දෙපසට දෝලනය වූ තරගයේ ජය ලයන්ස් කණ්ඩායමට

408
Sri Lanka A v England Lions

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය දැනටමත් සනිටුහන් කර ගැනීමට ශ්‍රී ලාංකිකයෝ සමත්ව සිටියි. කෙසේ වෙතත් අද (09) පැවති සිව්වැනි එක්දින තරගයේ ජයග්‍රහණයට හිමිකම් කියන්නට සමත් වූයේ එංගලන්ත කණ්ඩායමයි.

මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම ද්විත්ව ශතකය ආසන්නයෙන් නතර වෙයි

ඊයේ දිනය සඳහා තරගය කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 321ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) තම ප්‍රථම ඉනිම ලකුණු 494ක් දක්වා වැඩි වර්ධනය…

කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුව පිතිකරණයට අවස්ථාව ලබා ගන්නා ලදි.

ධනුෂ්ක ගුණතිලක සමඟින් පිටියට පිවිසි රොන් චන්ද්‍රගුප්ත අලංකාරවත් පහර රැසක් ද සමඟින් ලකුණු 68ක සබඳතාවයක් පළමු කඩුල්ල සඳහා ගොඩ නැගූ අතර, එහි දී ගුණතිලක පන්දු 29කදී 4 පහර 5ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 44ක් සටහන් කරගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී යන ලදි.

ඉන් මොහොතකට පසුව 4 පහර 6ක් සමඟින් ලකුණු 33ක් ලබාගෙන සිටි චන්ද්‍රගුප්තව දවා ගැනීමට ලෙයිම් ලිවින්ස්ටන් සමත් විය. ලකුණු 87කට කඩුලු 2ක් ලෙස සටහන් වුනු ශ්‍රී ලංකා A ලකුණු පුවරුවට තවත් ලකුණු 85ක් එක් කිරීමට සදීර සමරවික්‍රම හා යොවුන් ක්‍රීඩක චරිත් අසලංක සමත් විය.

ශ්‍රී ලංකා A ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ප්‍රතිවාදී කණ්ඩායමේ පන්දු හොඳින් තෝරා බේරාගෙන පන්දුවට පහර දුන් සදීර සමරවික්‍රම 4 පහර 6ක් සමඟින් ලකුණු 54ක් ලබාගෙන සිටිය දී දැවී යන ලදි. අවසානයේ ශ්‍රී ලංකා A ඉනිම නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමටත් පෙරාතුව අවසන් වූයේ ලකුණු 243ක් ලෙස සටහන් වෙමිනි.

දක්ෂ ලෙස පන්දු යැවූ ටොබී රෝලන්ඩ් ජෝන්ස් ලකුණු 58ක් තුල කඩුලු 3ක් දවා ගන්නා ලදි.

ලකුණු 243ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ මුල් කඩුලු 2ක ලකුණු 12ක් තුල දවා ගැනීමට ශ්‍රී ලංකා A පන්දු යවන්නන්ට හැකි විය. අනතුරුව පිටියට පැමිණි බෙල් ඩ්‍රමොන්ඩ් හා තෝමස් ඇල්සොප් යන පිතිකරුවන් ශ්‍රී ලංකා A පන්දු යවන්නන්ට ආක්‍රමණශීලීව පිත්තේන් ප්‍රහාරයක් දියත් කර විය. ශ්‍රී ලංකා කණ්ඩායමට හිසරදයක් වෙමින් තිබූ එම විශිෂ්ට සබඳතාවයට, ලකුණු 200 දී නැවතීමේ තිත තැබීමට දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක චරිත් අසලංක සමත් විය. එම සබඳතාවය ගොඩනැංවීමට එක් අන්තයකින් සහය වුනු ඇල්සොප් අවාසනාවන්ත ලෙස 4 පහර 11ක් සමඟින් ලකුණු 96ක් ලබාගෙන සිටිය දී දැවී යන ලදි. බෙල් ඩ්‍රමොන්ඩ් තම ශතකය වාර්තා කර ගත් සැණින් දැවී ගිය අතර, ඔහු ඒ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායමට එදිරිව 4 පහර 12ක් වාර්තා කර තිබුණි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉක්මනින්ම මැදපෙළ කඩුලු 3ක් දවා ගනිමින් තරගය යම් තියුණු මුහුණුවරක් වෙත රැගෙන ආ අතර අවසානයේ බෙන්ජමින් ෆෝක්ස් හා ලෙයිම් ලිවින්ස්ටන්  ලයන්ස් කණ්ඩායම ජයග්‍රහණය දක්වා කැඳවාගෙන යන ලදි.

පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා හා විකුම් සංජය කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් කඩුලු රකින්නා හැරෙන්නට අනෙකුත් සියලු දෙනාම පන්දු යැවීම මෙම තරගයේ වූ සුවිශේෂී සිදුවීමකි.

ශ්‍රී ලංකා A කණ්ඩායම – සියල්ලන්ම දැවී 242 (46.5): සදීර සමරවික්‍රම 54, ධනුෂ්ක ගුණතිලක 44, චරිත් අසලංක 34, චතුරංග ද සිල්වා 33*, රොන් චන්ද්‍රගුප්ත 33, ග්‍රැහැම් වයිට් 3/53, ටොබී රෝලන්ඩ් ජෝන්ස් 3/58, ලෙයිම් ලිවින්ස්ටන් 2/41

එංගලන්ත ලයන්ස් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 246 (47.2): බෙල් ඩ්‍රමොන්ඩ්  100, තෝමස් ඇල්සොප් 96, බෙන්ජමින් ෆෝක්ස් 19*, ලෙයිම් ලිවින්ස්ටන් 15*, විකුම් සංජය 2/26, චතුරංග ද සිල්වා 2/42

මේ වන විට ශ්‍රී ලංකා A කණ්ඩායම 3-1ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසුවන අතර, එංගලන්ත ලයන්ස් කණ්ඩායම යම් ගෞරවාන්විත පරාජයකට හිමිකම් කීම සඳහා මීළඟ තරගය කෙසේ හෝ ජයග්‍රහණය කිරීමට සැලසුම් සකස් කරනු ඇත.

දෙපිල අතර පැවැත්වීමට නියමිතව ඇති අවසන් එක්දින තරගය ලබන 11 වැනි දා කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට