5 වන දකුණු ආසියානු පැසිපන්දු තරගාවලිය පැවැත්වීම සඳහා මේ වන විටත් සියල්ල සුදානම්ව ඇත. මෙවර තරගාවලිය මැයි මස 18 සිට 23 දක්වා මාලදිවයිනේ දී පැවැත්වේ.

දෙවන වටය ඉහළින්ම සමත් වූ ශූරයින් හා අනුශූරයින්

තරගාවලියේ අවසන් මහා තරග වටය පෙනෙන තෙක් මානයේ තිබිය දී එයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ..

තරගාවලියේ අතීතය දෙස බැලීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව යම් අදහසක් ලබා ගත හැකිවන අතර 2015 වසරේ පැවති දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවලියේ අවසන් තරගය ප්‍රබල ඉන්දියාව හමුවේ ලකුණු 93-44ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ රිදී පදක්කම හිමි විය.

මෙහි දී තරගාවලියේ රන් පදක්කම පමණක් නොව එම වසරේ පැවැත්වූ ආසියානු ශූරතා පැසිපන්දු තරගාවලියට සහභාගි වීමේ වරම ද ශ්‍රී ලංකාවට අහිමි වී ගියේය. එයට හේතුව වූයේ දකුණු ආසියානු කලාපයේ ශූරයින්ට පමණක් ආසියානු ශූරතාවලියට සහභාගී වන නිසාවෙනි.  

තවද මෑතක දී පැවති තරගාවලිය සඳහා සහභාගී වීම ශ්‍රී ලංකා පැසිපන්දු සංගමය විසින් ප්‍රතිෂේප කිරීම කැපී පෙනෙන්න සිදුවීමක් විය. ඒ පිළිබඳව ශ්‍රී ලංකා පැසිපන්දු සංගමයෙන් අප විමසූ අතර ඔවුන් අප වෙත දන්වා සිටියේ තරගාවලිය පිළිබඳව දැනුම් දෙනු ලැබුවේ ප්‍රමාද වී බවත් එමනිසා තරගාවලිය සඳහා ක්‍රීඩකයින් සුදානම් කිරීමට තරම් අවස්ථාවක් නොතිබූ නිසාවෙන් එයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පැසිපන්දු ඉතිහාසයට වසර 100ක් සපිරෙන මොහොතක මේ වසරේ පැවැත්වෙන 5 වන දකුණු ආසියානු පැසිපන්දු කුසලානයට සහභාගී වන ක්‍රීඩකයින් දොළොස් දෙනෙකුගෙන් යුතු සංචිතයක් මේ වන විටත් නම් කර ඇත. නමුත් තවමත් ශ්‍රී ලංකා පැසිපන්දු සංගමයේ දියුණු විය යුතු දෑ බොහොමයක් ඇති බව පෙනී යයි.

මෙවර තරගාවලිය සඳහා සහභාගි වන රටවල් අතරින් අසල්වැසි ඉන්දියාව තරගාවලිය නැවතත් ජය ගැනීමට වැඩිම අවස්ථාව ඇති කණ්ඩායම ලෙස ඉහළින් සිටින අතර ශ්‍රී ලංකාව මෙම තරගාවලිය තුල පෙරළිකාර කණ්ඩායමක් වනු ඇතැයි අප බලාපොරොත්තුවෙන් වෙමු. කෙසේ නමුත් තරගාවලියට එක්වන බංගලාදේශය, භූතානය, නේපාලය, පකිස්ථානය හා සත්කාරක මාලදිවයින ඉදිරියේ පසුගිය කාල වකවානුව තුල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා ඉහළ මට්ටමක පැවතීම පැසසුමට ලක් කළ යුතු වේ.

තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 36 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් පසුගිය පෙබරවාරි මස පැවති ජාතික ශූරතාවලිය සඳහා සහභාගී වූ A කාණ්ඩයේ ක්‍රීඩකයින් අතරින් තෝරා ගන්නා ලදි. පසුව මෙම ක්‍රීඩකයින් 36 දෙනෙකුගෙන් 15 දෙනෙක් තෝරා ගත් අතර එයින් අවසන් ක්‍රීඩකයින් 12 දෙනා තෝරා ගෙන ඇත. ඔවුන් මේ වන විට පුහුණුවීම් ආරම්භ කර ඇත.

නමුත් ඉහත සඳහන් කළ පරිදි පෙබරවාරි මස සිට පසුගිය සතියක කාලය දක්වා පුහුණුවීම් කටයුතු ආරම්භ නොකිරීම, ක්‍රීඩකයින් මෙම තරගාවලිය සඳහා සුදානම් කරවීම නිසි ආකාරව සිදුවූවාද යන්න ප්‍රශ්න කරයි.

කෙසේ වෙතත් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ප්‍රසන්න ජයසිංහ මහතා අප වෙත මෙසේ අදහස් දැක්විය.

“තරගාවලිය සඳහා අපට සුදානම් වෙන්න හොඳින්ම අවස්ථාව තිබුණා, නමුත් කණ්ඩායම නැවත පුහුණුවීම් සඳහා යොදා ගන්නට හැකිවුණේ සතියක පමණ කාලයකට පසුවයි. අපට පුහුණුවීම් වාර 10ක් පමණ තමයි කරන්නට පුළුවන් වෙන්නේ, දැනට පුහුණුවීම් වාර 4ක් පමණ නිමා කරන්නට අපට හැකිවුනා. තරගාවලියට පෙර කණ්ඩායමට විවේකයක් ලබා දීම අත්‍යාවශයයි. එම නිසා අපට ඒ ගැනත් හිතලා බලන්න වෙනවා.”

මේ පිළිබඳව ශ්‍රී ලංකා පැසිපන්දු සංගමයෙන් විමසූ අතර ඔවුන් අප වෙත දන්වා සිටියේ තරගාවලිය පිළබදව දැනුවත් කිරීමට යොමුවුණේ මසකට පමණ පෙර බවත් කණ්ඩායමට මූල්‍යමය දායකත්වය දැක්වීම තරමක් අපහසු කරුණක් වූ බවත්ය. කෙසේ ව‍ෙතත් ක්‍රීඩකයින් කාලයක සිට නිසි ආකාරය‍ෙන් සංචිත ගත කර පුහුණුවීම් වල යෙදවීම පිළිබඳව අවධානය යොමු විය යුතු බව නොරහසකි. මෙයින් ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම මෙන්ම ක්‍රීඩා කුසලතාවයන්ගේ ද වැඩි දියුණුවක් අපේක්ෂා කළ හැකියි.

තරගාවලිය පිළිබඳව අප වෙත තවදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න ජයසිංහ මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේය.

“ඉන්දියාව මෙවරත් හොඳ කණ්ඩායම් වේවි. තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට අපට හොඳ අවස්ථාවක් තිබෙනවා, නමුත් සත්කාරකත්වය දරන මාලදිවයින හා බංගලාදේශය අපට අභියෝගයක් වේවි. අපි අපේ උපරිම උත්සාහය දරනවා ඉන්දියාව පරාජය කරන්න.”

කෙසේ වෙතත් සීමිත කාලයක් තුල ජාතික කණ්ඩායම තරගාවලියට වඩාත් හොඳින් සුදානම් කිරීමේ වගකීම ප්‍රධාන පුහුණුකරු ප්‍රසන්න ජයසිංහ මහතාට හා සහය පුහුණුකරු  ජගත් කුලතුංග හට පැවරී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක චමත් දනවංශ පසුගිය ජාතික ශූරතාවලියෙන් පසු ජාතික කණ්ඩායම නියෝජනයෙන් ඉවත්වීම නිසා ඔහු මෙම කණ්ඩායමට ඇතුළත් කර නොමැත. එසේම පසුගිය ජාතික ශූරතාවය නියෝජනය කරමින් සහභාගී වූ ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෙකු මෙන්ම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ ඇන්තනි වෙනිටෝ පළමු වරට කණ්ඩායමට ඇතුළත් වීම පැසසිය යුතු කරුණකි.

මිතිල අබේසිංහ නැවතත් කණ්ඩායමට එක් කර ඇති අතර ක්ලින්ටන් තෙවකුමර්, සුදේශ් අහමඩ්, ගයාන් ඩි කෘස්, තිමති නිතෝෂන්, චරිත් පෙරේරා, ඇන්තනි වෙනිටෝ යන ක්‍රීඩකයින් පසුගිය ජාතික ශූරතාවලියේ දී ඉහළ දස්කම් දැක්වීම ඔවුන් දක්ෂතා අතර සිටින බව ප්‍රකට කරන සාධකයකි.

කෙසේ වෙතත් අප සැමගේ එකම පැතුම ශ්‍රී ලංකා නාමය රනින් බබළවන්නට ජාතික පැසිපන්දු කණ්ඩායමට අවස්ථාව ලැබේවා යන්නයි!

ශ්‍රී ලංකා සංචිතය

රොෂාන් රන්දිම, අසංක සුවාරිස්, රොෂාන් ප්‍රනාන්දු, ගයාන් ඩි කෘස්, මිතිල අබේසිංහ, තුෂන් ධර්මසේන, ක්ලින්ටන් තෙවකුමාර්, සුදේශ් අහමඩ්, තිමති නිතෝෂන්, චරිත් පෙරේරා, ඇන්තනි වෙනිටෝ, ඉසුරු පෙරේරා, ප්‍රධාන පුහුණුකරු ප්‍රසන්න ජයසිංහ, සහය පුහුණුකරු  ජගත් කුලතුංග

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට