ලෝක වාර්තාවක් සමඟින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනී

1554

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන එක්දින තරගය ලකුණු 66කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. නමුත් තරග 2-1ක් ලෙස තරගාවලියේ ජය හිමි වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

ශ්‍රී ලංකාව ලෝක ශූර ඉන්දියාව පරාජය කරයි

කොළඹ BRC පිටියේ පැවති මේ තරගාවලියේ පළමු තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ අතර තරගාවලියේ පළමු තරගයේ දී ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දිනේෂ් මතුගම කඩුලු ත්‍රිත්වයේ අවස්ථාවක් ලබාගත් අතර එය ලෝක දෘශ්‍යාබාධිත ක්‍රිකට් ඉතිහාසයේ දවා ගත් පළමු කඩුලු ත්‍රිත්වයේ අවස්ථාව බව වාර්තා වේ.

තරගාවලියේ අවසන් එක්දින ක්‍රිකට් තරගය වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායම වෙත පිරිනමන ලදි. ගනේෂ් මුදකර්ගේ පිතිකරණය සිය කොඳු නාරටිය බවට පත්කරගත් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 40 තුල කඩුලු 8ක් දැවී ලකුණු 323ක් ලබා ගැනීමට සමත් විය.

මීට අමතරව දකුණතින් පිත්ත හසුරුවන සුනිල් රමේෂ් 4 පහර 6ක් සමඟ ලකුණු 54ක් ලබාගෙන ඉන්දීය ලකුණු සටහනට තවත් එක් අර්ධ ශතකයක් එක් කරන ලද්දේ ආරම්භක පිතිකරුවෙක් වන ලින්ග්‍රාට් ලබාගත් ලකුණු 47ට අමතරවයි. පන්දු යැවීමේ දී නායක  චන්දන සූරියආරච්චි, කෝසල හේරත් හා දකුණතින් මඳ වේගපන්දු යවන දිනේෂ් මතුගම කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉන්දීය අභියෝගය මැඩලයි

තරගාවලියේ මෙතෙක් වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමාණය හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වාර්තා වූයේ එක් අර්ධ ශතකයක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලබා ගත් දකුණතින් පිතිකරණයේ යෙදෙන සහන් කුමාර වේගවත් ලකුණු 84ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිම 4 පහර 9කින් හා 6 පහර දෙකකින් වර්ණවත් විය. නායක චන්දන සූරියආරච්චි ලකුණු 37යි. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමටත් පෙර සියල්ලන්ම දැවී ගොස් රැස් කරගත්තේ ලකුණු 255ක් පමණයි.

පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායමේ රාම්බීර් ලකුණු 40කට කඩුලු 3ක් දවා ගන්නා විට අජේ රෙඩ්ඩි ලකුණු 66කට කඩුලු 2ක් දවා ගන්නා ලදි.

ඉන්දියාව – 323/8 (40): ගනේෂ් මුදකර් 86, සුනිල් රමේෂ් 54, ලින්ග්‍රාට් 47, චන්දන සූරියආරච්චි 2/56, කෝසල හේරත් 2/59, දිනේෂ් මතුගම 2/62.

ශ්‍රී ලංකාව – 255/10 (34.1): සහන් කුමාර 84, චන්දන සූරියආරච්චි 37, රාම්බීර් 3/40, අජේ රෙඩ්ඩි 2/36.

තරගයේ වීරයා – ගනේෂ් මුදකර් (ඉන්දියාව)

තරග පහකින් සමන්විත විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 19 වැනිදා කොළඹ BRC පිටියේ දී පැවැත්වේ. තරගාවලියේ සියලුම තරග වාර්තා, ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<