ද ඔහු මේ දක්වා ක්‍රීඩා කර තිබෙන්නේ ටෙස්ට් තරග 5කට පමණි. කෙසේ වෙතත් අද දැක්වූ දක්ෂතා නිසාවෙන්ම ගාල්ලේ දී ආරම්භ වන ටෙස්ට් තරගය ඔහුගේ සයවැනි ටෙස්ට් තරගය වීමේ වැඩි ඉඩකඩක් ඇත.

මැදපෙළ පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි භානුක රාජපක්ෂට ද අද ඔහුගෙන් ගැලවීමක් නොලැබුණු අතර හොඳින් දඟ කැවුනු පන්දුවක් කඩුල්ල බිඳ දමන විට ඔහු කිසිදු ලකුණක් රැස්කර සිටියේ නැත. අද හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමඟින් පන්දු 35කින් ලකුණු 32ක් රැස්කළ ඇන්ජෙලෝ පෙරේරාගේ ධනාත්මක ඉනිම නිමා වූයේද පටෙල්ගේ පන්දුවක් හමුවේයි. 

තරගාවලිය පටන් ගන්නත් කලින් නවසීලන්තය බය වෙලා?

ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව නවසීලන්තය සහභාගි වන පළමු……

සයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ලකුණු 81ක සබඳතාවයක් නිමා කරමින් දිනයේ අවසන් කඩුල්ල ලෙස ලකුණු 35ක් ලබා සිටි පැතුම් නිස්සංක පිටියෙන් ඉවත් කළේ විලියම් සොමර්විල් විසිනි. ඒ මිඩ්-ඕන් කලාපයේ සිටි කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් ගුවනට පියඹා යමින් තම සමබරතාවය ද ආරක්ෂා කරගෙන රැකගත් විශිෂ්ට උඩපන්දුවක ආධාරයෙනි. අනෙක් අන්තයේ සිට ඔහු සමඟ සබඳතාවය ගොඩ නැගීමට හවුල් වූ අශාන් ප්‍රියන්ජන් නොදැවී ලකුණු 56ක් ලබා සිටින්නේ හතරේ පහර 9ක් සමඟිනි.

අද සන්ධ්‍යා කාලයේ දී තවත් සුවිශේෂී සිදුවීමක් හතරේ සීමාවෙන් මෙපිට දී දැකගන්නට හැකි වූ අතර එහි කතා නායකයා වූයේ අද දින තම 29 වැනි උපන්දිනය සමරන කේන් විලියම්සනුයි. තරගය නැරඹීමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් මෙම සුවිශේෂී අවස්ථාව සැමරීමට උපන්දින කේක් ගෙඩියක් ද ක්‍රීඩාංගණයට රැගෙන පැමිණ තිබූ අතර ලෝක අනුශූරතාවය දිනා ගත් නායකයා ද සිසිල් පැන් විවේකය අතරතුරේ ප්‍රේක්ෂකයින් අසලට පැමිණ නිහතමානීව එම සංග්‍රහය භුක්ති විඳිනු දැකගන්නට ලැබුණි. සැබවින්ම පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ පැවති අනාරක්ෂිත තත්ත්වය පහව ගොස් ඇති බව ලොව පුරා ප්‍රචලිත වීමට ද මෙම සිදුවීම මනා පිටිවහලක් වනු ඇත.

අද සන්ධ්‍යා කාලයේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 323කට කඩුලු 6ක් ලෙස දැක්වෙන අතර එහි ගෞරවය ශ්‍රී ලංකා පිළේ පිතිකරුවන්ට හිමි විය යුතුව තිබේ. ඒ ප්‍රථම දිනයේ පැය දෙකකට වැඩි කාලයක් වර්ෂාවට සේදී ගොස් තිබිය දී පවා ඔවුන් පන්දුවාරයකට ලකුණු 5කට ආසන්න වේගයක් රඳවා ගැනීම නිසා මෙවන් විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට හැකි වූ බැවිනි. නවසීලන්ත පිළේ එකම කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්වූ අජාස් පටෙල් ලකුණු 41ට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

මීළඟ ටෙස්ට් පරපුරට ස්ටෙයින් ලබා දුන් පණිවිඩය

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පහල වූ බිහිසුණුම වේගපන්දු යවන්නෙකු ලෙස…..

ඒ අනුව මෙම තුන්දින පුහුණු තරගයේ මුල් දිනයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට හිමිව ඇති බව අවිවාදිතව සඳහන් කළ හැකි අතර හෙට දිනයේ නවසීලන්ත පිතිපෙළ මෙම ඉලක්කය හඹා යන අයුරු නිරීක්ෂණ කිරීමෙන් තරගාවලියේ අවසන් ප්‍රතිඵලය ගැනද සෑහෙන දුරකට නිගමනය කිරීමට හැකිවනු ඇත. ඒ පසුගිය කාලය පුරාවට මෙරටට පැමිණි “සුදු හමක් ඇති පිතිකරුවන්” රතු පැහැති පන්දුවේ දඟ කැවීම ඉදිරියේ නිරුත්තර වී ඇති බවට ඉතිහාසය සාක්ෂි දරන බැවිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<