සුනිල සංග්‍රාමයේ කඩුල්ල පිටුපස සිටි පෙරළිකාරයා “ සොහාන් “

553

ශ්‍රී ලාංකීය ක්‍රිකට් පිටියේ අහුමුලු සිසාරා හමා යන සුළඟක් වූ ThePapare.com පාසල් ක්‍රිකට් පිටිය වෙත ද දක්වනුයේ එවැනිම වූ උනන්දුවකි.

නිමා වූ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ වැඩි තරග ප්‍රමාණයක් ආවරණය කරනු ලැබූ අන්තර්ජාල අවකාශයේ එකම වෙබ් සහෘදයා වූයේ ThePapare.com ය. එමෙන්ම නිමා වූ වාර්ෂික මහා ක්‍රිකට් තරග වැඩි ප්‍රමාණයක් සජීවීකරණය කරමින් ඔබ වෙත ගෙන ආවේ ද අප ය. මේ සියලු දේ හී ගෞරවය ද සමඟින් අප අද පාසල් පිටියේ අංකුර කිහිප දෙනෙක් ද කරළියට ගෙන ඒමට අදහස් කළෙමු. ඒ අනුව අප පළමුවෙන් හමු වූයේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ උපනායක සොහාන් ද ලිවේරා ය.

වසර පහක නිහැඬියාවකට පසුව ශූරතාවය ධර්මාශෝකයට

අම්බලන්ගොඩ ධර්මාශෝක සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද දෙවිදුහල් අතර 51 වැනි වරටත්..

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර පැවති 51 වැනි සුනිල සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ සුවිශේෂී චරිත අතරින් විශේෂ අවධානයක් දිනා ගැනීමට වමතින් පිත්ත හැසිර වූ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ සොහාන් ද ලිවේරා සමත් වූයේ නිමා වූ පාසල් ක්‍රිකට් තරගවාරයේ දී කණ්ඩායම් දෙකෙන්ම වැඩිම ලකුණුලාභියා වෙමින් පෑ දක්ෂතා හේතුවෙනි.

ඔහු ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහභාගී වූ පෙර අර්ධ අවසන් පූර්ව තරගය ද සමඟින් තරග 14කට සහභාගී වෙමින් රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 827කි. ඊට අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයට එරෙහිව රැස් කළ ශතකයකුත්, කළුතර විද්‍යාලය, මීගමුව සාන්ත පීතර විද්‍යාලය, කළුතර සිරි කුරුස විද්‍යාලය, කෑගලු විද්‍යාලය, හොරණ තක්ෂිලා විද්‍යාලය සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඔහු රැස් කළ අර්ධ ශතක 6ත් ඇතුලත් ය.

කඩුල්ල පිටුපස කාර්යයේ ද නිරත වන සොහාන් උඩ පන්දු 42ක් සහ කඩුලු බිඳ දැමීම් 8ක් සමඟින් දවා ගැනීම් 50කට දායක වී තිබේ.

“අපි ඉතාම හොඳ තරග වාරයක් නිමා කළා. තරගාවලියේ තරග 13ක දී අපි ජයග්‍රහණ 6ක් වාර්තා කළා. පරාජය වුනේ එක් තරගයක් පමණයි. සමස්තයක් ලෙසින් සෑම තරගයක දී ම ලකුණු අතර සිටින්න මට හැකි වුනා. මගේ බලාපොරොත්තුව වුනේ විශාල ඉනිම් කිහිපයකට යන්න. ඒත් අවසාන තරගවල දී තමයි මට ඒකට අවස්ථාව උදාවෙන්නේ. ඒ පී. ද එස්. කුලරත්න විද්‍යාලයට එරෙහිව රැස් කළ ශතකයෙන්. කොහොම නමුත් අපි ආ ගමනේ දී පෙර අර්ධ අවසන් පූර්ව තරගයේ දී අවාසනාව අපිට තදින් බලපෑවා. අපි ලැබූ පළමු ඉනිමේ පරාජයත් සමඟින් මෙවර තරගාවලිය නිමා වුනා.“ සොහාන් පැවසුවේය.

සොහාන්ගේ ක්‍රිකට් කතාව ආරම්භ වෙන්නේ වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ සිට ය. ඊටත් කුඩා කාලයේ සිට ක්‍රිකට් වෙනුවෙන් වූ ඇල්ම ඔහු මේ තැනට ඇද දැමුවේය. ක්‍රිකට් වෙත ඔහුගේ සිත ඇදී යන්නේ රූපවාහිනිය නිසා ය. නිවසේ ගත කරන කාලයෙන් වැඩි හරියක්ම වැය වෙන්නේ රූපවාහිනියෙන් විකාශය වන තරග නැරඹීමට ය. අදටත් එහි වෙනසක් නැති බවකි, ඔහු පවසනුයේ.

2011 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ඔහු 2013 වසරේ දී කණ්ඩායමේ නායකයා බවට ද පත් වෙන්නේ ය. එතැන් සිට මේ දක්වා වයස අවුරුදු 15න් පහළ සහ 17න් පහළ කණ්ඩායම්වල ද නායකත්වයේ කටයුතු කර ඇත. ඔහුගේ ක්‍රිකට් දිවියේ හොඳම කාලය ලෙසින් හැඳින්වෙන්නේ නිමා වූ 2016 වසරයි. එම වසරේ දී ඔහු මෙරට පැවති පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සව ත්‍රිත්වයේ දී ම දක්ෂතම කඩුලු රකින්නා බවට පත්විය.

“එම වසරේ දී අපේ කණ්ඩායම දකුණු පළාතේ හොඳම ක්‍රිකට් කණ්ඩායම ලෙසින් ද සම්මාන දිනා ගන්නවා. ඒත් එක්කම මගේ දක්ෂතා වෙනුවෙන් වූ ඇගයීම සුවිශේෂී දෙයක් ලෙසින් මම දකිනවා. සම්මාන උළෙලවල් තුනේ දී ම දක්ෂතම කඩුලු රකින්නා ලෙසින් සම්මාන ලැබීම මගේ ගමනට ආශීර්වාදයක්.“ සොහාන් තමන්ගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී ම වූ මතකය අවදි  කළේ එලෙසිනි.

කවිඳු, නිමේෂ් ධර්මාශෝකයට ප්‍රථම දිනයේ වැඩි ගෞරවය දිනා දෙයි

අම්බලන්ගොඩ පුරවරයේ සුප්‍රසිද්ධ පාසල් ද්විත්වයක් වන ධර්මාශෝක විද්‍යාලය..

එම වසරේ දී ගාල්ල දිස්ත්‍රික් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සේ ම අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ දකුණු පළාත් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට ද සොහාන් සුදුසුකම් ලබන්නේ ය. ඒ ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් සහ කඩුලු රකින්නෙක් ලෙසිනි.

“මම පුහුණුවීම්වල මුල් කාලයේ කටයුතු කළේ ළඟ ෆීල්ඩර් කෙනෙක් විදිහට. කඩුලු රකින්නෙක් වෙන්නෙ අහම්බෙන්. ඒ කඩුලු රැකි ක්‍රීඩකයා නොපැමිණි නිසා.” එසේ අත් ආවරණ පැලඳ ගන්නා සොහාන් මේ වන විට කාගේත් කතා බහට ලක් ව සිටින දක්ෂ කඩුලු රකින්නෙකි. ඒ පිළිබඳව සාක්ෂි ඇත්තේ ඉහත සඳහන් කළ සම්මාන ත්‍රිත්වයයි. එසේම නිමා වූ දෙව්නද- ධම්සෝ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී ද ඔහු දක්ෂතම පන්දු රකින්නා ලෙසින් සම්මාන දිනා ගන්නේය.

“බිග් මැච් එකේ මගේ ඉලක්කය වුනේ වැඩි ලකුණු ප්‍රමාණයකට යන්න. නමුත් අර්ධ ශතකය ලබා ගත්තට පස්සේ මගේ අවධානය වෙනතකට ගියා. ඒ වරදෙන් මගේ ඉනිම නිමා වුනා වගේම අපේ කණ්ඩායමත් අඩු ලකුණු ප්‍රමාණයක සීමා වුනා. උප නායකයා ලෙසින් මගෙන් එවැනි දෙයක් සිදුනොවිය යුතුව තිබුණා. නමුත් දැන් ඒ සියල්ල අවසන්. කෙසේ වෙතත් තරගයේ දක්ෂතම පන්දු රකින්නාට හිමි සම්මානය මට ලැබීම ගැන සතුටක්. ”

සොහාන් පෙර වසරේ (2017) වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී දක්ෂතම පිතිකරු සම්මානයෙන් සේ ම තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලබන්නේ ය. එසේම එම වසරේ පැවති එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයේ දී ශතකයක් වාර්තා කරන ඔහු එම තරගයේ ද වීරයා වන්නේ ය. එවන් දක්ෂතාවක් පෑ සොහාන් කෙරෙහි වන විද්‍යාලයේ විශ්වාසය අනුව එළඹෙන තරගවාරයේ දී කණ්ඩායමේ නායකත්වය ඔහු වෙත පැවරී ඇත.

“විශාල අභියෝගයක්. ඒත් මම ඒ අභියෝගයට කැමතියි. අපි දැනට වසර ගණනාවක සිටම ක්‍රීඩා කරන්නේ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලිය. පසුගිය අවුරුදු කිහිපයේ දී ම අපි අවසන් වටය නියෝජනය කළා. මේ වසරේ පෙර අර්ධ අවසන් පූර්ව පිවිසියා. පෙර වසරේ දී අපි එක්දින සීමිත පන්දුවාර තරගාවලියේ අනුශූරයෝ වුනා. දෙදින තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණියා. මේ සෑම අවස්ථාවක දී ම පළමු කොටසට පැමිණීමේ අපේ බලාපොරොත්තු සුන් වුනා. මගේ පළමු ඉලක්කය වෙන්නේ ඒ අවස්ථාව උදා කර ගන්න.“ සොහාන් පවසන්නේ හැඟුම්බර ස්තීරසාර හඬකිනි. ඔහු ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය කණ්ඩායම එළඹෙන වසරේ දී නියෝජනය කරනුයේ හය වැනි වසරට ය.

