නවක ඉන්දීය දඟයෙකුගෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්!

5907

එළඹෙන 26 වැනිදා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඇරඹෙන තරග තුනකින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සඳහා පෙර සූදානමක් වශයෙන් පැවැත්වෙන දෙදින පුහුණු තරගය අද (21) කොළඹ CCC පිටියේ දී ආරම්භ විය. එහි දී ඉන්දීය දඟ පන්දු යවන්නන් ඉතාමත් ඉක්මනින් තණතිල්ලේ හැසිරීම වටහා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ව ලකුණු 200කටත් අඩුවෙන් සීමා කිරීම කැපී පෙනුණි.

චන්දිමාල්ට පළමු ටෙස්ට් තරගය අහිමි වේ

ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ දිනේෂ් චන්දිමාල් හට නිව්මෝනියාව වැළඳී රෝහල්ගත කිරීම හේතුවෙන් ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගාවලියේ පළමු ටෙස්ට්…

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා සභාපතිගේ පිළ මෙහෙයවන ලහිරු තිරිමාන්න තීරණය කළේ ප්‍රථමයෙන් පිත්ත අතට ගැනීමටයි. ඒ අනුව ඉනිම ආරම්භ කළ කෞෂාල් සිල්වාගේ කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 9ක් වෙද්දී බිඳ වැටුණි. ඒ වන විට ඔහු රැස් කරගෙන තිබුණේ ලකුණු 4ක් පමණි. ඉන් අනතුරුව ඉතාමත් සාර්ථක සබඳතාවයක් මේ දිනවල දක්ෂතා අතර සිටින ධනුෂ්ක ගුණතිලක සහ ලහිරු තිරිමාන්න අතරේ ගොඩ නැගුණි. ඉන්දීය වේග පන්දු යවන්නන්ව ඉතාමත් හොඳින් පාලනය කළ මෙම වමත් පිතිකරුවන් දෙදෙනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 130ක් එක් කළහ.

ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300ක් වැනි ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළත් ඉන්දීය දඟපන්දු යවන්නන් තරගයට හඳුන්වාදීමත් සමඟම එම බලාපොරොත්තු ක්ෂණයකින් කණපිට හැරුණි. රවින්ද්‍ර ජඩේජාගේ පන්දුවක් හමුවේ අද ලකුණු 59ක් ලබා සිටි තිරිමාන්නට කඩුල්ල අහිමි වූ අතර ඒ වන විට ඔහු අලංකාර හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබුණි. ඉන් සුළු වේලාවකට අනතුරුව ධනුෂ්ක ගුණතිලක ද තම ඉනිම නිමා කොට ක්‍රීඩාගාරයට හැරී ගියේය. ඒ හතරේ පහර 11ක් සමඟින් ලකුණු 74ක් රැස් කරමිනි.

මෙම සබඳතාවය බිඳ වැටීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මැදපෙළ අනපේක්ෂිත අයුරින් නාය ගිය අතර ලකුණු 10 සීමාවට පවා ළඟා වූයේ කඩුලු රකින පිතිකරු සඳුන් වීරක්කොඩි පමණි. ශ්‍රී ලංකාවේ අනාගත ටෙස්ට් බලාපොරොත්තු කිහිපයක් වන ධනංජය සිල්වා, කිත්රුවන් විතානගේ සහ ශෙහාන් ජයසූරිය වැනි පිතිකරුවන් ගිය පයින්ම ආපසු හැරී ක්‍රීඩාගාරයට පැමිණීම ශ්‍රී ලංකා පිළේ පුරප්පාඩු පිරවීමට සිටින තරුණ සංචිතය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඇති කරවීමට සමත් විය. ඒ අනුව සියල්ල අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ සියල්ලන්ම දැවී ලකුණු 187ක් පමණි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නවක චයිනමන් පන්දු යවන්නෙකු වන කුල්දීප් යාදෙව් තමන් ක්‍රියාත්මක කළ පන්දුවාර 7දී උපරිම ඵල නෙලා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන් සිව්දෙනෙකුම දවා ගත්තේය. මෑත අතීතයේ දී පන්දුවෙන් සුවිශේෂී දස්කම් දැක්වූ ඔහු ටෙස්ට් තරගාවලිය අතරතුර දී රවිචන්ද්‍රන් අශ්වින්ගේ සහයකයා වීමට ද ඉඩ ඇත. මීට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා කඩුලු 3ක් ද, මොහොමඩ් ශමී කඩුලු 2ක් ද බිඳ හෙලූහ.

අද පස්වරුවේ සිය පළමු ඉනිම ඇරඹූ ඉන්දියානු පිතිකරුවන් දිනය නිමා වෙද්දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 135ක් රැස් කරගත්හ. ඒ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 52ක් පමණක් පිටුපසින් සිටිමිනි. එහි දී තාක්ෂණයෙන් අනූන නවක ආරම්භක පිතිකරුවෙකු වන කේ. එල්. රාහුල් අර්ධ ශතකයක් වාර්තා කර ගත් අතර චෙටෙස්වර් පුජාරා ලකුණු 12කට දැවී ගියේය. කෙසේ වෙතත් නවක ක්‍රීඩක අභිනව් මුකුන්ද්ව පළමු පන්දුවෙන්ම දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් විය. මේ වන විට නොදැවී පන්දුවට පහර දෙන විරාත් කෝලි ලකුණු 34ක් ද, අජින්ක්‍යා රහානේ ලකුණු 30ක් ද රැස් කරගෙන සිටියි.

හෙට දිනයේ දී ඉන්දියානු පිතිකරුවන් ශ්‍රී ලංකා ඉනිම පසු කරමින් විශාල ලකුණු පුවරුවක් ගොඩ නැගීමට දැඩි උත්සාහයක් දරනු ඇති අතර එය හැකි අයුරින් අඩපණ කිරීමේ වැඩි වගකීම දඟපන්දු යවන්නන්ට හිමිවනු ඇත. මීට අමතරව කසුන් රාජිත, ලහිරු ගමගේ සහ විශ්ව ප්‍රනාන්දු වැනි වේග පන්දු යවන්නන්ට ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමට හෙට දිනයේ දක්වන දක්ෂතාවයන් වැදගත් වනු ඇත. කෙසේ වෙතත් අද දිනයේ තරගය ගලා ගිය ආකාරය සැලකීමේ දී වැඩි පීඩනයක් එල්ල වී ඇත්තේ සංචාරක ඉන්දියානු කණ්ඩායමට වඩා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වන බව නම් පැහැදිලිය.

ශ්‍රී ලංකා සභාපතිගේ පිළ – සියල්ලන්ම දැවී ලකුණු 187 (පන්දුවාර 55.5): ධනුෂ්ක ගුණතිලක 74, ලහිරු තිරිමාන්න 59, රොෂේන් සිල්වා 29*, සඳුන් වීරක්කොඩි 10, කුල්දීප් යාදෙව් 4/14, රවීන්ද්‍ර ජඩේජා 3/31.

ඉන්දියානු පිළ – කඩුලු 3ක් දැවී ලකුණු 135 (පන්දුවාර 30): කේ. එල්. රාහුල් 54, විරාත් කෝලි 34*, අජින්ක්‍යා රහානේ 30*, චෙටෙස්වර් පුජාරා 12, විශ්ව ප්‍රනාන්දු 2/21.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<