සිංහ පෝතකයින් කොදෙව් බිමේ ජය කෙහෙලි නංවයි

2190
© CWI Media

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට අද (29) සමත් විය. ඒ කොදෙව් ‘ඒ’ කණ්ඩායම සමග පැවති තෙවන සහ අවසන් සිව් දින ක්‍රිකට් තරගය කඩුලු 10කින් ජය ගැනීමත් සමඟයි.

පාකිස්තානය අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය උදුරා ගනියි

ඉතාමත් උණුසුම් අයුරින් ක්‍රියාත්මක වූ තියුණු සටනකින් අනතුරුව දෙවැනි විස්සයි විස්ස තරගයේත් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට අද (28) පාකිස්තානු …

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මෙම තරගාවලිය තරග 0-1ක් ලෙස පසුපසින් සිටියත් අවසන් තරග දෙකම ජය ගනිමින් තරගාවලි ජයග්‍රහණය තහවුරු කර ගැනීම විශේෂත්වයකි.

ජැමෙයිකාවේ කිංග්ස්ටන් හි පැවති තෙවන තරගයේ පළමු දිනය සම්පූර්ණයෙන් වර්ෂාවට සේදී යාමත් සමඟ ඊළඟ දින දෙක තුල දී අවසන් කරන්නට ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයන් සමත් විය.

දෙවන දිනයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් ‘ඒ ‘ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 181කට සීමා වුනේ මලින්ද පුෂ්පකුමාරගේ වමත් දඟපන්දුවේ මූලිකත්වයෙනි. ඔහු කඩුලු 4ක් දවා ගනිද්දී ලහිරු කුමාර සහ ෂෙහාන් ජයසූරිය අතරේ කඩුලු 2 බැගින් බෙදී යන ලදි. පළමු තරගයේ මෙන්ම මෙම ඉනිමේ දී ද ශ්‍රී ලංකා පන්දු යවන්නට හිසරදයක් වූ සුනිල් අම්බ්‍රිස් කොදෙව් පළමු ඉනිමේ ලකුණු 181න් 101කම අයිතිකරුවා බවට පත් විය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම එකට එක කරයි

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය, 1-1ක් ලෙස සම කරන්නට ශ්‍රී …

තරගය පැවැත්වුණු පළමු දිනය නොහොත් දෙවන දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 132ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රීඩකයන් සමත් ව සිටියේ නායක ධනංජය ද සිල්වා රැස් කළ අර්ධ ශතකය කේන්ද්‍ර කර ගනිමිනුයි. ඔහු ලකුණු 64ක් රැස් කරද්දී තෙවන දිනයේ දී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වීමට සිදු වූ රොෂේන් සිල්වා ලකුණු 52කින් කණ්ඩායමට දායකත්වය ලබා දෙන්නට සමත් විය. ෂෙහාන් ජයසුරිය ලකුණු 36ක් රස කළ අතර ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම් පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කරද්දී ලකුණු පුවරුව සටහන් වුණේ 273/9ක් ලෙසයි.

ලකුණු 92ක් පසුපසින් දෙවන ඉනිම ආරම්භ කළ කොදෙව් කණ්ඩායම යලිත් වරක් අසරණ වුනේ ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේයි. කණ්ඩායමේ ශක්තිය මැනවින් වටහා ගත් ධනංජය ද සිල්වා තෙවන පන්දුවාරය සඳහා ෂෙහාන් ජයසුරිය කැඳවූ අතර ඔහුට කඩුලු දඩයම ආරම්භ කිරීමට ගත වුනේ පන්දු 6ක් පමණයි. ලකුණු 67ක් වන විට කොදෙව් දෙවන ඉනිමේ පිතිකරුවන් 5 දෙනෙකු ක්‍රීඩාගාරයට හරවා යැවූ ෂෙහාන් ඉනිමේ අවසන් භාගය නිමා කිරීම සඳහා අවස්ථාව ලබා දුන්නේ මාලින්ද පුෂ්පකුමාර වෙතයි. පසුව ෂෙහාන්, කොදෙව් දෙවන ඉනිමේ එකම සාර්ථක පිතිකරුවා වූ නායක ශමාර් බෘක්ස්ගේ කඩුල්ල ද තම නම ඉදිරියේ සටහන් කර ගත් අතර ඉතිරි කඩුලු හතරේ අයිතිය හිමි වුණේ මාලින්ද හටයි. මේ අනුව සමස්ත තරගය තුල ලකුණු 186ක් ලබා දුන් ඔවුන් දෙදෙනා කඩුලු 16ක අයිතිය සමව බෙදා ගැනීමට සමත් විය.

පන්දුවාර 38ක් තුළ කොදෙව් දෙවන ඉනිම ලකුණු 118කට සීමා වෙද්දී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට තරගයේ සහ තරගාවලියේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය වුණේ ලකුණු 27ක් පමණයි. ආරම්භක පිතිකරුවන් වූ රොන් චන්ද්‍රගුප්ත සහ නිපුන් කරුණානායක එම පහසු ඉලක්කය හානියකින් තොරව ඉටු කළේ කඩුලු 10ක් මෙන්ම එක්දින තරගාවලියට සූදානම් වීමට පෙර විශිෂ්ට තරගාවලි ජයග්‍රහණයක් සැමරීම සඳහා අමතර දිනයක් ද ඉතිරි කර ගනිමිනුයි.

තුන් ඉරියව් දක්ෂතා තුලින් ජයග්‍රහණයේ වැඩි බරක් ඉසිලූ ෂෙහාන් ජයසූරිය තරගයේ වීරයා ලෙසින් සම්මානයට පාත්‍ර විය.

කොදෙව් ‘ඒ’ පළමු ඉනිම – (සියල්ලන් දැවී) 181 (60.3) – සුනිල් අම්බ්‍රිස් 101, රකීම් කෝන්වෝල් – 19, මාලින්ද පුෂ්පකුමාර – 4/67, ලහිරු කුමාර – 2/35, ෂෙහාන් ජයසූරිය – 2/41.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – 273/9 (76.2) – ධනංජය ද සිල්වා – 64, රොෂේන් සිල්වා – 52* (ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් විය), ෂෙහාන් ජයසූරිය – 36, රේනාඩ් ලෙවරිජ් – 2/25, කියොන් ජෝසප් – 2/43, ඔෂේන් තෝමස් – 2/54.

කොදෙව් ‘ඒ’ දෙවන ඉනිම – (සියල්ලන් දැවී) 118 (37.3) –  ශමාර් බෘක්ස් – 52, විශාල් සිං – 15, රකීම් කෝන්වෝල් – 15, ෂෙහාන් ජයසුරිය – 6/60, මාලින්ද පුෂ්පකුමාර – 4/19.

ශ්‍රී ලංකා ‘ඒ ‘ දෙවන ඉනිම – 27/0

  • තරග ප්‍රතිඵලය – ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට කඩුලු 10ක ජයක්..
  • තරගාවලි ප්‍රතිඵලය – ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට තරග 2 – 1ක ජයක්

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න