15න් පහළ SAFF ශූරතාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

738
Final Squad for SAFF U15 Championship

මෙම මස 18 වන දින සිට 27 වන දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 15න් පහළ දකුණු ආසියානු පාපන්දු සම්මේලන (SAFF) ශූරතාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) විසින් නම් කර ඇත.  

මීට පෙර ජුනි මාසයේ දී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කෙරුණු අතර ඊට පසුගිය මාර්තු මාසයේ දී පැවති දකුණු ආසියානු – ජපාන වයස අවුරුදු 16න් පහළ සිව් සාමාජික තරගාවලිය සඳහා සහභාගී වූ සංචිතය නියෝජනය කළ ක්‍රීඩකයින් 10 දෙනෙක් ඇතුළත්ව තිබුණි. එම ක්‍රීඩකයින් 10 දෙනාගෙන් අවසන් සංචිතය සඳහා තේරී ඇත්තේ ක්‍රීඩකයින් 08 දෙනෙක් පමණි. ඒ රවිකුමාර් තනුජන්, ජීවක චමෝද්, මොහොමඩ් රිකාස්, මොහොමඩ් රුස්කාන්, මොහොමඩ් ආශික්, නබීල් නිසාම්, සංදීප වාස් සහ විශල්ක සුලක්ෂණ යන ක්‍රීඩකයින් ය.

30 දෙනෙකුගේ සංචිතය තෝරා අවසන්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 16න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලියට (AFC) සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව…

තෝරා ගනු ලැබූ ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත අවසන් සංචිතයට ගෝල රකින ක්‍රීඩකයින් 03 දෙනෙක්, පසුපෙළ ක්‍රීඩකයින් 07 දෙනෙක්, මැදපෙළ ක්‍රීඩකයින් 08 දෙනෙක් සහ ඉදිරිපෙළ ක්‍රීඩකයින් 05 දෙනෙක් ඇතුළත්ව ඇත.

ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ ජාතික කණ්ඩායමේ නායකත්වය මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ සංදීප වාස් හට හිමි වී ඇති අතර ඔහු වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ගෝල රකින ක්‍රීඩකයෙක් වන සනිර වාස්ගේ සහෝදරයා වේ. කණ්ඩායමේ උපනායකත්වය හිමිව ඇත්තේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ජීවක චමොද්ට ය.

උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 03 දෙනෙක් තේරීපත්වී ඇති අතර ඒ රවිකුමාර් තනුජන්, එකිනාම් දීනියාස් සහ මොහොමඩ් රිහාන් යන ක්‍රීඩකයින් ය. තවද දකුණු පළාත නියෝජනය කරමින් ෂෙහාන් බ්‍රයන් වීරප්පුලි සහ රුමේෂ් මෙන්ඩිස් සංචිතය සඳහා ඇතුළත්ව ඇත.

එමෙන්ම කොළඹ හමීඩ් අල් හුසේනි විද්‍යාලයෙන්, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයෙන්, මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයෙන් සහ අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් බැගින් අවසන් සංචිතය සඳහා තේරීපත්වී ඇත.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග වදින අතර A කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම් වන්නේ බංග්ලාදේශය සහ භූතානය යි. B කාණ්ඩයෙන් ඉන්දියාව මාලදිවයින සහ නේපාලය තරග වදියි. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ප්‍රථම තරගය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මෙම සිකුරාදා (18) පැවැත්වෙන අතර දෙවන තරගය මෙම මස 20 වනදා භූතාන කණ්ඩායමට එරෙහිව කත්මණ්ඩු නුවර ANFA ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

සංචිතය   

සංදීප වාස් (C), ජීවක චමෝද් (VC), මිහිරු විජේසූරිය, අජිත් ප්‍රසාන්ත්, ෂෙහාන් හර්ෂණ, මොහොමඩ් මුශාරුෆ්, විශල්ක සුලක්ෂණ, රුමේෂ් මෙන්ඩිස්, දිනුක රාජපක්ෂ, නබීල් නිසාම්, රවිකුමාර් තනුජන්, මොහොමඩ් ආශික්, මොහොමඩ් රිකාස්, මොහොමඩ් නුස්කාන්, රෙහාන් වීරප්පුලි, අබ්දුල් හලීක්, රසිඳු රණසිංහ, රසඳ දිල්රුක්ෂ පෙරේරා, මොහොමඩ් රිහාන්, එකිනාම් දීනියාස්, කසුන් දිල්හාර, මොහොමඩ් රුස්කාන්, මොහොමඩ් ශිෆාන්

නිලධාරීන්

සුසුකි චිකාෂි (ප්‍රධාන පුහුණුකරු), මොහොමඩ් අජ්වාද් (සහාය පුහුණුකරු), යොෂිනෝරි උෂියෝඩා (සහාය පුහුණුකරු), සම්පත් බණ්ඩාර (ගෝල රකින පුහුණුකරු), එම්. බාසිත් (භෞත චිකිත්සක), නාලක දිසානායක (කළමනාකරු)

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට