ශ්‍රී ලංකාවට ඉහල උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණයක්

276
Sports Ministry signed a new project for a High Altitude ground complex

ගරු අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ ඉල්ලීමක් මත රදැල්ල ක්‍රීඩා පිටිය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඉහල උන්නතාංශ සහිත හොඳ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස වැඩි දියුණු කරනවා යැයි ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ක්‍රීඩා අමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේ අද (27) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති නුවරඑළිය ඉහල උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම සම්බන්ධ වාණිජ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණුයි.

අමාත්‍යතුමා එහි දී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ විශේෂයෙන් නුවරඑළිය තුරඟ තරග පිටිය ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය තුරග තරඟ සඳහා බාධාවක් නොවන අයුරින් සිදු කරනා බවයි. “හැමදාමත් අපි කතා කරන ක්‍රීඩා ආර්ථිකයක් හා ක්‍රීඩාවෙන් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ ක්‍රමවේදය මෙයින් ඇති වෙන බව අපි විශ්වාස කරනවා” යැයි අමාත්‍යතුමා එහි දී වැඩිදුරටත් පැවසීය.

“ඉහල උන්නතාංශ දේශගුණයක් සහිත ක්‍රීඩා පුහුණු වීමේ මධ්‍යස්ථානයක අඩුවක් අවුරුදු ගණනාවක සිට අපිට  තිබුණා. ලංකාවේ පළමු වතාවට ඉදිවෙන නුවරඑළිය ඉහළ උන්නතාංශ සහිත ක්‍රීඩාංගණය මගින් අද එය සම්පූර්ණ වෙනවා. සියලුම පහසුකම් සහිතව ඉදිවෙන ආසියාවේ 4 වෙනි ක්‍රීඩාංගණය බවට මෙය පත් වෙනවා. චීනයේ මෙවැනි මධ්‍යස්ථාන දෙකකුත්, ජපානයේ එකකුත් තිබෙනවා. ශ්‍රී ලංකාවේ හදන මෙම පුහුණු මධ්‍යස්ථානය 04 වෙනි එක බවට පත් වෙනවා. ජුනි මාසේ මුල මෙම ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයේ වැඩ ආරම්භ කර වසර 03ක් ඇතුලත මෙහි වැඩ නිමා කරන්න බලාපොරොත්තු වෙනවා.” අමාත්‍යතුමා පැවසීය.

අද අත්සන් තබනු ලැබූ ගිවිසුම ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ආචාර්‍ය ඩී.එම්.ආර්.බී.දිසානායක මහතා හා ප්‍රංශයේ ඉලිප්ස් ප්‍රොජෙක්ට් සමාගමේ (Elilips Project SAS) සභාපති පිකාර්ඩ් ඔලිවියර් මහතා (Mr.Picard Olivier) සමඟ සිදුවිය.

ලංකාවේ ක්‍රීඩාවන් 14 කට පමණ මෙම ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය භාවිතා කිරීමට හැකි වේ. ඔවුන්ගේ ශක්තිය (Endurance) වැඩි දියුණු කර ගැනීම සඳහා මෙවැනි ක්‍රීඩාංගණ අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. ශීත දේශගුණික තත්වයන් තුල ක්‍රීඩාව කරන විට අපේ හෘද ස්පන්දන වේගය සම්බන්ධ විශාල ගැටලු තිබෙනවා. ඒ ප්‍රශ්න ගැටලු අලුතින් ඉදිවෙන් මෙම පුහුණු මධ්‍යස්ථානය හරහා විසදා ගෙන ක්‍රීඩකයින්ට ඉතා ඉහළ දක්ෂතා පෙන්වීමේ හැකියාව ලැබෙනු ඇතී. බොහෝ දුෂ්කරතා මත අද වන විට බදුල්ල, බණ්ඩාරවෙල ක්‍රීඩාංගණවල කේන්ද්‍ර කරගනිමින් ක්‍රීඩකයින් පුහුණුවීම් කටයුතු සිදු කරයි.

විදේශයන්හි මෙවැනි පුහුණු මධ්‍යස්ථානයක සති 03ක, සති 06ක කාල වකවානුවක් වෙනුවෙන් පුහුණුවීම් කටයුතු කිරීමට ඩොලර් 10,000ත් 25,000ත් අතර ප්‍රමාණයක් වැය වේ.  පළමුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශක්තිමත් කරන ගමන් විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙම ක්‍රීඩාංගණය පුහුණුවීම් කටයුතු සඳහා මුදල් අය කර ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය බලාපොරොත්තු වේ. එමගින් මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට යන මුදල හා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට ගෙන ඒම ඔවුන්ගේ අපේක්ෂාව වේ. මෙම ව්‍යාපෘතියට සමගාමීව කෘතිම ධාවනපත දෙකක් වෙනම ලංකාව තුල සෑදීමට මෙමගින් මුදල් වෙන් කර ඇති බවද වාර්තා වේ. මෙම ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයේ ඉදිවෙන කෘතිම ධාවන පත දෙකට අමතරව ලංකාවේ පළාත් දෙකක අනෙක් කෘතිම ධාවන පත දෙක ඉදිවෙනු ඇත.

කිසිදු පරිසර හානියක් නොවන අයුරින්, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය හා අනෙකුත් රාජ්‍ය ආයතන වලින් ලැබෙන උපදෙස් හා නීති රෙගුලාසි මේ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය ඉදිකිරීමට සැලසුම් කරයි. මේ සඳහා අපි රුපියල් මිලියන 12,000 ක් ඉදිරි අවුරුදු 03 ඇතුලත වියදම් කරන අතර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතුව ප්‍රංශයේ ඉලිප්ස් ප්‍රොජෙක්ට් සමාගමේ (Elilips Project SAS) මුල්‍ය ශක්තියෙන් මෙම පුහුණු මධ්‍යස්ථානය ඉදිවෙනු ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට