කොරෝනා නිසා කොර වූ කොරියානු පාපන්දු ලීගය

82

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය දකුණු කොරියාව තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟම එරට පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන පෙළේ දෙස් විදෙස් ක්‍රීඩා තරගාවලි රැසක්ම දින නියමයක් නොමැතිව කල්දැමීමට බොහෝ තරග සංවිධායකවරුන් පියවර ගනිමින් සිටි. 

නව තරගවාරය ආරම්භ කරමින් නොබෝ දිනකින් ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ එරට ප්‍රමුඛතම පාපන්දු තරගාවලිය ලෙස හැඳින්වෙන “K-ලීග් ශූරතාවය” උද්ගතව ඇති ගැටළුකාරී තත්වය සැළකිල්ලට ගනිමින් කල්දැමීමට ඊයේ දිනයේ හදිසි රැස්වීමක් කැඳවූ තරගාවලි සංවිධායක කමිටුව තීරණය කර තිබේ. 

කොරියානු පාපන්දු ලෝලින්ගේ දැඩි ආකර්ශනයක් හිමිකර ගන්නා මෙම තරගාවලිය එරට නම් දැරූ දක්ෂ ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩා කරනු ලබන සුප්‍රසිද්ධ පාපන්දු තරගාවලියකි. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් සුදුසුකම් හිමිකර ගෙන සිටි අතර පසුගිය වර ශූරයින් ලෙස කිරුළු පැළඳූ Jeonbuk Hyundai Motors කණ්ඩායම එළැඹෙන සති අන්තයේ දී තම පළමු තරගය ක්‍රීඩා කරමින් ජයග්‍රාහී සටහනකින් තරගවාරය ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් පසුවිය. 

කෙසේනමුත් ක්‍රීඩකයින්ගේ පමණක් නොව සෙසු අයගේත් සෞඛ්‍ය තත්වය සහ ආරක්ෂාව සඳහා මුල්තැන දී කටයුතු කිරීම මෙම අවස්ථාවේ දී අතිශය වැදගත් නිසාවෙන් මෙවැනි තීරණයකට එළැඹීමට වගකිව යුතු පුද්ගලයින් ලෙස තමන්ට සිදු වූ බව සංවිධායක කමිටුවේ නිළධාරීහූ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියහ. 

මේ වන විට දකුණු කොරියාව පුරා මෙම වෛරසය වැළදුණු පුද්ගලයින් 800කට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති අතර එකම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් පස්දෙනෙකු ඇතුළුව පුද්ගලයින් හත්දෙනෙකු මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වේ. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<