ශ්‍රී ලංකා පන්දු යවන්නන් නොසිතූ මගක් පාදාගනී

2819
Sri Lanka A vs West Indies A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින තරඟයේ තෙවන දිනය අද (06) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත් විය. ශ්‍රී ලංකා A පන්දු යවන්නන්ගේ දස්කම් වලින් සපිරුණු මෙම තරඟයේ තවත් දිනයක් අද (06) කොදෙව්වන් හමුවේ අවසන් විය.

පසුගිය ලිපි: දිමුත්ගෙන් සුපිරි පිතිහරඹයක්

අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා A කණ්ඩායමේ ලකුණු පුවරුව, ප්‍රථම ඉණිමට කඩුලු 8ක් දැවී ලකුණු 348ක් ලෙස සටහන්ව තිබුනි. දෙවන දිනය අවසානයේදී නොදැවී කඩුල්ලේ රැදී සිටිමින් අද දිනයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට අසේල ගුණරත්න හා ලහිරු කුමාර  පිටියට පිවිසියේය. ඔවුන් දෙදෙනා දිනය ආරම්භ කරන විට, පිලිවෙලින් ලකුණු 15*ක් හා 2*ක් ලබාගෙන සිටියේය.

ඡායාරූප ඇල්බමය

අසේල ගුණරත්න හා ලහිරු කුමාර ලකුණු 45ක සබඳතාවයක් 9වන කඩුල්ල සඳහා ගොඩනංවමින්, ශ්‍රී ලංකා පළමු ඉණිම තවත් සවිමත් කරන ලදි. මෙහිදී රහකීම් රශ්වාන් කෝන්වල් කඩුලු 8ක් දවාලමින් කොදෙව් A කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.

ශ්‍රී ලංකා A කණ්ඩායම පළමු ඉණිම – 386/10 (104.5): දිමුත් කරුණාරත්න 131, කුසල් පෙරේරා 87, නිරෝෂන් දික්වැල්ල 59, අසේල ගුණරත්න 38, රහකීම් රශ්වාන් කෝන්වල් 108/08

අනතුරුව තම දෙවන අවස්ථාව උදා කරගත් බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ, පළමු කඩුළු තුන ලකුණු 31ක් තුල දවාලූ ශ්‍රී ලංකා A පන්දු යවන්නන් කොදෙව්වන්ගේ දෙවන ඉණිමේ ස්ථාවර බව බිදලීමට සමත් විය. එම බිදවැටීම හමුවේ සිව්වන කඩුල්ල සඳහා කොදෙව් නායක ශම්රා බෘක්ස් හා විශාල් සිං ලකුණු 44ක සබඳතාවයක් ගොඩනංවමින් යම්තාක් දුරකට මෙම තරගයේ ඇති තරගකාරීත්වය රැක ගැනීමට සමත් විය.

එම සබඳතාවය අවසන් කරමින් පළමු ඉණිම තුල මෙන්ම මෙම ඉණිම තුලද පිත්තෙන් සැලකිය යුතු ලකුණක් ලබා ගත් නායක ශම්රා බෘක්ස් ලකුණු 28කට දැවීයන ලදි. තවද ඔහුගේ එම ඉණිමට එක් 4 පහරක් හෝ 6 පහරක් අන්තර්ගත නොවීම තුලින් ශ්‍රී ලංකා A නායකත්වය හා පන්දු යවන්නන්, පන්දු රකින්නන් ස්ථාන ගත කර ඇති අයුරු පිළිබඳව සෑහීමකට පත්විය හැකිය.

එයින් නොනැවතූනු විශාල් සිං හා ජමාර් හැමිල්ටන් ලකුණු 28ක තවත් සබඳතාවයක් 5වන කඩුල්ල සඳහා ගොඩනැංවූ අතර එම ස්ථාවරත්වය හැමිල්ටන්ගේ දැවීයාමත් සමඟින් අවසන් විය.

තෙවන දිනය අවසානයේ පළමු ඉණිම තුල මෙන්ම, දෙවන ඉණිම තුලද තම වගකීම මැනවින් වටහාගත් විශාල් සිං ලකුණු 46කට 7වන කඩුල්ල ලෙස දැවීගිය අතර ඔහු 4 පහරවල් 5ක් තම ඉණිමට අන්තර්ගත කරන ලදි.

මේ පිටියේ ස්වභාවය අනුව නම්, පළමු ඉණිම තුල රැස් කරගත් ලකුණු ප්‍රමාණයට වඩා වැඩි ලකුණකට යාමේ ප්‍රවණතාව වැඩි වුවුද, ශ්‍රී ලංකා පන්දු යවන්නන් හා පන්දු රකින්නන් මැනවින් තම වගකීම ඉටුකරමින් අඩු ලකුණු ප්‍රමාණයක් තුල කොදෙව්වන්ගේ කඩුලු 9ක් දවාලීමට සමත් විය.

බටහිර කොදෙව් A කණ්ඩායම දෙවන ඉණිම (තෙවන දිනය අවසානයේදී) – 165/09 (75.5): විශාල් සිං 46, මොටී කන්හායි 34, ශම්රා බෲක්ස් 28, ලක්ෂාන් සඳකැන් 3/47

දෙරට අතර පළමු සිව්දින තරගයේ සිව්වන හා අවසන් දිනය හෙට (07) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට