අසාම් – අලී ශ්‍රී ලංකාවේ ජය මග හරස් කරයි

376
අසාම් - අලී ශ්‍රී ලංකාවේ ජය මග හරස් කරයි

එංගලන්තයේ පැවැත්වෙන A කණ්ඩායම් තුන්කොන් එක්දින තරගාවලියේ තුන්වන තරගයෙනුත් ශ්‍රී ලංකාවට අත්වූයේ පරාජයයි.

පාකිස්තානු A කණ්ඩායම සමග පැවති පෙර තරගයට වඩා සටනක් දෙන්නට ශ්‍රී ලංකා A ක්‍රීඩකයන් සමත් වුවත් තරගය ජය ගන්නට එම උත්සාහය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා A කණ්ඩායමට තවත් දැවැන්ත පරාජයක්

නොදම්ප්ටන්හීදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් අශාන් ප්‍රියන්ජන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී.

මේ තරගයේත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ කැපී පෙනෙන අඩුපාඩුව බවට පත් වුයේ සබඳතා ගොඩනැගීමට අපොහොසත් වීමයි. පිතිකරුවන් කිහිප දෙනෙක් පෞද්ගලික දක්ෂතා අතරට පිවිසුණත් ලකුණු 65 ඉක්මවූ එකදු සබඳතාවක් හෝ ශ්‍රී ලංකා A ඉනිම තුල අන්තර්ගත නොවීය.

භානුක රාජපක්ෂ ලකුණු 56ක් රැස් කරද්දී පිතිකරුවන් සිවු දෙනෙක් 34 සහ 45 අතර ලකුණු ලබා ගැනීමට සමත් විය.

නමුත් පාකිස්තානු A පන්දු යවන්නන් නිරතුරුවම කඩුලු අතර සිටීම හේතුවෙන් නියමිත පන්දුවාර 50 අවසන් වීමටත් මත්තෙන් ශ්‍රී ලංකා ඉනිම අවසන් වූයේ ලකුණු 254 කටයි.

පාකිස්තානු A කණ්ඩායම භාවිත කළ පන්දු යවන්නන් 6 දෙනාම කඩුලු ලබා ගැනීමට සමත් විය.

පාකිස්තානු පිළිතුරු ඉනිමේ පළමු කඩුලු 2 ලකුණු 40ක් තුල බිඳ වැටුණි.

කෙසේ වෙතත් ඒ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට ශ්‍රී ලංකා A පන්දු යවන්නන් අසමත් වූ අතර නායකත්වයේ වගකීම මැනැවින් ඉටුකළ බාබර් අසාම්, ජාහිඩ් අලී සමගින් එක්ව අගනා සබඳතාවක් ගොඩනැගුවේ තම කණ්ඩායම ජය මාවතට අවතීර්ණ කරමිනි.ඔවුන් දෙදෙනා තුන්වන කඩුල්ලට ලකුණු 139ක් රැස් කරන ලදී.

ලක්ෂාන් සඳකැන් වෙනුවට කණ්ඩායමට එක්වූ ලහිරු ගමගේ ඔවුන් දෙදෙනාවම ලකුණු 7ක් තුළ දවා ගැනීමට සමත් වුවත්, ඒ වනවිට ජයග්‍රහණය පෙනෙන මානයේ සිටි පාකිස්තානු A  කණ්ඩායම ආපසු හරවන්නට සමත් පන්දු යවන්නන් ශ්‍රී ලංකා A  කණ්ඩායම සතු වුයේ නැත.

සෞඩ් ශාකීල් සහ මොහොමඩ් නවාස් ජයග්‍රහණයේ දොරටුව වෙත ගෙන ගිය පාකිස්තානු A කණ්ඩායම පන්දු 11ක් ඉතිරිව තිබියදී, ජය කනුව පසුකර ගියේ අමඩ් බට් ගේ සහ උමාර් සිද්ධික් ගේද සහය ඇතිවයි.

ලහිරු ගමගේ කඩුලු 3ක් සහ සචිත් පතිරණ කඩුලු 2ක් දවා ගත්තත් සැලකිය යුතු තරම් සවිමත් පන්දු බල ඇණියක් නොමැති ශ්‍රී ලංකා A කණ්ඩායමට ආරක්ෂා කර ගැනීමට හැකි තරම් ඉලක්කයක් පිතිකරුවන් විසින් ලබා දී තිබුණේ නැත.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා A  – සියල්ලන් දැවී – 254 (46.5) – භානුක රාජපක්ෂ – 56, තිසර පෙරේරා – 45, නිරෝෂන් දික්වැල්ල – 44, ඇන්ජලෝ පෙරේරා – 35, ශාදබ් ඛාන් – 3/51, මොහොමඩ් නවාස් – 2/39, හසන් අලී – 2/50

පාකිස්තානු A  – 258/6 (48.1) – ජාහිඩ් අලී – 77, බාබර් අසාම් – 73, ශර්ජීල් ඛාන් – 29, සෞඩ් ශාකීල් – 25, ලහිරු ගමගේ – 3/43, සචිත් පතිරණ – 2/49

පාකිස්තානු A කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට