එංගලන්ත සිංහයින් ශ්‍රී ලංකා A කණ්ඩායම වටළයි

1035
SL A v Eng Lions Day 1

එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලිය අද (17) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. එහිදී අත්දැකීම් අතින් අඩු තරුණ එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ පන්දු යවන්නන්ට මුහුණ දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් ප්‍රථම දිනයේදීම දැඩි පසුබෑමකට ලක්විය.

ශ්‍රී ලංකාවේ පළමු ජය අවසන් පන්දුවෙන් විසඳෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටි ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු 20-20 තරග සංචාරය ආරම්භ කරමින් පළමු විස්සයි විස්ස තරගය අද (17) පුංචි ශ්‍රී ලංකාව ලෙස හඳුන්වනු ලබන…

අද උදෑසන පල්ලෙකැලේ තණතීරුව මතදී කාසියේ වාසිය තමන්ගේ වාසියට හරවාගත් එංගලන්ත නායක කීතන් ජෙනින්ග්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දිනාගත්තේය. ඒ අනුව ඉනිම ආරම්භ කළ ඔවුන් අද සන්ධ්‍යා කාලය එළැඹෙන විට ලකුණු 316ක හොඳ ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් විය. පුහුණු තරගයේදී මෙන්ම මෙම තරගයේදීද ලයන්ස් කණ්ඩායමේ ආරම්භය අසාර්ථක වුවත් මැදපෙළ කොඳු නාරටිය වශයෙන් කටයුතු කරන ටොම් වෙස්ට්ලි සහ ලියාම් ලිවින්ග්ස්ටන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128ක් එක් කරමින් සිය කණ්ඩායමේ ගෞරවය බේරා ගත්හ.

ලකුණු 3කින් තම ශතකය අහිමිකර ගත්තත් කණ්ඩායම වෙනුවෙන් තම යුතුකම් කොටස මැනවින් ඉටුකල ටොම් වෙස්ට්ලි හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 97ක් රැස් කළේය. ඔහු වටා තම ඉනිම ගොඩ නැංවූ ලිවින්ග්ස්ටන් ලකුණු 59යි. ඉනිමේ අවසන් භාගයේදී එංගලන්ත ලකුණු පුවරුවට තවත් අමතර ලකුණු 82ක් එක් කල රෝලන්ඩ් ජෝන්ස් එංගලන්ත ප්‍රථම ඉනිම ලකුණු 300 සීමාව කරා රැගෙන යාමට සමත් විය. පන්දු යැවීමේදී ඕනෑම තණතීරුවක තම කඩුලු දඩයම සාර්ථක කරගන්නා මලින්ද පුෂ්පකුමාර කඩුලු 4ක් බිඳ හෙලීය. යොවුන් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ලකුණු 31ට කඩුලු 2යි.

ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල කල හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට එංගලන්ත පිතිකරුවන් පන්දුවාර 80ක්ම වැයකල නිසා ශ්‍රී ලංකාවට ඉතිරි පන්දුවාර කිහිපයේ තම කඩුලු ආරක්ෂා කරගෙන හෙට දිනයේ නව ජවයකින් ඉනිම ගොඩ නැගිය යුතුව තිබුණි. නමුත් එම කාර්‍යයේදී 100ක්ම අසාර්ථක වූ ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 7ක් තුලදී තම වටිනා කඩුලු 4ක්ම එංගලන්තයට පූජා කළහ. ඒ අතරට උදාර ජයසුන්දරගේ සහ චරිත් අසලංකගේ කඩුලු ඇතුළත් වූයේ කිසිදු ලකුණක් ඔවුන්ගේ නම් ඉදිරියෙන් සටහන් වීමටත් පෙරයි.

මීට අමතරව දිමුත් කරුණාරත්න ලකුණු 6කට සහ රොෂේන් සිල්වා ලකුණු 4කට දැවී ගියේ තරගයේ පාලනය මුළුමනින්ම එංගලන්තය යටතට නතු කරමිනි. පිතිකරණ ලැයිස්තුවේ නාය යෑමෙන් තම කඩුල්ල ආරක්ෂා කරගත් කඩුලු රකින පිතිකරු සඳුන් වීරක්කොඩි දිනය නිමාවෙද්දී නොදැවී ලකුණු 15ක් රැස් කර ගැනීමට සමත් විය. එංගලන්තය වෙනුවෙන් පිත්තෙන් ද සාර්ථක වූ රෝලන්ඩ් ජෝන්ස් අද පන්දුවෙන්ද සාර්ථක වෙමින් ලකුණු 12ට කඩුලු 2ක් බිඳ හෙලීය. මෙම තරගයෙන් යම් තරමක හෝ සහනයක් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායක ධනංජය සිල්වා ඇතුළු සෙසු පිතිකරුවන්ට හෙට දිනයේ ඉතාමත් වගකීම් සහගත පිතිකරණයක නියැලීමට සිදුවනු ඇත.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 316 (පන්දුවාර 80.2): ටොම් වෙස්ට්ලි 97, රෝලන්ඩ් ජෝන්ස් 82, ලියාම් ලිවින්ග්ස්ටන් 59, කීතන් ජෙනින්ග්ස් 23, ඔලී රේනර් 13, මලින්ද පුෂ්පකුමාර 4/97, අසිත ප්‍රනාන්දු 2/31, උදාර ජයසුන්දර 1/9, ලහිරු ගමගේ 1/32.

ශ්‍රී ලංකා A කණ්ඩායම (ප්‍රථම ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 29 (පන්දුවාර 6.5): සඳුන් වීරක්කොඩි 15*, දිමුත් කරුණාරත්න 6, රොෂේන් සිල්වා 4, රෝලන්ඩ් ජෝන්ස් 2/12, ටොම් හෙල්ම් 1/3, ටොම් කුරාන් 1/14.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට