අපෝන්සුගේ තුන් ඉරියව් දස්කම් ශ්‍රී ලංකාවට ජය ගෙන එයි

12339

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ පළමු නිල නොවන එක්දින තරගය කඩුලු 2කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායමට හැකි විය.

සිංහ පෝතකයින් කොදෙව් බිමේ ජය කෙහෙලි නංවයි

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම…

ජැමෙයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පිතිකරණයේ නිරත වීමට පිටියට අවතීර්ණ විය.

කොදෙව් ආරම්භක පිතිකරුවන් යුගලය වන මොන්සන් හොජ් හා ජෝන් කැම්බල් ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 67ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. එහි දී පළමු කඩුල්ල ලෙස ලකුණු 13ක් ලබාගෙන සිටි කැම්බල්ව දැවී ගියේ මලින්ද පුෂ්පකුමාර යැවූ පන්දුවක් හමුවේයි.

ඉන් මොහොතකට පසුව එතෙක් වේලා කොදෙව් ඉනිමට සවියක් වූ හොජ්ව ලකුණු 54කට දවා ගැනීමට පුෂ්පකුමාර සමත් විය. හොජ්ගේ ඉනිම 4 පහර 4කින් හා එක් 6 පහරකින් වර්ණවත් විය.

ඉන් පසුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් කොදෙව් පිතිකරුවන් ඉක්මනින්ම ක්‍රීඩාගාරයට හරවා යැවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එක් මොහොතක කොදෙව් ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 112ක් ලෙස සටහන් වී තිබුණි.

කෙසේ නමුත් රහකීම් කෝන්වෝල් හා සුනිල් අම්බ්‍රීස් මැදපෙළ හා පසුපෙළ ක්‍රීඩකයින් සමඟින් එක්ව ලකුණු 176ක් දක්වා කොදෙව් A ඉනිම ගොඩ නැංවීමට සමත් විය. එහි දී කෝන්වෝල් හා අම්බ්‍රීස් පිළිවෙළින් ලකුණු 37ක් හා ලකුණු 16ක් වාර්තා කළේය.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ලහිරු කුමාර හා වමතින් දඟපන්දු යවන අපෝන්සු කඩුලු 3 බැගින් දවා ගනිමින් කොදෙව් A පිතිකරුවන්ව පාලනය කළේය.

අසේල, කුසල් ජනිත් හා මැතිව්ස් ගැන ඉඟියක්

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වූ දීර්ඝ ක්‍රිකට් තරගාවලිය අවසන්…

ලකුණු 177ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය එතරම් සාර්ථක නොවූ අතර, එහි පළමු කඩුල්ල ලෙස සඳුන් වීරක්කොඩි ලකුණු 7කට දවා ගැනීමට රැන්ස්ෆර්ඩ් බීටන් සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ධනංජය ද සිල්වා හා නිපුන් කරුණානායක තෙවන කඩුල්ල සඳහා ලකුණු 27ක සබඳතාවයක් ගොඩනැංවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට යම් අස්වැසිල්ලක් වෙමිනි. අවසානයේ ධනංජය ලකුණු 12කට දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ සවිමත් කළ චරිත් අසලංක හා නිපුන් කරුණානායක පිළිවෙළින් ලකුණු 33ක් හා ලකුණු 24ක් ලබාගෙන යම්තාක් දුරකට තරගයේ පීඩනය කොදෙව් පන්දු යවන්නන් දෙසට ලබා දෙන ලදි.

කඩුලු 8ක් දැවී ලකුණු 149ක් ලෙස ශ්‍රී ලංකා A ලකුණු පුවරුව දිස්වෙද්දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 28ක් ලබාගත යුතුව තිබුණි. එසේම කොදෙව්වන්ට සිය ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ කඩුලු 2ක් පමණි. නමුත් අධිෂ්ඨානශීලී පිතිකරණයක නිරත වූ ශෙහාන් ජයසූරිය හා අපෝන්සු කොදෙව් පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දෙමින් තරගයේ අවසානය කරා රැගෙන ගියේ, ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 2ක තියුණු ජයක් හිමිකර දෙමිනි. ජයසූරිය නොදැවී ලකුණු 31*යි, ඔහුට සහය වූ අපෝන්සු නොදැවී ලකුණු 16*යි.

පන්දු යැවීමේ දී ශෙල්ඩන් කොට්රල් කොදෙව් පිල වෙනුවෙන් කඩුලු 3ක් දවා ගන්නා ලදි.

බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම – 176/10 (48.4): මොන්සන් හොජ් 54, රහකීම් කෝන්වෝල් 37, සුනිල් අම්බ්‍රිස් 16, ලහිරු කුමාර 3/26, අමිල අපෝන්සු 3/34.

ශ්‍රී ලංකා A කණ්ඩායම – 181/8 (48): චරිත් අසලංක 33, ශෙහාන් ජයසූරිය 31*, නිපුන් කරුණානායක 24, අමිල අපෝන්සු 16*, ශෙල්ඩන් කොට්රල් 3/35.

තරගයේ වීරයා – අමිල අපෝන්සු

තරග තුනකින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය හෙට (3) දිවා රාත්‍රි තරගයක් ලෙස මෙම ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වේ.

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<