ශ්‍රී ලංකා සුපිරි තරු යලිත් කරළියට

1190

එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන නිල නොවන එක්දින තරග 5කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු නිල නොවන එක්දින තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී අද (2) අවසන් වූයේ ශ්‍රී ලංකා A කණ්ඩායම වෙත ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 47ක විශිෂ්ට ජයග්‍රහණයක් ගෙන එමිනි.

නවක ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බංග්ලාදේශයෙන් ප්‍රහාරයක්

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමගින් එළැඹෙන මාර්තු 7 වැනිදා ආරම්භ වීමට නියමිත…

දෙපිල අතර පසුගිය දා 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වූ නිල නොවන ටෙස්ට් තරග දෙකෙන් පසුව ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය තම සුරතට ගත් එංගලන්ත ලයන්ස් කණ්ඩායම ශ්‍රී ලංකා A කණ්ඩායමට පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා දෙන ලදි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට කලක දී ආරම්භ පිතිකරුවන් ලෙස තම දස්කම් දැක්වූ කුසල් පෙරේරා හා ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ඉනිම අරඹමින් ලකුණු 123ක විශිෂ්ට සබඳතාවයක් පළමු කඩුල්ලට ගොඩනැංවූ අතර, එහිදී 4 පහර 8ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 59ක් ලබා ගත් කුසල් පෙරේරා යලිත් තම දස්කම් ප්‍රදර්ශණය කලේය. ඔහු සමඟින් අනෙක් අන්තයෙන් ක්‍රීඩා කල ගුණතිලක ශ්‍රී ලංකා A ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 64ක් ලකුණු පුවරුවට එක් කරවිය.

ලකුණු 181කට කඩුලු 5ක් දැවී යම්තාක් දුරකට දෙපිලටම දෝලනය වෙමින් තිබූ තරගයේ ශ්‍රී ලංකා A කණ්ඩායම වෙතට වැඩි වාසියක් හරවා දෙමින් ක්‍රියාත්මක වුනු නායක මිලින්ද සිරිවර්ධන තිසර පෙරේරා සමඟින් එක්ව වේගවත් ප්‍රහාරයක් එංගලන්ත ලයන්ස් පන්දු හමුවේ දියත් කරවීය. එහි දී සිරිවර්ධන 4 පහර 5ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 48ක් සටහන් කර ගන්නා විට, නොදැවී ක්‍රීඩා කරමින් සිටි තිසර පෙරේරා දැවැන්ත 6 පහර 5ක් හා 4 පහර 2ක් සමඟින් පන්දු 35කදී වේගවත්  ලකුණු 56*ක් ලබා ගන්නා ලදි. ඉන්පසුව තරගගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

පන්දු යැවීමේ දී එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් කෙයිග් ඕවර්ටන් හා ටොබිස් රෝලන්ඩ් ජොන්ස් කඩුලු 2 බැගින් දවාගෙන දස්කම් අතරට පැමිණියේය.

පැයක පමණ ප්‍රමාදයකින් අනතුරුව තරගය නැවතත් ආරම්භ වූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යයාට අනුව පන්දුවාර 43කදී ලකුණු 278ක ඉලක්කයක් එංගලන්ත ලයන්ස් පිලට හිමිකර දෙමිනි.

එම අභියෝගය භාර ගත් ලයන්ස් නායක කීට්න් ජෙනින්ස් 4 පහර 8ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 64ක් ලබාගෙන සාර්ථක අඩිතාලමක් දැමූව ද, එංගලන්ත ලයන්ස් මැදපෙළ පිතිකරුවන්ට ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වීමට ලහිරු මදුසංක ඇතුළු ශ්‍රී ලංකා A පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැත.

මැදපෙළ බිදවැටුනු මොහොතේ පසුපෙල පිතිකරණය සවිබල ගැන්වූ කෙයිග් ඕවර්ටන් 4 පහර 3ක් හා දැවැන්ත 6 පහර 2ක් සමඟ නොදැවී ලකුණු 60*ක් රැස්කරගත්තේ තම තුන් ඉරියව් දස්කම් විදහා දක්වමිනි.

ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් ලහිරු මදුසංක කඩුලු 3ක් දවාලන විට, ශෙහාන් ජයසූරිය හා අමිල අපෝන්සු කඩුලු 2 බැගින් දවාලමින් දස්කම් අතරට පිවිසියේය. දැනට තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකා A කණ්ඩායම පෙරමුණේ පසුවෙයි.

තරගය අවසානයේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තමන් යලිත් සුදුසු බව පවසමින්, යම් ඉඟියක් තේරීම් කමිටුව වෙත ලබා දීමට කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක හා තිසර පෙරේරාට හැකිවිය.

ශ්‍රී ලංකා A කණ්ඩායම – 278/07 (48.1): ධනුෂ්ක ගුණතිලක 64, කුසල් පෙරේරා 59, තිසර පෙරේරා 56*, මිලින්ද සිරිවර්ධන 48, කෙයිග් ඕවර්ටන් 2/46, ටොබිස් රෝලන්ඩ් ජොන්ස් 2/59

එංගලන්ත ලයන්ස් කණ්ඩායම – 230/09 (43): කීට්න් ජෙනින්ස් 64, කෙයිග් ඕවර්ටන් 60*, ලෙයිම් ලිවින්ස්ටන් 39, ලහිරු මදුසංක 3/50, ශෙහාන් ජයසූරිය 2/32, අමිල අපෝන්සු 2/37

මීළඟ නිල නොවන එක්දින තරගය ලබන 4 වැනි සෙනසුරාදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගංනයේ දි පැවැත්වෙනු ඇති.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට