භූතානය හමුවේ ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

474

වයස අවුරුදු 15න් පහළ දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ අද (20) පැවැත්වූ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම භූතාන කණ්ඩායම හමුවේ ගෝල 06 – 00ක් ලෙස පරාජයට පත්විය. තරගය නේපාලයේ  ANFA පාපන්දු සංකීර්ණ පිටියේ දී පැවැත්විය.

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට

දකුණු ආසියානු පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ දකුණු ආසියානු පාපන්දු…

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වූ මෙම තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් විය. නමුත් භූතාන කණ්ඩායම එම බලාපොරොත්තු සුනුවිසුනු කරමින් බංග්ලාදේශය සමඟින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියෙන් ඉවත්වීමට සිදු විය.

මෙම තරගයට පෙර පැවැත්වූ බංග්ලාදේශ තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 4 – 0ක් ලෙස පරාජය විය. පෙර පැවැත්වූ බංග්ලාදේශ තරගයේ මෙන්ම දුර්වල ක්‍රීඩා විලාසයක් ශ්‍රී ලංකා 15න් පහළ කණ්ඩායම මෙම තරගයේ දී ද ප්‍රදර්ශනය කළේ මෙම තරගාවලිය තුළ එකදු ගෝලයකට හෝ හිමිකම් නොකියමිනි.

තරගයේ 9 වැනි මිනිත්තුවේ දී දොරී කහන්දෝ භූතාන කණ්ඩායම වෙනුවෙන් තරගයේ පළමු ගෝලය ලබා ගන්නා ලදි.  අනතුරුව නැවතත් ඉදිරිපෙළ ආරක්ෂක ක්‍රීඩකයින් මුලාවට හසුකරගත් දොරී කහන්දෝ සිය දෙවැනි ගෝලය තරගයේ 24 වැනි මිනිත්තුවේ දී ලබා ගත්තේය.

තරගයේ 31 වන මිනිත්තුවේ දී නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයින්ගේ දුර්වලතා පිළිබිඹු කරමින් කිංගා වංචුකා පැති කලාපය හරහා පහරක් එලල කරමින් භූතාන කණ්ඩායමේ තෙවන ගෝලය සිය කණ්ඩායමට එකතු කළේය.

තරගයේ පළමු අර්ධය අවසන් වීමට ආසන්නව තිබිය දී භූතාන කණ්ඩායම ගෝල ද්විත්වයක් වාර්තා කර ගත් අතර, එහි දී සිව්වන ගෝලය කෙල්සන්ග් ජිග්මී තරගයේ 41 වන මිනිත්තුවේ දී ශ්‍රී ලංකා දැල් රකින්නාගේ දෑත් අතරින් දැල වෙත යොමු කරන ලදි. එයින් මිනිත්තු 2කට පසුව ක්‍රියාත්මක වූ ජිග්මි තම දෙවන ගෝලය හා කණ්ඩායමේ 5 වන ගෝලය වාර්තා කිරීමට සමත් විය.

තරගයේ පළමු අර්ධය අවසානයේ: ශ්‍රී ලංකාව 0 – 5 භූතානය

තරගයේ පළමු අර්ධය තුල දී ම තරගයේ වැඩි වාසිය හිමි කර ගත් භූතාන කණ්ඩායම තරගයේ දෙවන අර්ධයේ දී තරගයේ පළමු අර්ධය තුල ඔවුන් සතුව තිබූ පීඩනය යම් මට්ටමකට අඩු කර ගෙන නිදහසේ ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ සම්පූර්ණ පීඩනය උරුමකර දෙමිනි. තරගයේ 90 වැනි මිනිත්තුවේ දී භූතාන ක්‍රීඩක සිද්දාර්ත් ගුරුන්ග් 6 වන ගෝලය කණ්ඩායම වෙනුවෙන් වාර්තා කර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත පරාජයක් උරුමකර දෙමිනි. මෙම තරගාවලිය දකුණු ආසියානු පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබේ.

තරගයේ සම්පූර්ණ කාලය අවසානයේ: ශ්‍රී ලංකාව 0 – 6 භූතානය

ගෝල ලබා ගැනීම,

භූතානය – දොරී කහන්දෝ 9’ හා 24’, කිංගා වංචුකා 31’, කෙල්සන්ග් ජිග්මී 43’ & 45+1’, සිද්දාර්ත් ගුරුන්ග් 90’

මීට අමතරව මෙම තරගාවලියේ ඊයේ (19) පැවැත්වූ තරගයේ දී ඉන්දීය කණ්ඩායම ගොල 9 – 0ක් ලෙස මාලදිවයින කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට