ජල ක්‍රීඩා තරගාවලියේ දෙවන දිනයේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 07ක්

724
South Asian Aquatics Championship 2016South Asian Aquatics Championship 2016

පසුගිය දා (18) කොළඹ සුගතදාස ගෘහස්ථ පිහිණුම් තටාක පරිශ්‍රයේදී ඇරඹි දකුණු ආසියානු ප්‍රථම ජල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේ තරග ඊයේ සාර්ථකව නිමාවට පත් විය. ඊයේ දිනය අවසන් වන විට සමස්ත පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන්නේ රන් පදක්කම් 07ක්, රිදී පදක්කම් 16ක්, ලෝකඩ පදක්කම් 24ක් දිනා ගනිමිනි.

පසුගිය ලිපි: ප්‍රථම දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලිය උත්සවශ්‍රීයෙන් ආරම්භ වේ

වයස අවුරුදු 15න් පහළ දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියේ ප්‍රථම පදක්කම් ලාභිනිය වන්නට රමුදි සමරකෝන් සමත් විය. ශ්‍රී ලංකාව විසින් දිනා ගත් ප්‍රථම රන් පදක්කමේ ද හිමිකාරිය වන ඇය බාලිකා පසුපස-ආර මීටර 200 පිහිණුම් තරග වටයෙන් එම පදක්කම දිනා ගනු ලැබීය.

ඔලිම්පික් තරග නියෝජනය කළ, ශ්‍රී ලංකාවේ දිය කිදුරා සහ කිදුරිය ලෙසින් හදුන්වන මැතිව් අබේසිංහ සහ කිමිකෝ රහීම් විසින් ඔවුන්ගේ දක්ෂතාවන් මෙම තරගාවලියේදී ද පෙන්නුම් කිරීමට සමත් විය. ඒ තවත් රන් පදක්කම් ද්විත්වයක් ශ්‍රී ලංකා පදක්කම් එකතුවට ලබා දෙමිනි. 17ත් හැවිරිදි කිමිකෝ රහීම් මෙවර වයස අවුරුදු 18න් පහළ නිදහස්-ආර මීටර 200 පිහිනුම් ඉසව්වෙන් තරග වදිනු ලැබීය. එම ඉසව්වෙන් ඇය රන් පදක්කම දිනා ගනු ලැබුවේ මිනිත්තු 02 තත්පර 07.83ක කාලයක් වාර්තා කරමිනි. එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ඉන්දියාවේ ක්‍රිශ්නප්පා ගෝවදා හා ශ්‍රද්දා සුදීර් විසින් දිනා ගන්නා ලදී.

පසුව පැවති තරගයෙන් මැතිව් අබේසිංහ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරග නියෝජනය කළ මැතිව් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයද දරනු ලබයි. ඔහු විසින් එම රන් පදක්කම දිනා ගනු ලැබුවේ අවුරුදු 18න් ඉහළ මීටර 100 සමනළ-ආර ඉසව්වෙනි. තරගය ආරම්භයේ සිටම මැතිව් අබේසිංහ වෙත තියුණු තරගයක් ලබා දීමට ඉන්දියානු ක්‍රීඩක අමන් ගායී සමත් වුවත් අවසානයේදී තත්පර 55.39ක කාලයක් වාර්තා කල මැතිව් අබේසිංහ එම ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නා ලදී. එහි රිදී පදක්කම තත්පර 56.15ක කාලයක් වාර්තා කල අමන් ගායී විසින් දිනා ගන්නා ලදී.

ප්‍රථම දිනයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතාවන් ඉදිරිපත් කරන්නට අබේසිංහ සොයුරන් සමත් වූ අතර මේ වන විට අබේසිංහ සොයුරන් රන් පදක්කම් තුනක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා දී තිබේ. දකුණු ආසියානු ක්‍රීඩාවලියේ පදක්කම් ලාබී කයිල් අබේසිංහ විසින් ඊයේ රන් පදක්කම් ද්විත්වයක් දිනා ගනු ලැබීය. වයස අවුරුදු 18න් පහළ නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන් හා මිශ්‍ර ආර ඉසව්වෙන් ඔහු එම පදක්කම් දිනා ගැනීමට සමත් විය. කයිල් විසින් මිශ්‍ර-ආර තරගය නිමා කරනු ලැබුවේ අනෙක් සියලුම ක්‍රීඩකයින් අභිබවා විශාල දුර ප්‍රමාණයක් ඉදිරියට එමින් වීම මෙහිදී විශේෂයි.

මේ අතර නිමාවූ ආසියානු පාසල් ක්‍රීඩා තරගවලියේ රිදී පදක්කම් ලාභී පිහිණුම් ක්‍රීඩකයෙකු වන අකලංක පීරිස් විසින් තවත් රන් පදක්කමක් ලංකාව වෙනුවෙන් දිනාගන්නා ලදී. ඔහු විසින් එම පදක්කම දිනා ගනු ලැබුවේ වයස අවුරුදු 18න් පහළ මීටර 50 සමනළ ආර ඉසව්වෙන් වීම විශේෂයි.

ඉන් පසුව පැවති තරගයෙන් යශෝදා ද සිල්වා ක්‍රීඩිකාව තවත් රන් පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දෙනු ලැබුවේ ප්‍රථම දිනයේදී එක් වූ 07 වන රන් පදක්කම ලෙසිනි. ඇය විසින් එම පදක්කම  මීටර 03, විවෘත දුනු පුවරුව තරගයේ කිමිදුම් ඉසව්වෙන් දිනා ගනු ලැබීය. කිමිදුම් ඉසව්වෙන් පැවති තරග 8න් 7කම ජය ඉන්දියාව විසින් දිනා ගත් අතර ඔවුන් කිමිදුම් ඉසව්වෙන් රන් පදක්කම් 08ක් සහ රිදී පදක්කම් 06ක් දිනා ගැනීමට සමත්ව සිටියි.

පසුව පැවති පිහිණුම් රිලේ තරග තුළින් ඉන්දියානු රිලේ පිහිණුම් කණ්ඩායම් තම හැකියාවන් පෙන්නුම් කිරීමට සමත් වූයේ කලාපයේ හොදම පිහිණුම් කණ්ඩායම තමන් බව පසක් කරමිනි. ඊයේ දිනයේ පැවති සියලුම රිලේ තරග ජය ගනිමින් ඔවුන් ඒ බව පෙන්නුම් කිරීමට සමත් විය. ඔවුන් ඊයේ දිනයේ පැවති වයස අවුරුදු 18න් ඉහළ, 18න් පහළ, 15න් පහළ මීටර 400 හා 800 තරග 8කින් මෙසේ ජය ගන්නට සමත් විය.

සමස්ථයක් වශයෙන් කලාපයේ ප්‍රථම ජල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනය නිමාවන විට ඉන්දියාව පදක්කම් 60ක් ලබා ගනිමින් පදක්කම් සටහනේ පෙරමුණේ පසුවේ. ඒ රන් පදක්කම් 32ක්, රිදී පදක්කම් 23ක් හා ලෝකඩ පදක්කම් 05ක් ලබා ගනිමිනි. එහි දෙවන ස්ථානය රන් පදක්කම් 07ක්, රිදී පදක්කම් 16ක්, ලෝකඩ පදක්කම් 24ක් ලබා ගනිමින් මුළු පදක්කම් 47ක් ලබා ගත් සත්කාරක ශ්‍රී ලංකාව විසින් දිනා ගන්නට සමත්ව සිටියි. පිළිවලින් බංගලාදේශය, පාකිස්තානය, මාලදිවයින මේ වන විට තරගාවලියේ තෙවන, සිව්වන හා පස්වන ස්ථානයන් හි රැදි සිටියි.

අද (20) තරගාවලියේ දෙවන දිනයයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න