බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට

404

දකුණු ආසියානු පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ තරග ආරම්භ කරමින් පැවැත්වූ පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ගෝල 4-0ක් ලෙස පරාජය විය. තරගය නේපාලයේ ANFA පාපන්දු පිටියේ දී පැවැත්විය. තරගයේ දී බංග්ලාදේශ ක්‍රීඩක අහමඩ් ෆාහීම් ගෝල ත්‍රිත්වයක් ලබාගෙන තරගය තුල කැපීපෙනෙන දස්කම් දැක්විය.

15න් පහළ SAFF ශූරතාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

මෙම මස 18 වන දින සිට 27 වන දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 15න් පහළ දකුණු ආසියානු පාපන්දු…

A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වූ මෙම තරගයේ පළමු අර්ධයේ පටන්ම බංග්ලාදේශ කණ්ඩායම හොඳින් පන්දුව හුවමාරු කරමින් ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කරන ලදි. තරගයේ 22 වන මිනිත්තුවේ දී බංග්ලාදේශ කණ්ඩායමට නිදහස් පහරක් හිමි වූ අතර, එහි දී ඔවුන් විසින් එල්ල කළ වේගවත් ප්‍රහාරය ශ්‍රී ලංකා දැල් රකින්නා වන සංදීප් වාස් විසින් සාර්ථකව වළක්වන ලදි. නමුත් නැවතත් ක්‍රියාත්මක වූ අහමඩ් ෆාහීම් තරගයේ 28 වැනි මිනිත්තුවේ දී වේගවත් ප්‍රහාරයක් කෙළින්ම දැල වෙත එල්ල කළේ සිය කණ්ඩායමට තරගයේ පළමු ගෝලය ලබා දෙමිනි. එම ප්‍රහාරය ශ්‍රී ලංකා දැල් රකින්නාගේ වම්පසින් එල්ල කිරීමට ඔහු සමත් විය.

ඉන් මිනිත්තු 4කට පසුව නැවත වරක් ක්‍රියාත්මක වූ අහමඩ් ෆාහීම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපස ආරක්ෂක ක්‍රීඩකයින් අතරින් ගෝලයක් සාර්ථක කර ගත්තේ බංග්ලාදේශය තවත් පියවර කිහිපයක් පෙරමුණේ තබමිනි.

බංග්ලාදේශ ක්‍රීඩකයින්ට සාපේක්ෂව පිටිය තුල දී නිසියාකාරව පන්දුව හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අපොහොසත් වූ අතර, තරගයේ වැඩි කාලයක් පුරාවට පන්දුව ඔවුන් සන්තකව තිබුණි. තරගයේ 44 වන මිනිත්තුවේ දී සිය දස්කම් ප්‍රදර්ශනය කළ නස්මුල් බිස්වාස් ශ්‍රී ලංකා දැල් රකින්නා පුදුමයට පත්කරමින් ඔහුගේ හිසට ඉහළින් පන්දුව දැල තුලට යොමු කරමින් සිය කණ්ඩායමේ තෙවන ගෝලය වාර්තා කළේය.

පළමු අර්ධය අවසානයේ – බංග්ලාදේශය 3 – 0 ශ්‍රී ලංකාව

තරගයේ පළමු අර්ධයට පසුව තරගයේ දෙවන අර්ධයේ දී ශ්‍රී ලංකා දැල් රකින්නා වෙනස් කරමින් සංදීප් වාස් වෙනුවට අශ්කත් මිහිරු පිටියට පැමිණියේය.

තරගයේ 76 වන මිනිත්තුවේ දී බංග්ලාදේශ කණ්ඩායමට දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ අතර, එය මිහිරුගේ වම්පසින් දැල වෙත එල්ල කරමින් එම ගෝලය සාර්ථක කර ගැනීමට අහමඩ් ෆාහීම් සමත් වූයේ තරගය තුල ඔහු ලබාගත් තෙවන ගෝලයට ද හිමිකම් කියමිනි.

සම්පූර්ණ කාලය අවසානයේ – බංග්ලාදේශය 4 – 0 ශ්‍රී ලංකාව

මෙම තරගාවලිය සඳහා දකුණු ආසියානු රටවල් 6ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වදින අතර, තරගාවලිය ලබන 27 වන දා දක්වා මෙම ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය ලබන 20 වැනිදා භූතාන කණ්ඩායම සමඟින් පැවැත්වේ.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට