ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට අද (21) ඉන්දියාව සමත් විය.

ශ්‍රී ලංකා මේස පන්දුව ආසියානු ශූරතාවයට සුදුසුකම් ලබයි

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දකුණු ආසියානු මේස පන්දු..

19 වැනිදා සිට අද (21) දක්වා පැවති මෙම තරගාවලියට ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී විය.

ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කණක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන හා සහතික පත්‍ර ප්‍රදානය සිදු විය.

South Asian Table Tennis Championship 2කනිෂ්ඨ බාලක, කනිෂ්ඨ බාලිකා (අවුරුදු 18න් පහළ, ආධුනික බාලක සහ ආධුනික බාලිකා (අවුරුදු 15න් පහළ) යන වයස් කාණ්ඩ යටතේ පැවති  මෙම තරගාවලිය ඉසව් 10ක් යටතේ පැවැත්විය. එහි සියලුම ඉසව් නියෝජනය කරමින් රන් පදක්කම් දිනා ගැනීමට ප්‍රබල ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

සමස්ත තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත්තේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම කාණ්ඩ 6ක රිදී පදක්කම් සහ කාණ්ඩ 4ක ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය. මාලදිවයින් කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම කාණ්ඩ 3ක ලෝක පදක්කම් දිනා ගනිමින් තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර බංග්ලාදේශයට හිමි වූයේ කාණ්ඩ 2ක ලෝකඩ පදක්කම්  පමණි.

පසුගිය වසරේ පැවති තරගාවලියේ දී රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. පකිස්ථානයට යෑමට වීසා ලබා ගැනීමේ දී ඇති වූ ගැටලුකාරී තත්වයක් නිසාවෙන් ඉන්දියාව පසුගිය තරගාවලිය සඳහා සහභාගී වූයේ නැත.

අද (21) ශ්‍රී ලංකාව සහභාගී වූ සියලුම‍ කේවල තරග ඔවුන්ට ජය ගැනීමට නොහැකි වූ අතර ඒ සියල්ල ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායමට හැකි විය.

වයස අවුරුදු 15න් පහළ බාලක කේවල අවසන් තරගයේ දී තරග වැදුණේ එච්. ජේහො සහ සොමයියා චින්මායා කපිල් යන ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනා වේ. එම තරගයේ ජය 3/1 ලෙස ජේහො සතු විය.

ජේහො බංග්ලාදේශ ක්‍රීඩක එම්. අහ්මද් වට 3/1ක් ලෙස පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අතර සොමයියා චින්මායා කපිල් ශ්‍රී ලංකා ක්‍රීඩක ඒ. එම්. සී. ඩී. බණ්ඩාර අලහකෝන් තරග වට 3/1ක් ලෙස පරාජය කරමින් එම අංශයේ අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

South Asian Table Tennis Championship 1ඉන්දීය ක්‍රීඩිකා කුටුම්බාලි අනුෂා හා ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඩබ්ලිව්. ජිතාරා අතර පැවති තරගයෙන් වට 3/1ක් ලෙස ඉන්දීය ක්‍රීඩිකාව ජය ගනිමින් 15න් පහළ බාලිකා කේවල අංශයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර අවසන් මහා තරගයේ දී ඉන්දීය ක්‍රීඩිකා භාර්ගායා වින්ෂිකා විස් ඇයව වට 3/0ක් ලෙස පරාජයට පත් කළාය.

වයස අවුරුදු 18න් පහළ බාලක අංශයේ අවසන් මහා තරගය ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර පැවති අතර ඔවුන් දෙදෙනාම ඊට සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රීඩක පී. ඩී. උමේෂ් තෙන්නකෝන් හා කේ. ඩී. වී. මදුෂාන් පිළිවෙළින් තරග වට 3/0ක් ලෙස පරාජය කරමිනි. අවසන් තරගයේ දී මානව් විකාෂ් විසින් විර්මානි පර්ත් පරාජය කරමින් ශූරතාවය දිනා ගන්නා ලදි.

එම අංශයේම බාලිකා තරගයේ දී ඉන්දීය ක්‍රීඩිකා කමත් අර්චානා ගිරිෂ්, ශ්‍රී ලංකාවේ එස්. එච්. එස්. ඉමාෂා ද සිල්වා තරග වට 3/1ක් ලෙස පරාජය කරමින් ද පරීක් ප්‍රියංකා විසින් කේ. හංසනී පියුමිලා තරග වට 3/0ක් ලෙස පරාජය කරමින්ද  අවසන් තරගයට පිවිසියාය. එයින් අර්චානා ජයග්‍රහණය වාර්තා කළාය.

මෙම තරගාවලියේ 15න් පහළ යුගල තරග ක්‍රියාත්මක නොවූ අතර 18න් පහළ බාලක හා බාලිකා යුගල තරගයන් හී රන් පදක්කම හිමි වූයේ ද ඉන්දීය කණ්ඩායමටයි.

18න් පහළ බාලක අංශයේ යුගල අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් බංග්ලාදේශ කණ්ඩායම පරාජය කොට අවසන් මහා තරගයට පිවිසි අතර අවසන් මහා තරගයේ දී ප්‍රතිවාදීන් වූ ප්‍රබල ඉන්දීය කණ්ඩයම හමුවේ තරග වට 3/1ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය විය.

ශ්‍රී ලංකාවට හිමි වූ පදක්කම්

රිදී පදක්කම්

  • කනිෂ්ඨ බාලක යුගල – දිනේෂ් කවිෂ්ක සහ දිෂංක තෙන්නකෝන්
  • කනිෂ්ඨ බාලිකා යුගල – හංසනී පියුමිලා සහ ඉමාෂා ද සිල්වා
  • කනිෂ්ඨ බාලක කණ්ඩායම – දිනේෂ් කවිෂ්ක, දිෂංක තෙන්නකෝන්, විරුණක හෙන්දහේවා, සහ නිමේෂ් රංචාගොඩ
  • කනිෂ්ඨ බාලිකා කණ්ඩායම – හංසනී පියුමිලා, ඉමාෂා ද සිල්වා, තනූෂී රොද්‍රිගෝ සහ චමත්සරා ප්‍රනාන්දු
  • ආධුනික බාලක කණ්ඩායම – චන්දූප අලහකෝන්, තිසස් රංචාගොඩ සහ දෙව්මිත් වීරසේන
  • ආධුනික බාලිකා කණ්ඩායම – ඩී. එච්. කොළඹගේ, ජිතාරා වර්ණකුලසූරිය සහ සඳුනි ප්‍රබුද්ධිකා

ලෝකඩ පදක්කම්

  • කනිෂ්ඨ බාලක කේවල – දිනේෂ් කවිෂ්ක සහ දිෂංක තෙන්නකෝන්
  • කනිෂ්ඨ බාලිකා කේවල – හංසනී පියුමිලා සහ ඉමාෂා ද සිල්වා
  • ආධුනික බාලක කේවල – චන්දූප අලහකෝන්
  • ආධුනික බාලිකා කේවල – ඩී. එච්. කොළඹගේ සහ ජිතාරා වර්ණකුලසූරිය

ඒ අනුව ලබන ජුනි මස 29 වැනිදා කොරියාවේ දී ආරම්භ වන ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමත් විය.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට