දකුණු අප්‍රිකාවට පහසු ජයග්‍රහණයක්

177

සිම්බාබ්වේ කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය ආරම්භ කරමින් කිම්බර්ලි ඩයමන් ඕවල් හි දී පැවති පළමු එක්දින තරගයේ දී කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කළ සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තරගාවලිය සුබ මුහුර්තියෙන් ආරම්භ කිරීමට සමත් වූහ.

ඉන්දියාව නැවත ආසියානු ක්‍රිකට් ශූරතාව රැගෙන යයි

ආසියානු කලාපයේ ක්‍රිකට් ශූරයන් තමන් මිස අන් කවරෙක්වත් නොවේ යැයි නැවත වතාවක් …

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 117ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 119ක් ලබා ගත් හ. ඒ තරගය නිමා වීමට තවත් පන්දු 143ක් ඉතිරිව තිබිය දී ය.

මෙම තරගයේ දී සිම්බාබ්වේ ක්‍රීඩකයෝ රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරගයක දී රැස් කරන ලද අඩුම ලකුණු ප්‍රමාණය විය. මීට පෙර ඔවුන් 2009 වසරේ නොවැම්බර් හි දී සෙන්චුරියන් හිදි පැවති තරගයේ දී ලබා ගත් ලකුණු 119 මෙතෙක් එම ස්ථානයේ තිබුණි.

මෙම තරගය සඳහා කණ්ඩායම් දෙක වෙනුවෙන්ම ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමට ක්‍රීඩකයන් දෙදෙනෙක් සමත් වූහ. ඒ දකුණු අප්‍රිකාව වෙනුවෙන් 32 හැවිරිදි මැදපෙළ පිතිකරුවෙක් සේ සැලකෙන ක්‍රිස්තියන් ජොන්කර් සහ සිම්බාබ්වේ වෙනුවෙන් 21 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක බ්‍රැන්ඩන් මවුටා ය.

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූයේ එල්ටන් චිගුම්බුරා ය. ඔහු පන්දු 66කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තේ ය. ඊට ප්‍රථම ආරම්භක පිතිකරු හැමිල්ටන් මසකඩ්ෂා පන්දු 52ක දී ලකුණු 25ක් ලබා සිටියේ ය. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් ඇතුලත්ව තිබුණි.

පන්දු යැවීමේ දී ලුන්ගි නිගිඩි ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඔහුගේ මෙම දක්ෂතාව තරගයේ වීරයා ලෙසින් නම් කිරීමට ද හේතු විය. මීට අමතරව අන්ඩිල් පෙහෙලුක්වායෝ සහ ඉම්රාන් තාහිර් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ 27 වැනි පන්දු වාරයේ දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 119ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළහ. එම ඉනිම වෙනුවෙන් කඩුලු රැකි ක්‍රීඩක හෙන්රිච් ක්ලසීන් පන්දු 44ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 44ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ එක්දින තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් විය.

වනිඳු සහ සුදාරක වෙළඳසේවා පිටිය වර්ණවත් කරයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් …

ඔහුට අමතරව ආරම්භක පිතිකරු ඒඩෙන් මැක්‍රම් පන්දු 38කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟ ලකුණු 27ක් ලබා සිටියේ ය. තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී ජේ. පී. ඩුමිනි නොදැවී ලකුණු 16ක් ද, විලියම් මුල්ඩර් නොදැවී ලකුණු 14ක් ද ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ටෙන්ඩායි චතාරා සහ වෙලිංග්ටන් මසකඩ්ෂා කඩුලු 2 බැගින් දවා ගත්තේ ය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය මේ මස 03 වැනිදා Bloemfontein හිදී පැවැත්වීමට නියමිත ය.

සිම්බාබ්වේ; සියලුම දෙනා දැවී 117 (34.1): හැමිල්ටන් මසකඩ්ෂා 25, එල්ටන් චිගුම්බුරා 27, කගිසෝ රබාඩා 2/34, ලුන්ගි නිගිඩි 3/19, අන්ඩිල් පෙහෙලුක්වායෝ 2/22, ඉම්රාන් තාහිර් 2/23

දකුණු අප්‍රිකාව; කඩුලු 5ක් දැවී 119 (26.1):  ඒඩෙන් මැක්‍රම් 27, හෙන්රිච් ක්ලසීන් 44, ටෙන්ඩායි චතාරා 2/12, වෙලිංග්ටන් මසකඩ්ෂා 2/26

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<