ඩේල් ස්ටේන්ගේ අනුප්‍රාප්තිකයා ඔලිවියර් ද?

296

වැලි කතර නුපුරුදු කිවියන් හමුවේ පාකිස්තානු කණ්ඩායම තරග 2-1ක අනපේක්ෂිත ටෙස්ට් තරගාවලි පරාජයක් ලබා වැඩි කල් ගත වූයේ නැත. තත්ත්වය තවත් නරක අතට හරවමින් දකුණු අප්‍රිකානු දේශයේ සංචාරයක නිරත වීමට ද පාකිස්තානුවන්ට සිදු විය.

ප්‍රතිඵලය වූයේ බොහෝ දෙනා සිතූ පරිදිම 3-0ක පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් (White wash) පාකිස්තානු කණ්ඩායමට හිමි වීමයි. එම තරගාවලියේ අවසන් තරගය ඊයේ (14) නිමාවට පත්වූයේ ප්‍රබල දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 107ක ජයක් හිමිකර දෙමිනි.

අවසන් පන්දු වාරයේ ප්‍රහාරයෙන් ඉන්දියාව සටනට පා තබයි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඇඩිලේඩ් ක්‍රිකට් පිටියේ දී පැවති …

තරග වාර්තා රැසකට හිමිකම් කියන ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය හිමි වූයේ දකුණු අප්‍රිකානු නායක ඩීන් එල්ගාර් ටයි. ඒ අනුව තම පිතිපෙළ ගැන විශ්වාසය තැබූ ඔහු මුලින් පිතිකරණයේ යෙදීම තෝරා ගත්තේය. ඒ අනුව ඇරඹුණු දකුණු අප්‍රිකානු ප්‍රථම ඉනිමේ දී අතිදැවැන්ත ඉනිමක් වාර්තා නොවූ නමුත් බොහොමයක් පිතිකරුවන් තම වගකීම ඉටු කිරීමට සමත් විය.

ඒ අතුරින් පෙරමුණ ගත් ඒඩන් මාර්ක්‍රම් පන්දු 124කින් ලකුණු 90ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 16ක් තම ඉනිම තුල අන්තර්ගත කරමිනි. ඔහු වටා ගොඩ නැගුණු දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 262ක් දක්වා ඇදී ගියේය. දකුණතින් වේගපන්දු යවන ෆහීම් අශ්රාෆ් ලකුණු 57කට කඩුලු 3ක් බිඳ හෙලද්දී ඔහුගේ අනෙකුත් වේග පන්දු සහායකයින් තිදෙනා වන මොහොමඩ් ආමීර්, මොහොමඩ් අබ්බාස් සහ හසන් අලි කඩුලු 6ක් තමන් අතරේ සම සමව බෙදා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි පාකිස්තානු පිළේ මුල් කඩුලු දෙකම ලකුණු 6ක් තුල බිඳ වැටීම තරගයේ පාලනය මුල සිටම දකුණු අප්‍රිකානුවන්ට නතු කිරීමට හේතු විය. ඒ අනුව ඔවුන්ට ප්‍රථම ඉනිම අවසානයේ රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 185ක් පමණි. පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් නායක සෆ්රාස් අහමඩ් ඉනිමේ එකම අර්ධ ශතකය රැස් කරගත් අතර බාබර් අසාම් සහ ඉමාම් උල්-හක් පිළිවෙළින් ලකුණු 49 සහ 43 බැගින් රැස්කර ගත්හ. මේ වන විට නවක ටෙස්ට් පන්දු යවන්නෙකු ලෙස  විශාල ප්‍රගතියක් පෙන්නුම් කරන දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ඩුවාන් ඔලිවියර් මෙම ඉනිමේ දී ලකුණු 51කට කඩුලු 5ක් දවා ගත්තේය. වර්නන් ෆිලැන්ඩර් කඩුලු 3යි.

ඇන්ජලෝ නතර කළ තැනින් පැතුම් පටන් ගනී

සංචාරක අයර්ලන්ත A ක්‍රීඩකයන්ගේ ආඩම්බරකාරී ඉනිම ඉදිරියේ ඇන්ජලෝ ප්‍රනාන්දු ශ්‍රී ලංකා පළමු ඉනිම…

ලකුණු 77ක ඉදිරියක් සමඟින් දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකාව කණ්ඩායමේ ප්‍රථම කඩුලු 5 ලකුණු 93ක් තුල දී බිඳ වැටුණ ද කඩුලු රකින පිතිකරු ක්වින්ටන් ඩි කොක් වාර්තා කළ විශිෂ්ට ශතකයේ අනුහසින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජය මාවත පැහැදිලි විය. ඩි කොක් පන්දු 138ක් තුල ලකුණු 129ක් ලබා ගත්තේ හතරේ පහර 18ක් සහ මනරම් හයේ පහරක් ද සමඟිනි. මීට අමතරව දකුණත් සුපිරි පිතිකරු හෂීම් අම්ලා වාර්තා කළ ලකුණු 71 ද ඉනිම ගොඩ නැගීමට සවියක් විය. පන්දු යැවීමේ දී ෆහීම් අශ්රාෆ් සහ ශදාබ් කාන් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය. කෙසේ වෙතත් ඒ වන විට දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 303ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 380ක අසීරු ඉලක්කයක් හිමිවුණු පාකිස්තානු කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් සටනක් දියත් කළ ද වේගවත් තණතිල්ලක සිව්වැනි ඉනිමේ පිතිකරණයේ යෙදීම ඔවුන් සිතූ තරම් පහසු නොවීය. ඔවුන්ගේ පිතිකරුවන් සියල්ලක්ම පාහේ හොඳ ආරම්භයක් ලබා ගත්ත ද දිගු ඉනිම් කරා යාමට අපොහොසත් වීම පාකිස්තානු කණ්ඩායමේ තවත් එක් අසාර්ථක ටෙස්ට් තරගාවලියක නිමාව සනිටුහන් කළේය. සිව්වැනි දිනයේ අඩක් ගෙවී යද්දී ඔවුන්ගේ දෙවැනි ඉනිම දිස්වූයේ සියල්ලන්ම දැවී ලකුණු 273ක් වශයෙනි. පන්දු යැවීමේ දී ඩුවාන් ඔලිවියර් සහ කාගිසෝ රබාඩා අතරේ කඩුලු ත්‍රිත්වය බැගින් බෙදී ගියේය.

අකිල යළිත් දස්කම් අතරට

අකිල ධනංජය යනු, අවසන් මාස 12කට අධික කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින මෙන්ම ටෙස්ට් …..

කණ්ඩායම පසුබෑමකට නතුවූ මොහොතේ අනර්ඝ ශතකයක් වාර්තා කිරීම වෙනුවෙන් තරගයේ වීරයා සම්මානය පිරිනැමුනේ කඩුලු රකින පිතිකරු ක්වින්ටන් ඩි කොක්ටයි. තරග තුනකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය පුරාවට ඩේල් ස්ටේන්, කාගිසෝ රබාඩා සහ වර්නන් ෆිලැන්ඩර් වැනි නම් දැරූ පන්දු යවන්නන්ටත් වඩා දස්කම් දැක්වූ ඩුවාන් ඔලිවියර් තරගාවලියේ වීරයාට හිමි සම්මානයට හිමිකම් කීවේය. තවමත් 26 වැනි වියේ පසුවන ඔලිවියර් තමන් සහභාගි වූ ටෙස්ට් තරග 8 දී කඩුලු 41ක් බිඳ දමා ඇත්තේ නුදුරේ දී ම සමුගනු ඇතැයි අපේක්ෂා කරන ඩේල් ස්ටේන් වෙනුවට තමා දකුණු අප්‍රිකානු පිළේ බර කරට ගැනීමට සූදානම් බව තහවුරු කරමිනි. එය දකුණු අප්‍රිකානු පිළේ වේගපන්දු ආධිපත්‍යය තවදුරටත් පවත්වා ගැනීමට මනා රුකුලක් වනු ඇත.

දකුණු අප්‍රිකානු (පළමු ඉනිම): සියල්ලන්ම දැවී ලකුණු 262 (පන්දුවාර 77.4): ඒඩන් මාර්ක්‍රම් 90, තීනස් ඩි බ්‍රයින් 49, හෂීම් අම්ලා 41, සුබායර් හම්සා 41, ෆහීම් අශ්රාෆ් 3/57, මොහොමඩ් ආමීර් 2/36.

පාකිස්තානු (පළමු ඉනිම): සියල්ලන්ම දැවී ලකුණු 185 (පන්දුවාර 49.4): මොහොමඩ් සෆ්රාස් 50, බාබර් අසාම් 49, ඉමාම් උල්-හක් 43, ඩුවාන් ඔලිවියර් 5/51, වර්නන් ෆිලැන්ඩර් 3/43.

දකුණු අප්‍රිකානු (දෙවැනි ඉනිම): සියල්ලන්ම දැවී ලකුණු 303 (පන්දුවාර 80.3): ක්වින්ටන් ඩි කොක් 129, හෂීම් අම්ලා 71, ශදාබ් කාන් 3/41, ෆහීම් අශ්රාෆ් 3/42.

පාකිස්තානු (දෙවැනි ඉනිම): සියල්ලන්ම දැවී ලකුණු 273 (පන්දුවාර 65.4): අසාද් ශෆීක් 65, ශදාබ් කාන් 47*, ශාන් මසූඩ් 37, ඩුවාන් ඔලිවියර් 3/74, කාගිසෝ රබාඩා 3/75.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<