ප්‍රථම දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියට සියල්ල සූදානම්

703
South Asian Aquatic Championship

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලබන දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලිය මෙම මස 18 සිට 23 දක්වා කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරනු ලැබීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ තරගාවලිය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා ඊයේ (11) සවස ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් තරගාවලිය කුරුණෑගලදී

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපති කොමදෝරු ජයන්ත ගමගේ හා එම සංගමයේ ලේකම් මිගාර ගුණතිලක යන මහත්මවරුන්ගේ හා සෙසු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය හා ආසියානු වයස් කාණ්ඩ ජල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කොට ගනිමිනි මෙම තරගාවලිය ක්‍රියාත්මක වන අතර දකුණු ආසියාතික රටවල් 07ක් මෙයට සහභාගී වීමට නියමිතව ඇත. ඒ ඇෆ්ගනිස්තානය, පාකිස්ථානය,නේපාලය, මාලදිවයින, බංගලාදේශය හා ශ්‍රී ලංකාවයි. මෙම වසරේ (2016) ඉන්දියාවේ පැවති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේදී පැවැති සාකච්චාවක ප්‍රතිඵලයක් ලෙසින් මෙම තරගාවලිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී සංවිධානය කර ඇත.

මෙම තරගාවලිය කලාපයේ රටවල විවිධ වයස් මට්ටම් තුළ ක්‍රීඩා කරන්නාවූ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩාශීලීත්වය වර්ධනය කරවීම අරමුණ කරගනිමින් පැවැත්වෙයි. කොළඹ සුගතදාස පිහිණුම් තටාකය හා ගාලු මුවදොර මුහුදු තීරය කේන්ද්‍ර කොට ගනිමින් පුරා දින පහක් පුරාවට මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත.

දකුණු ආසියාතික රටවල් හතක් නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400ක් පමණ මේ සදහා සහභාගී වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160ක පමණ පිරිසක් සහභාගී වීමට නියමිතයි. තරගාවලිය සඳහා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 85ක්, කිමිදුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25ක්, දිය පන්දු (වෝටර් පෝලෝ)  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30ක් හා විවෘත පිහිණුම් අංශයෙන් තරගකරුවන් 20කගෙන් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංචිතය සමන්විත් වේ.

මේ තරගාවලිය අපගෙ පිහිනුම් ක්‍රීඩාවේ වර්ධනය සඳහා බෙහෙවින් උපකාරී වේවි. අපි පදක්කම් වලට යාමේදී ලංකාවට වාසිදායක අවස්ථාවක් තියනවා ජයග්‍රහණ රැසක් පිහිණුම් ඉසව්වෙන් ලබාගන්න. පැහැදිලි අනාගතයක් තියනවා මේ ජල ක්‍රීඩා ඉසව්වෙන් අපිට. මේ තරගාවලිය ඒ සදහා ආශිර්වාදයක් වේවි” යැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කරනු ලැබීය.

ඉතා ක්‍රමාණුකූලව අපි ක්‍රීඩාව ඉහළ තැනකට ගේන්න අඩිතාලම දාලා තියෙන්නේ. විශේෂයෙන් රටේ පිහිණුම් ක්‍රීඩාව වෙනුවෙන් දිස්ත්‍රීක්ක මට්ටමෙන් හා පාසල් මට්ටමෙන් පිහිණුම් තටාක ඉදිකරන්න අපි කටයුතු කරනවා” යැයි ඒ මහතා වැඩිදුරටත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලදි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගීත්වයෙන් හා ෆොන්ටෙරා ආයතනයේ ප්‍රධාන අනුග්‍රහයෙන් මෙම තරගාවලිය පවත්වනු ලැබේ. 2020 ඔලිම්පික් තරගාවලියට මුලික අඩිතාලම වශයෙන් මෙම තරගාවලිය ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපති කොමදොරු ජයන්ත ගමගේ මහතා විසින් හදුන්වනු ලැබූ අතර ඒ මහතා ප්‍රකාශ කරනු ලැබුවේ මෙම තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ශතා මුවහත් කරගැනීමට මෙයින් හැකි වන බවත් අප රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා මෙම තරගාවලිය නවමු ආරක තරගාවලියක් වන බවත්ය.

තරගාවලියේ තරගාවලී සටහන පහත පරිදි වේ.

  • පිහිණුම් (වයස් කාණ්ඩ 3ක් යටතේ) ඔක්තෝම්බර් 19 සිට 22දක්වා  (සුගතදාස පිහිණුම් තටාක සංකීර්ණය)
  • කිමිදුම් (වයස් කාණ්ඩ  4ක් යටතේ) ඔක්තෝම්බර් 19 සිට 22 දක්වා (සුගතදාස පිහිණුම් තටාක සංකීර්ණය)
  • දිය පන්දු (වෝටර් පෝලෝ ) – (20න් පහළ) ඔක්තෝම්බර් 18සිට 22දක්වා (සුගතදාස පිහිණුම් තටාක සංකීර්ණය)
  • විවෘත ජල පිහිණුම් (විවෘත) ඔක්තොම්බර් 23  ගාලු මුවදොර මුහුදු තීරයේදී.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට