මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව සීමා කිරීමට එහි සංවිධායක කමිටුව තීරණය කර තිබේ. 

මීට පෙර පැවති තරගාවලි වලදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර මලල ක්‍රීඩා හා අනෙකුත් ක්‍රීඩා අතරින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව කැපී පෙනෙන දස්කම් දක්වා ඇත. නමුත් මෙම වසරේ තරගාවලියේ දී සීමිත ක්‍රීඩක සහභාගිත්වය නිසාවෙන් ප්‍රබල අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇත්තේ මෙරට හා ඉන්දියාවේ සිටින දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකා සංඛ්‍යාව විශාල වීම නිසාවෙනි. 

Video- දිනාගන්න පුළුවන් පදක්කම්වලට කැපිල්ලක් – SAG 2019

2019 SAG ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට තවත් පදක්කම් දිනන්නට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්….

දකුණු ආසියානු කලාපය නියෝජනය කරමින් රටවල් 8ක් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වන මෙම තරගාවලිය සෑම වසර දෙකකටම වතාවක් පැවැත්වේ. මෙහි සත්කාරකත්වය නේපාලය ප්‍රථම වරට 1984 වසරේ දී දරා ඇති අතර ඉන්පසුව ඔවුන් මෙවර සත්කාරකත්වය දරන්නේ ඒ සඳහා වූ විශේෂ රැස්වීමකින් අනතුරුවය. 

සියලු රටවල් නියෝජනය කරමින් ජාතික ක්‍රීඩා කමිටු සහභාගි වූ විශේෂ රැස්වීමක් පසුගිය දා දකුණු ආසියානු ක්‍රීඩා කමිටුවේ සංවිධායකත්වයෙන් පැවති අතර එහි දී මෙලෙස අසාමාන්‍ය නීතියක් මත විමසුමක් සඳහා ඉදිරිපත් කර ඇත. එහි දැක්වෙන ආකාරයට එක් රටකින් එක් තරග ඉසව්වක් සඳහා සහභාගි විය හැක්කේ එක් ක්‍රීඩකයෙකුට පමණක් වන අතර එම නීතිය සත්කාරක නේපාලයට බලපාන්නේ නැත. 

එම මෝසම ඡන්ද විමසුමක් සඳහා ඉදිරිපත් කළ අතර එම මෝසම වැඩි ඡන්දයෙන් සම්මත විය. ඒ සමඟින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව වැනි රටවල් වලට සහභාගි කරවිය හැකි ක්‍රීඩකයන් සංඛ්‍යාව සීමාවේ. මෙම මෝසමට අනුව ජවන හා පිටිය තරග ඉසව්වක දක්ෂතම ක්‍රීඩකයා හැරුණුකොට දෙවන හා තුන්වැනි දක්ෂතම ක්‍රීඩකයන්ට තරගාවලියට සහභාගි විය නොහැකි වේ. 

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසාගෙන් නැවතත් රන් පදක්කමක්

2019 වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාව ඊයේ (17) ආරම්භ විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියාවේ වේගවත්ම මිනිසා වන….

කෙසේ වෙතත් අදාල මෝසමට අනුව නේපාලය සත්කාරකත්වය දරන නිසා ඔවුන්ට එම ක්‍රීඩක සීමා කිරීම බලනොපාන අතර ඔවුන්ට තරග ඉසව්වක් සඳහා ඕනෑම ක්‍රීඩක සංඛ්‍යාවක් සහභාගි කළ හැක. මේ නිසා නේපාලය මුල් ස්ථාන තුන අතරට පැමිණීමට වැඩි ඉඩක් පවතින අතර එමඟින් එරට ක්‍රීඩාලෝලීන්ට තම ක්‍රීඩකයන්ට සහය දැක්වීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත. 

මෙවර දකුණු ආසියානු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය තෝරාගැනීම එළඹෙන අගෝස්තු මාසයේ දී සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී සිදු කිරීමට නියමිතයි. නව නීති නිසාවෙන් මෙවර ජාතික තරගාවලිය වඩාත් තරගකාරී තරගාවලියක් බවට පත්වනු ඇති අතර දකුණු ආසියානු තරගාවලිය යම් මතභේදාත්මක තරගාවලියක් වනු ඇත. 

එක් එක් ඉසව්වේ දක්ෂතම ක්‍රීඩකයාට පමණක් තරග කිරීමට ඉඩ දීමෙන් තරගාවලියේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගත හැකි ද? මෙම නව නීතිය සම්බන්ධයෙන් ඔබේ අදහස? 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<