කොදෙව් දඟයන් ශ්‍රී ලංකාව පරාජයට ඇද දමයි

964
IMAGE COURTESY - WEST INDIES CRICKET

ඩේමියන් ජේකබ්ස්ගේ දකුණත් පා දඟපන්දු හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම සමඟ පැවති පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 13ක පරාජයකට මුහුණ දුනි. ජේකබ්ස් සහ රකීම් කෝන්වෝල් අතර ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කඩුලු 9ක් බෙදී යාම කැපී පෙනුණි.

කොදෙව්වන් පන්දුවේ වාසියත් හිමිකර ගනිද්දී නායකයා හුදකලා සටනක

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අතර ජැමෙයිකාවේ ට්‍රෙලෝනි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන…

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ – කොදෙව් ‘ඒ’ නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පැවැත්වුනේ ජැමෙයිකාවේ ෆ්ලෝරන්ස් හි ට්‍රෙලෝනි ක්‍රීඩාංගණයේ දීයි. මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩකයන් කඩුලු 8කට ලකුණු 364ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කරන  ලදි. එහි දී සුනිල් අම්බ්‍රිස් අගනා ශතකයක් වාර්තා කළ අතර තවත් ක්‍රීඩකයන් දෙදෙනෙක් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් විය.

තරගයේ දෙවන දිනයේ මෙන්ම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පිතිකරණය ආරම්භ කළ තෙවන දිනයේ ද සැලකිය යුතු කාලයක් වර්ෂාව හේතුවෙන් අහිමි වී ගියත්, කොදෙව්වන් තරගයේ සිව්වන සහ අවසන් දිනයට පිවිසුණේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 7ක් ලකුණු 201කට බිඳ වැටී තිබූ පසුබිමකයි. නායක ධනංජය ද සිල්වා වේගවත් ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම ශක්තිමත් කළත්, ඔහුට සහයක් ලබා දීමට අන් කිසිදු පිතිකරුවෙකුට හැකි වුනේ නැහැ.

අවසන් දිනයේ තරගය ආරම්භ වී පන්දු 22ක් සහ ලකුණු 11ක් තුළ ඉතිරි කඩුලු 3 දවා ගත් කොදෙව් පන්දු යවන්නන් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 212කට සීමා කරන ලදි. ඒ අනුව ඔවුන්ට පළමු ඉනිමේ හිමි වූ ලකුණු වාසිය 152ක්. එය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නැවත පිතිකරණයේ යෙදවීමට තරම් ප්‍රමාණවත් වූ බැවින් කොදෙව් ‘ඒ’ කණ්ඩායමේ නායක සාමාර් බෘක්ස් දෙවරක් නොසිතාම එම තීරණය ගත්තේ ඔවුන්ට මෙම තරගය පරාජය විය නොහැකි තත්ත්වයක් ඒ වන විටත් උදා වී තිබූ නිසාවෙනුයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ජනාධිපති මට්ටමේ ආරක්‍ෂාව

පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර 20 තරගාවලිය යටතේ, මෙම මස අගදී පාකිස්තානයේ දී පැවැත්වෙන තුන්වන පන්දුවාර 20 තරගයේ දී ශ්‍රී ලංකා…

පළමු ඉනිමේ අසාර්ථක වූ ආරම්භක පිතිකරුවන් මෙවර ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ පළමු කඩුල්ලට අගනා ලකුණු 82ක සබඳතාවක් ගොඩනගමින්. සඳුන් වීරක්කොඩි හතරේ පහර 9ක් සමඟ පන්දු 58ක දී ලකුණු 56ක් ලබාගත් අතර රොන් චන්ද්‍රගුප්ත රැස් කළ ලකුණු සංඛ්‍යාව 27ක්. කෙසේ වෙතත් අවසන් දිනයේ තණතීරුවෙන් වේගපන්දු යවන්නට සහයක් නොලැබෙන බව වටහාගත් කොදෙව් නායකයා සිය දඟපන්දු යුගලය කැඳවීමත් සමඟ ආරම්භ වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම නවතාලන්නට කිසිදු පිතිකරුවෙකුට හැකියාව ලැබුණේ නැත.

ඩේමියන් ජේකබ්ස් වීරක්කොඩිගේ කඩුල්ල දවා ගැනීමෙන් පසු, දෙවන කඩුල්ලේ සබඳතාව ලකුණු 2කට සීමා කළ රකීම් කෝන්වෝල්, අනෙක් ආරම්භක පිතිකරු වූ චන්ද්‍රගුප්තව ද යලි ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් විය. චරිත් අසලංක ලකුණු නොලබා ද, දසුන් ශානක එක් ලකුණකට ද, දවාගත් කොදෙව් දඟපන්දු යුගලයට එරෙහිව යම් සටනක් දීමට හෝ සමත් වුණේ නායක ධනංජය ද සිල්වා සහ ෂෙහාන් ජයසූරිය පමණයි. ලකුණු 18 බැගින් රැස් කළ ඔවුන් දෙදෙනාම ජේකබ්ස්ගේ ගොදුරු බවට පත් වෙද්දී ශ්‍රී ලංකා ‘ඒ’ දෙවන ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 10ක් තුල බිඳ වැටුණි.

මේ අනුව පන්දුවාර 44යි පන්දු 2ක් තුළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 139කට සීමා වුණේ, සත්කාරක කොදෙව් ‘ඒ’ කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 13ක ජයග්‍රහණයක් පිරිනමමිනුයි. මෙම ජයග්‍රහණයේ නිමැවුම් කරුවන් වූ ජේකබ්ස් කඩුලු 6ක් සහ කෝන්වෝල් කඩුලු 3ක් බිඳ හෙලූ අතර ඉතිරි කඩුල්ල බිඳ වැටුණේ දුවද්දී දැවී යාමකිනුයි. ජේකබ්ස්ගේ පා දඟපන්දුවට කඩුලු 8ක් ද කෝන්වොල්ගේ පිට දඟපන්දුවට කඩුලු 6ක් ද ලෙස, සමස්ත තරගය තුළ කොදෙව් දඟපන්දු යුගලය අතරේ කඩුලු 14ක් බෙදී ගොස් තිබුණි.

මේ අනුව තරග 3කින් සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගන්නට සත්කාරකයන් සමත් වූ අතර, දෙරට අතර දෙවන සිව් දින තරගය ලබන 19 වැනිදා ට්‍රෙලෝනි ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වීමට නියමිතයි.

ලකුණු පුවරුව

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ‘ පළමු ඉනිම (අත්හිටුවන ලදී) – 364/8 (120) – සුනිල් අම්බ්‍රිස් – 106, විශාල් සිං – 81, ජෝන් කැම්බල් – 56, රකීම් කෝන්වෝල් – 36, මාලින්ද පුෂ්පකුමාර – 3/104, චාමික කරුණාරත්න – 2/61, අසිත ප්‍රනාන්දු – 1/37, ෂෙහාන් ජයසූරිය – 1/43

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම (සියල්ලන් දැවී) – 212 (56.4) – ධනංජය ද සිල්වා – 104, වනිඳු හසරංග – 24, දසුන් ශානක – 20, ෂෙහාන් ජයසුරිය – 12*, කියොන් ජෝසප් – 3/33, රකීම් කෝන්වොල් – 3/69, ඩේමියන් ජෙකබ්ස් – 2/33, ශෙල්ඩන් කොට්‍රෙල් – 2/41,  

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවන ඉනිම (සියල්ලන් දැවී) – 139 (44.2) – සඳුන් වීරක්කොඩි – 56, රොන් චන්ද්‍රගුප්ත – 27, ධනංජය ද සිල්වා – 18, ෂෙහාන් ජයසුරිය – 18, ඩේමියන් ජේකබ්ස් – 6/27, රකීම් කෝන්වොල් – 3/53

ප්‍රතිඵලය – බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 13ක ජයක්.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න