ගැමුණු චේතියගේ නායකත්වයෙන් කණ්ඩායම බහමාස් යයි

1192
Sri Lanka u18 7s rugby team 2017

පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල (CYG) අද (17) බහමාස් හිදී ආරම්භ වීමට නියමිත අතර ඊට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික යොවුන් රග්බි කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය.

කෙසේ වෙතත් මෙම තරගාවලියට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු කාලය ඉතා සීමා සහිත විය. ශ්‍රී ලංකා කණ්ඩායමට අමතරව එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ෆීජි, සාමෝවා, කැනඩාව සහ බහමාස් යන කණ්ඩායම් ද පදක්කමක් ලබා ගැනීමේ අරමුණින් තරගාවලියට සහභාගී වේ. එවන් ප්‍රබල කණ්ඩායම්වලට ඉතා හොඳ අභියෝගයක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනු ඇතැයි ශ්‍රී ලංකා සත් සාමාජික යොවුන් කණ්ඩායමේ නායක සාන්ත ජෝසප් විද්‍යාලයේ ගැමුණු චේතිය විශ්වාස කරයි.

කිංස්වුඩ් විද්‍යාලය නැවතත් රග්බි කරළියට

මහනුවර කිංස්වුඩ් විද්‍යාලය ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරග මාලාවේ දෙවන අදියරේ පාසල් කොටසේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ගැමුණු චේතිය පවසා සිටියේ,

“විශේෂයෙන් කණ්ඩායමේ නායකත්වය දරන්න ලැබීම මට ලොකු සතුටක් වගේම ගෞරවයක්. අපි පසුගිය සතියේ උදෑසන සහ හවස තරගාවලිය සඳහා පුහුණුවීම් කටයුතු සිදු කළා. අපි ධනාත්මකව සිතුවොත් අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා අපේ කණ්ඩායම හොඳ තත්වයක සිටිනවා කියලා. ඒ වගේම කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සුපර් සෙවන්ස් තරගාවලිය සඳහාත් ක්‍රීඩා කළා. ඉතින් මට විශ්වාසයි මෙම තරගාවලියේ දී අපට යමක් කරන්න පුළුවන් වෙයි කියලා.”

නවසීලන්ත සත් සාමාජික ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන කණ්ඩායමේ පුහුණුකරු පීටර් වුඩ්ස් මහතා ThePapare.com සමඟ අදහස් දක්වමින් පවසා සිටියේ,

“තරගාවලිය සඳහා අපට ගොඩක් හොඳින් පුහුණු වෙන්න බැරිවුණා. නමුත් පසුගිය සතියේ දී අපි කණ්ඩායමේ ක්‍රීඩකයින් 12 දෙනාම සමඟ පුහුණුවීම් කටයුතු සිදු කළා. ඔවුන් හොඳින් පුහුණුවීම් කටයුතු සිදු කළා. ඒ වගේම ඔවුන් හුඟක් මහන්සි වෙනවා. ඒක ඉතාමත් හොඳ දෙයක්.”

වුඩ්ස් මහතා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ පුහුණුකරු ලෙස පසුගිය ජනවාරි මාසයේ පත්වූ අතර ඔහු මේ වන විට සියලුම වයස් කාණ්ඩවල කණ්ඩායම් පුහුණුකරු ලෙස කටයුතු කරයි. එසේ ඔහුව සෑම කණ්ඩායමකම පුහුණුකරු ලෙස පත්කර ඇත්තේ ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා නිසි ලෙස හඳුනා ගෙන ඔවුන්ව අනාගතයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට සූදානම් කරවීමේ අරමුණ ඇතිවය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ;

“සෑම තරගයක්ම අපිට ලොකු අභියෝගයක් වෙයි. ඒ නිසා මේ තරගාවලිය මේ තරුණ ක්‍රීඩකයින් හට හොඳ අත්දැකීමක් වෙයි. ඒක අනාගතයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක් වැදගත්.”

ඒ වගේම කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ;

“කණ්ඩායමේ දක්ෂයින් සිටිනවා. නමුත් පුහුණුවීම්වල දී කොච්චර හොඳින් ක්‍රීඩා කළත් තරගයක දී තියෙන්නේ වෙනස්ම තත්වයක්. ප්‍රතිවාදී කණ්ඩායම පිටියේ දී මුහුණට මුහුණ සිටිද්දී තත්වය වෙනස්. නමුත් දැන් ක්‍රීඩකයින්ව ඒ සඳහා සෑම ආකාරයකින්ම හොඳින් සූදානම් කර තිබෙන්නේ.”

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට 

[/vc_column_text]

[/vc_column][/vc_row]

Commonwealth Youth Games Rugby 7s Fixture