“මගේ ක්‍රිකට් දිවියට විශාල දායකත්වයක් දැක්වූ දෙදෙනෙක් සිටිනවා. එක් අයෙක් වන්නේ මගේ පුහුණුකරු වගේම මෑතක් වන තුරුම විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්යවරයා ලෙසින් කටයුතු කළ සුරාජ් සංජීව මහතා. ඔහුගෙන් ලැබූ ගුරු-හුරුකම් නොවන්නට මගේ දක්ෂතා මේ ලෙසින් ගොනු වෙන්නේ නැහැ. ඔහු අපි වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා. තමන්ගේ පෞද්ගලික ජීවිතයේ කාර්යයන් පවා අතපසු කරගෙන අපි වෙනුවෙන් කැප වෙනවා. මම හිතනවා අපිට එවැනි ගුරුවරයෙක් තවත් නම් ලැබෙන එකක් නැහැ. ඉතිං ඒ කැපවීම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිම දේ තමයි එළඹෙන වසරේ තරගාවලියේ දී හොඳින් දක්ෂතා අතරට පිවිස කණ්ඩායම පළමු කොටසට උසස් වීමක් ලබා ගැනීම. මගේ ක්‍රිකට් දිවියට විශාල දායකත්වය දැක්වූ අනෙක් තැනැත්තා වන්නේ මගේ තාත්තා. ඔහු මා වෙනුවෙන් විශාල කැපවීමක නිරත වෙනවා. මගේ සෑම තරගයකම හොඳම නරඹන්නා වී සිටින්නේ ඔහු.” සොහාන් පැවසුවේය.

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින් සොහාන් තමන් පැමිණි ගමන ගැන සෑහීමකට පත් වෙන්නේ ය. නමුත් තවත් යා යුතු දුර බොහෝ බවයි ඔහු පවසන්නේ. එකී ගමනේ ජය කණුව කරා යන ගමනේ දී විද්‍යාලයීය ක්‍රිකට් පදනම මගින් දක්වනු ලබන සහයෝගය ඔහු ඉතා අගේ කොට සලකන්නේ ය. එමෙන්ම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ගිත්මි ස්පෝර්ට්ස් ගුඩ්ස් ආයතනයේ අධිපති ඒ. ඩබ්ලිව්. අනුරලාල් මහතා ද ඔහු ගෞරවයෙන් සිහිපත් කරන්නේ ය. අනුරලාල් මහතාගේ මැදිහත් වීම මත පාසල් ක්‍රීඩකයෙක් වන තමන් වෙත ඉන්දියාවේ නිෂ්පාදිත කේ. ජී. ක්‍රිකට් ආම්පන්න සමාගම විසින් දක්වනු ලබන අනුග්‍රහය තමන්ගේ ක්‍රිකට් දිවියට ඉතා සුවිශේෂී වූ බවකි ඔහුගේ අදහස.

“ඒ වගේම මගේ අම්මත් සහෝදරයනුත් මේ අවස්ථාවේ ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔවුන් නිතිපතා මාව දිරිමත් කරමින් මගේ ක්‍රිකට් දිවියට ආශීර්වාද කරනවා. ඒ වගේම විද්‍යාලයීය විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය ද, මගේ ක්‍රිකට් දිවියේ මට හමුවූ ක්‍රිකට් භාර ආචාර්යවරුන් වූ රත්නසිරි බටුවංගල මහතා සහ රෝහණ ද සිල්වා මහතා ද, සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කරන සාගර දනංජය මහතා ද සහ මා සමඟ පුහුණුවෙමින් තරග සඳහා එක් වෙන මගේ සහෝදර ක්‍රීඩකයන් ද මගේ ක්‍රිකට් දිවියට ආශීර්වාදයක්. අපි කණ්ඩායමක් ලෙසින් එක ගමනක් යනවා. ඒ ගමනේ ලැබෙන ඉතාම හොඳම ප්‍රතිඵලය අපිට එළඹෙන තරග වාරයේ දී ලබා ගැනීමට හැකි වේවි. අපේ උත්සාහය එයයි.” සොහාන් පවසන්නේ විශාල බලාපොරොත්තු පෙරදැරිවය.

සැබෑ සටන්කාමියෙක් ලෙසින් පිටියේ පෙළහැර පාමින් කාගේත් අවධානය දිනා ගත් සොහාන් ද ලිවේරා එළඹෙන තරග වාරයේ දී ද එවැනි ම වූ ජවයකින් පාසල් ක්‍රිකට් පිටියේ දී සේ ම සුනිල සංග්‍රාම පිටියේ දී ද පෙළහර පානු ඇත. සොහාන්ගේ ඒ සටන්කාමීත්වයට  ThePapare.com ඔහු වෙත සුබ පැතුම් එක් කරනු ලබන අතර ඔහුගේ බලාපොරොත්තු සමඟින් නිරතුරුව අපි ද අවදියෙන් සිටින බැව් ද සටහන් තබමු.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<