බඩවල් පොඩිකරන සූත්‍රය එළිදැක්වෙයි

2564
SL team

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ සහ ඉන්දියානු කණ්ඩායම්වල ශ්‍රී ලංකා තරග සංචාර ඉලක්ක කරගනිමින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් එළිදක්වා ඇතැයි වාර්තා වේ. මෙහි ප්‍රධානත්වය දරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතායි.

පසුගියදා අවසන් වූ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිටියේදී දැක්වූ දක්ෂතා පිළිබඳ ප්‍රේක්ෂකයන් සහ ක්‍රීඩා අමාත්‍යවරයාද ප්‍රශ්න කරන්නට වූ පසුබිමකදී ඇතැම් ක්‍රීඩකයන්ද ඒවාට පිළිතුරු සැපයූ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා ගැටලුව දෙස පිටින් බලන විට දිස්වූයේ අවුල් සහගත ස්වභාවයකි.

“ශූරයන්ගේ කුසලානයට පෙර කෙතරම් සම්පත් සහ කැපවීම් ප්‍රමාණයක් අප සිදුකළාදැයි අප දන්නවා. ඒවගේම ක්‍රීඩකයන් පිටියෙන් එපිට සහ මෙපිට කෙතරම් මහන්සිවී කටයුතු කළාදැයි කියාද අප දන්නවා. නමුත් එදා දවසේදී එය ප්‍රමාණවත් නොවූ බව අප පිළිගෙන ඊට හේතු වූ කරුණු සොයාබැලිය යුතුයි.” ඩේලි මිරර් මාධ්‍යය වෙත අදහස් දක්වමින් අසංක ගුරුසිංහ පවසා තිබුණි.

පසුගිය 16 වැනිදා රැස්වූ තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයන් 30ම දෙනෙකු තෝරාගෙන සතියක් පුරාවට ඔවුන්ගේ පුහුණු සැසි දෙස විමර්ශනශීලී ඇස යොමුකරගෙන සිටින බව දැනගන්නට ලැබේ. එහිදී වැඩිදියුණු කෙරෙන්නේ ක්‍රීඩකයන්ගේ වේගය, ශරීර වර්ධනය, ශක්තිය සහ දරාගැනීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා වෛද්‍ය ඒකකය එක්ව පවත්වන මෙය පාලනය කරන්නේ කමිටුවක් මඟිනි. එහි සාමාජිකයන් වන්නේ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය, කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය සභාවේ සභාපති ; මහාචාර්ය අර්ජුන ද සිල්වා, කාර්ය සාධන කළමනාකරු සයිමන් විලිස්, පුනරුත්ථාපන කළමනාකරු නිර්මලන් තනබාලසිංහම් යන මහත්වරුන් ය.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<