කොදෙව්වන් පිත්තෙන් වැඩ පෙන්වූ පළමු දිනය

1335
Sri Lanka A v West indies A

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් කොදෙව් ‘ඒ’ කණ්ඩායම සමඟ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (11) ආරම්භ වුනේ ජැමෙයිකාවේ ෆ්ලොරන්ස් හෝල් හි පිහිටි ට්‍රෙලෝනි ක්‍රීඩාංගණයේ දීයි. පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 236ක් රැස් කරන්නට සත්කාරක කොදෙව්වන් සමත් විය.

ලොව පුරා ක්‍රිකට් පිස්සෝ ට්විටර් වලින් සිංහයින්ට කිව්ව දේවල්

ඉන්දීය කණ්ඩායම හමුවේ තරග 9-0ක් ලෙස අත්විඳි දැවැන්ත පරාජයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන්…

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ තරග ආරම්භය පැය භාගයක් පමණ ප්‍රමාද වූ අතර ඊට හේතු වුනේ ට්‍රෙලෝනි තණතීරුවේ ස්ථානයක් තෙතබරිතව පැවතීමයි. තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක සාමාර් බෘක්ස් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

මොන්චින් හොජ් සහ ජෝන් කැම්බල් කොදෙව් ඉනිම ආරම්භ කළ අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 44කට සීමා කරමින් හොජ් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට මාලින්ද පුෂ්පකුමාර සමත් වුනේ සඳුන් වීරක්කොඩිගේ ස්ටම්ප් කිරීමක් මගිනුයි.

දිවා ආහාර විවේකයේ දී එක් කඩුල්ලකට ලකුණු 57ක් ලබා සිටි කොදෙව් කණ්ඩායම පළමු දිනයේ දෙවන කොටස තුළ ලකුණු 86ක් එක් කර ගනිද්දී තවත් කඩුලු දෙකක් දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. නායක බෘක්ස් දුවද්දී දැවී යාමකට හසු වීමෙන් පසු අර්ධ ශතකයක් රැස් කළ ආරම්භක පිතිකරු කැම්බල් දැවී ගියේ ෂෙහාන් ජයසූරියගේ පන්දුවකට සඳුන් වීරක්කොඩි යලිත් ස්ටම්ප් කිරීමකින් ලබා දුන් දායකත්වය හේතුවෙනුයි.

මේ අනුව තේ පානය සඳහා තරගය නතර කරන විට කොදෙව් ලකුණු පුවරුව 143/3 ලෙස සටහන්ව තිබුණි. නැවත තරගය ආරම්භ වී වැඩි වෙලාවක් ගත වීමට මත්තෙන් ජමාර් හැමිල්ටන් ලකුණු 6කට දැවී ගියේ පුෂ්පකුමාරගේ දෙවන කඩුල්ල ලෙසින්. කෙසේ වෙතත් 5 වන කඩුල්ල සඳහා ලකුණු 91ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගු විශාල් සිං සහ සුනිල් අම්බ්‍රිස් තරගයේ වාසිය කොදෙව්වන් වෙත දෝලනය කරන්නට සමත් විය.

වේගවත් පිතිහරඹයක නිරත වූ අම්බ්‍රිස් පන්දු 75ක දී නොදැවී ලකුණු 62ක් ලබාගත්තේ හතරේ පහර 10ක් ද සමඟයි. විශාල් ඔහුට අනගි සහයක් ලබා දෙමින් ලකුණු 58ක් ලබා කඩුල්ලේ රැඳී සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පන්දු යවන්නන් 8 දෙනෙකු යොදා ගත්ත ද ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තේ පුෂ්පකුමාර සහ ජයසූරිය පමණක් වූ අතර වේග පන්දු යවන්නන්ට එකදු කඩුල්ලක් හෝ නොලැබීම කැපී පෙනුනි.

ලකුණු පුවරුව

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම – 236/4 (76.1)සුනිල් අම්බ්‍රිස් – 62*, විශාල් සිං – 58*, ජෝන් කැම්බල් – 56, මාලින්ද පුෂ්පකුමාර – 2/62, ෂෙහාන් ජයසූරිය – 1/39

ශ්‍රී ලංකා කණ්ඩායම: රොන් චන්ද්‍රගුප්ත, සඳුන් වීරක්කොඩි, ධනංජය ද සිල්වා (නායක), චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, ෂෙහාන් ජයසූරිය, චාමික කරුණාරත්න, මාලින්ද පුෂ්පකුමාර, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<