SABA කුසලාන පැසිපන්දු තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාර මාලදිවයින අතර පැවැත්විය. තියුණු තරගයකින් අනතුරුව ලකුණු 69-63ක් ලෙස එම තරගයෙන්  පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

1111තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් පළමු ලකුණු 2ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවත්, ඉන් පසු තරගය පුරා ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටීමට මාලදිවයින් කණ්ඩායම සමත් විය. තරගයේ පළමු අර්ධයේ එක් අවස්ථාවක ලකුණු තත්වය ලකුණු 7-7ක් ලෙස ගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවත් මාලදිවයින් කණ්ඩායම ලකුණු 9ක් රැසක් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 2ක් පමණක් ලබා දෙමිනි.

ශ්‍රී ලංකාව පළමු ජයග්‍රහණය වාර්තා කරයි

තරගාවලියේ සිව්වන දිනයේ දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර පැවැත්විය…

මේ නිසා තරගයේ පළමු කාර්තුව නිමා වන විට ලකුණු සටහනේ ලකුණු 21 – 11ක් ලෙස පෙරමුණ ගැනීමට මාලදිවයින් කණ්ඩායම සමත් විය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ දී කාර්තුවක් තුල රැස් කළ අඩුම ලකුණු ප්‍රමාණය වේ.

තරගයේ දෙවන කාර්තුව තුල ලකුණු පරතරය අඩු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තම උපරිම උත්සාහය ගත් අතර ආරක්ෂාකාරී අන්තයේ දුර්වලතා කැපී පෙනෙන්නට විය. තරගයේ ලකුණු පරතරය අඩු කිරීමට ගත් සෑම උත්සාහයක්ම ව්‍යර්ථ වී ගියේ මාලදිවයින් කණ්ඩායමේ ලකුණු 3 ලබා ගැනීම් (3 Points) නවතාලීමට නොහැකිවීම නිසාය.22222

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිතිල අබේසිංහ ලකුණු රැස් කිරීම දිගින් දිගටම සිදු කළ අතර එම නිසා තරගය තුල තවදුරටත් රැඳී සිටීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය. තරගයේ පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 44-33ක් ලෙස මාලදිවයින් කණ්ඩායම පෙරමුණේ තබමිනි.

තෙවන කාර්තුව තුල ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 6ක් දක්වා ලකුණු පරතරය අඩු කර ගැනීමට සමත් විය. නමුත් තම කණ්ඩායමට ලද නිදහස් විසි කිරීම් අවස්ථා කිහිපයක්ම ගිලිහී යාම ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම දෙසින් ඈත් කර තැබීමට සමත් විය.

තෙවන කාර්තුව අවසන් වන විට ලකුණු තත්වය 56-50ක් ලෙස දැක්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම මාලදිවයින් කණ්ඩායමට වඩා ලකුණු 6ක් පසුපසින් සිටිමිනි.

අවසන් කාර්තුවේ තරගය ජය ගැනීමේ අරමුණින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා එතරම් ඉහළ මට්ටමක නොතිබූනු අතර ඔවුන්ට ලකුණු ලබා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම මග හැරී ගියේ මාලදිවයින් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාකාරී අන්තයේ දක්ෂතා හේතුවෙනි. ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් කාර්තුව තුල දී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 13ක් පමණි.33333

තරගය අවසානයේ ලකුණු සටහන 69-63ක් ලෙස දිස් වූයේ වසර ගණනාවකට පසු ශ්‍රී ලංකා කාන්තා හෝ පිරිමි කණ්ඩායමක් මාලදිවයින් කණ්ඩායම හමුවේ පරජයට වැලඳ ගනිමිනි.

තරගය දෙස හරි බැලීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගැනීමට මිතිල අබේසිංහ සමත් වූ අතර ඔහු ලකුණු 21ත් රැස් කර ගන්නා ලදි. අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය.

ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ට ලද නිදහස් විදීම් අවස්ථා 24 – 14ක් පමණක් සාර්ථක කර ගත් අතර මාලදිවයින් කණ්ඩායම තමන්ට ලද අවස්ථා 25 – 20ක්ම සාර්ථක කර ගැනීමට සමත් විය. මෙය තරගයේ තීරණයට බෙහෙවින් බලපෑම් කළ සාධකයක් විය.

නිමා වූ ජාතික ශූරතා තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් ඇන්තනි වෙනිටෝ, මෙම තරගාවලියේ දී තරගයක් තුල ක්‍රීඩා කළ වැඩිම කාලය සටහන් කිරීමට සමත් විය. විනාඩි 10කට ආසන්න කාලයක් ක්‍රීඩා කළ ඔහු ලකුණු 8ක් රැස් කිරීමට සමත් වූයේ මෙම තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ වැඩිම +/- අගය වන +4 වාර්තා කරමිනි. ( +/- අගය තීරණය වනුයේ ක්‍රීඩකයෙකු පිටියේ සිටිය දී කණ්ඩායම ලබා ගන්නා ලකුණු ප්‍රමාණයෙන් ප්‍රතිවාදී කණ්ඩායම ලබා ගන්නා ලකුණු ප්‍රමාණය අඩු කරමිනි.)

මාලදිවයින් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සුපුන් විමල් මහතා කටයුතු කරන අතර තරගයෙන් අනතුරුව ඔහු අප වෙත මෙසේ අදහස් දැක්විය.44444

“ශ්‍රී ලාංකිකයෙකු ලෙස හිතේ දුකක් තියෙනවා, මම මාලදිවයින් කණ්ඩායම බාර ගන්නකොට ඔවුන්ගේ පැසිපන්දු ක්‍රීඩාව තිබු‍ණේ අගාධයක කියන එක නොරහසක්. නමුත් මගේ උත්සාහය හා අනෙකුත් පාර්ශවයන්ගේ සහය මත අද අපිට මෙම අවස්ථාව උදා කර ගන්න හැකි වුනා, ඒ පිලිබදව යම් සතුටක් තිබෙනවා”

කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව, නේපාලය හා මාලදිවයින යන කණ්ඩායම් තුනම තරගය බැගින් ජය ගෙන සම තත්වයේ පසු වුවත්, දල වේගය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝකඩ පදක්කම හිමි විය. ඉන්දියාව තම 4 වන SABA රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර බංගලාදේශය රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.55555

තරගාවලිය තුල දී තිමෝති නිතුෂන් ආබාධයට ලක්වූ අතර නමුත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම ඔසවා තැබීමට ගත් උත්සාහය අගය කළ යුතුය. එසේම තුෂාන් ධර්මසේන ආබාධයකට ලක්වීම කණ්ඩායමට පාඩුවක් වූ බව පෙනී යයි.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක අසංක සුවාරිස් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ අතර වසර 14ක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ඔහුගේ නික්ම යාම ශ්‍රී ලංකා කණ්ඩායමට පුරවාලීමට අපහසු වන බව නොඅනුමානයි.66666

තරගයෙන් අනතුරුව අප වෙත ඔහු මෙසේ අදහස් දැක්විය,

“මම පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් නියෝජනය කළේ 2003 වසරේ දී, වසර 14ක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීම සතුටක්, මේ වන තෙක් මට උදව් කරපු සියලුම පුහුණුකරුවටත්, ක්‍රීඩකයන්ටත් ස්තුතියි, ඒ වගේම මගේ ආදරණීය බිරිඳටත්, දරුවන්ටත් හුඟක් ස්තුතිවන්ත වෙනවා මගේ දක්ෂතා අගය කළාට වගේම අපහසු අවස්ථාවල ලගින් සිටීම ගැන”

ශ්‍රී ලංකා පැසිපන්දු ක්‍රීඩාව හා තම ක්‍රීඩා ජීවිතය පිළබදව ඔහු කලකිරීමකින් යුතුව මෙසේ අදහස් දැක්විය.

“ලාංකේය පැසිපන්දු ක්‍රීඩාව තුල දේශපාලනය තියෙනකම් අපිට නැගිටීමක් නෑ. අවුරුදු 14 ජාත්‍යන්තර ක්‍රීඩා ජීවිතය මම අද අවසන් කරන්නේ හිස් අතින්. එක එක්කෙනාගේ පෞද්ගලික තීරණ ක්‍රියාත්මක කරලා ලංකාවේ පැසිපන්දු ක්‍රීඩාවට කිසිම සෙතක් නෑ. තරගාවලියට යන කණ්ඩායමේ ජ්‍යේෂ්ඨම ක්‍රීඩකයා වුනු මට විනය පිළිබඳව චෝදනා තියෙනවා කියලා නායකත්වය ලබා ගැනීම අහිමි කළා. ශ්‍රී ලංකා පැසිපන්දු සංගමය විසින් අද වෙනකන් මට විරුද්ධව කිසිදු විනය කඩකිරීමක් පිළිබඳව අවවාද කරලවත් නෑ. මට දුක මගේ විනය ගැන කතා කරපු සමහරු ජාතික කණ්ඩායම එක්ක ඇමරිකාවට ගිහින් සල්ලිත් අරගෙන රටින් පැනලා ශ්‍රී ලංකා පැසිපන්දු සංගමයට ලැජ්ජාවට පත් කිරීමයි. පුහුණුකරුවෙක් වශයෙන් ඇතිවූ ප්‍රශ්නයකට වසර 2කට පැසිපන්දු ක්‍රීඩාවට සම්බන්දව ඉවත් කර තැබූ අයෙක් අද පැසිපන්දු පුහුණුකරුවන්ගේ සංගමයේ ලේකම් ලෙස පත්වෙලා 18න් පහළ කණ්ඩායම එක්ක 3x3 තරගාවලියට යනවා. එහෙම කරපු අය මට කණ්ඩායමේ  නායකත්වය ගන්න තිබුණු අවස්ථාව නැති කළා. අපි කැප වෙලා රට වෙනුවෙන් ක්‍රීඩා කළත් එ්කට නිසි අගයක් දෙන්න මේ අය දන්නේ නෑ”

තරගාවලිය මේ වන විටත් නිමා වී ඇත. සිදු වූ අඩුපාඩුකම් හඳුනා ගෙන එයට පිළියම් යෙදීමෙන්, වැටී ඇති ක්‍රීඩාව ඔසවා තැබිය හැකි බව නොරහසකි. දීර්ඝ කාලීන වැඩ පිළිවෙළකට යටත්ව කණ්ඩායම තරගාවලියට සුදානම් වූවා නම්, තරගාවලියට පෙර ප්‍රධාන පුහුණුකරු ප්‍රසන්න ජයසිංහ මහතා ප්‍රකාශ කළ ආකාරයට රිදී පදක්කම දිනා ගැනීමට අවකාශයක් තිබුණි. තරගාවලිය පුරාවට යොවුන් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉහළ මට්ටමක තිබූ අතර අනාගත ශ්‍රී ලංකා පැසිපන්දු ක්‍රීඩාවට මෙය හොඳ සලකුණක් බව සඳහන් කළ යුතුයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<