දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩයම, තමන් ක්‍රීඩා කළ පළමු තරගය බංගලාදේශ කණ්ඩායම හමුවේ පරාජයට පත් විය. තරගාවලියේ දෙවන දිනයේ පැවති මෙම තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර කණ්ඩායම් දෙකම ලකුණු රැස්කිරීමට දක්ෂ ලෙස ක්‍රීඩා කරනු දක්නට ලැබුණි.

දක්ෂයින් රැසක් දකුණු ආසියානු පැසිපන්දු කුසලානයට

5 වන දකුණු ආසියානු පැසිපන්දු තරගාවලිය පැවැත්වීම සඳහා මේ වන විටත් සියල්ල සුදානම්ව ඇත. මෙවර තරගාවලිය මැයි මස 18 සිට 23 දක්වා මාලදිවයිනේ…

තරගයේ පළමු කාර්තුවේ විනාඩි 5ක් අවසන් වන විට ලකුණු 14-10ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර පළමු කාර්තුව අවසන් වන විට ද ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටින්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ ලකුණු 28-25ක් ලෙසයි.

Maldives Basketball Association
Maldives Basketball Association

නමුත් දෙවන කාර්තුවේ දී තරගයට අවතීර්ණ වූ බංගලාදේශ කණ්ඩායම, දෙවන කාර්තුව මධ්‍යයේ දී ලකුණු 39-38ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූයේ, ශ්‍රී ලංකා ආරක්ෂක වලල්ලේ අඩුපාඩු මනා ලෙස වටහා ගනිමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුදේශ් අහමඩ් දිගින් දිගටම ලකුණු රැස් කිරීමට සමත් වූ අතර ඉසුරු පෙරේරාගේ දායකත්වය ද ඔහුට හිමි විය.

පළමු අර්ධය අවසන් වන විට 50-46ක් ලෙස ලකුණු 4කින් ඉදිරියට පැමිණීමට බංගලාදේශ කණ්ඩායම සමත් වීම ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් හිසරදයක් වූ බව පෙනෙන්නට විය.

Maldives Basketball Association
Maldives Basketball Association

කෙසේ නමුත් දෙවන අර්ධය ආරම්භ කරමින් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් නැවතත් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූයේ ලකුණු 58-57ක් ලෙසියි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිලට ලකුණු පුවරුවේ වැඩි වෙලා පෙරමුණේ රැඳී සිටීමට බංගලාදේශය ඉඩ ලබා දුන්නේ නැත. තරගයේ තෙවන කාර්තුව අවසන් වූයේ ලකුණු 74-66ක් ලෙසිනි.

අවසන් කාර්තුව ආරම්භ කරමින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම තුලින් දක්ෂ ක්‍රීඩා විලාශයක් දිස්වූ අතර ඔවුන් ලකුණු 7ක් ලබා ගත්තේ ප්‍රතිවාදී පිලට ලකුණු 2ක් පමණක් ලබා දෙමිනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිලේ ලකුණු ලබා ගැනීමේ අවස්ථා කිහිපයක්ම අවසන් කාර්තුවේ දී ගිලිහී ගිය අතර ඉන් උපරිම ප්‍රයෝජනය ලබා ගත් බංගලාදේශ පිල තරගය ජය ගැනීමට සමත් වූයේ ලකුණු 90-80ක් ලෙස අවසන් මොහොතේ රැස් කළ ලකුණු 3 අවස්ථාවත් සමඟයි.

Maldives Basketball Association
Maldives Basketball Association

තරගය දෙස නැවත හැරී බැලූ කල තරගයේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීම් 10ක් වාර්තා වූ අතර කණ්ඩායම් 2කම තම ස්ථාවරත්වය රඳවා ගැනීමට අපොහොසත් වීම පෙනෙන්නට විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුදේශ් අහමඩ් ලකුණු 24ක් හා නැවත ලබා ගැනීම් 10ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනෙන දක්ෂතාවක් වූ අතර ඔහුට මනා සහයක් ලබා දුන් ක්ලින්ටන් තෙවකුමාර් ලකුණු 21ක් ලබා ගත්තේ 3 point අවස්ථා 5ක් ද සමඟයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයින් ලකුණු 52ක් ලබා ගැනීම පැසසිය යුතු කරුණක් වන අතර මෙම තරගය සඳහා තුෂාන් ධර්මසේන හා අසංක සුවාරිස් යොදා නොගැනීම දක්නට ලැබුණි.

බංගලාදේශ පිල වෙනුවෙන් M.D. කාන් ලකුණු 28ක් ලබා ගන්නා ලදි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වේ.

BB Match Scheduled

තරගාවලියේ මෙතෙක් පැවති තරගවල දී ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන පෙරමුණේ පසු වීමට බංගලාදේශ කණ්ඩායම සමත් වී ඇති අතර ඔවුන් සහභාගී වූ තරග 2ක් ජය ගැනීමට සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය. නේපාලය ලකුණු 3ක් ලබාගෙන දෙවන ස්ථානයේ රැඳී සිටින අතර ඉන්දියාව තෙවන ස්ථානයේ රැඳී සිටී.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට