දෙවන දිනයට වැස්ස හරස් වෙයි – කොදෙව්වන් ප්‍රබල ස්ථානයක

1141
Courtesy: News Nation

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’  කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’  කණ්ඩායම අතර පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 44කට සීමා වුවත්, පළමු දිනයේ වාසිය තවදුරටත් වර්ධනය කර ගැනීමට සත්කාරකයන් සමත් විය. ජැමෙයිකාවේ ෆ්ලොරන්ස් හි, ට්‍රෙලෝනි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අවසන් වන විට කොදෙව් ‘ඒ’ ලකුණු පුවරුව සටහන් වුණේ 364/8ක් ලෙසින්.

කොදෙව්වන් පිත්තෙන් වැඩ පෙන්වූ පළමු දිනය

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ ආරම්භය සනිටුහන්…

මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (12) දෙවන දිනයට තරගය ආරම්භ කරන විට පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 232ක්. පළමු දිනයේ ආරම්භ කළ 5 වන කඩුල්ලේ සබඳතාව ලකුණු 136ක් දක්වා ගොඩ නගන්නට විශාල් සිං සහ සුනිල් අම්බ්‍රිස් සමත් වූ අතර, ලකුණු 81ක් ලබා සිටි විශාල් දැවී ගියේ අසිත ප්‍රනාන්දු යැවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනුයි.

අනතුරුව දැවැන්ත රකීම් කෝන්වෝල් සමඟ එක්ව තවත් අර්ධ ශතක සබඳතාවකට දායකත්වය ලබා දුන් අම්බ්‍රිස් අගනා ශතකයක් වාර්තා කළේ සිය ඉනිම හතරේ පහර 12කින් වර්ණවත් කරමිනුයි. ඔහුට අනගි සහයක් ලබා දුන් කෝන්වෝල් හතරේ පහර 5ක් සමඟ ලකුණු 36ක් රැස් කරන ලදි. මෙම සබඳතාව බිඳ දමමින් ලකුණු 106ක් ලබා සිටි සුනිල් අම්බ්‍රිස් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවූ චාමික කරුණාරත්න තවත් පන්දුවාර 8ක අවෑමෙන් කෝන්වෝල්ගේ ඉනිම ද අවසන් කරන්නට සමත් විය.

පසු පෙළ පිතිකරුවන්ද කඩුල්ලේ රැඳී සිටීමට විශාල උත්සාහයක් දරද්දී  කොදෙව් ඉනිමේ 8 වන කඩුල්ල ලෙස ඩේමියන් ජෙකබ්ස් දවාගත් මාලින්ද පුෂ්පකුමාර මේ වන විට දවාගෙන ඇති මුළු කඩුලු සංඛ්‍යාව 3ක්. අංක 9 සහ 10 පිතිකරුවන් පන්දුවාර කිහිපයක් පුරා ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නට ‘ඇණයක්’ වෙමින් සිටිය දී ට්‍රෙලෝනි ක්‍රීඩාංගණය ආක්‍රමණය කළ වර්ෂාව දෙවන දිනයේ සවස් වරුවේ කටයුතු නවතා දැමුව ද, ඒ වන විටත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් 8 දෙනෙකු වෙහෙසට පත් කරන්නට සත්කාරක කොදෙව්වන් සමත් වී සිටින ලදි.

ලකුණු පුවරුව

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ‘ පළමු ඉනිම – 364/8 (120) – සුනිල් අම්බ්‍රිස් – 106, විශාල් සිං – 81, ජෝන් කැම්බල් – 56, රකීම් කෝන්වෝල් – 36, මාලින්ද පුෂ්පකුමාර – 3/104, චාමික කරුණාරත්න – 2/61, අසිත ප්‍රනාන්දු – 1/37, ෂෙහාන් ජයසූරිය – 1/43

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<