දකුණු අප්‍රිකානුවන්ගේ පාකිස්තාන ගමන කල් යන ලකුණු

73

බංග්ලාදේශ කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය අවසන් වීමෙන් අනතුරුව විස්සයි විස්ස තරග ත්‍රිත්වයක් සඳහා එළඹෙන මාර්තු මාසයේ අග භාගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම එරටට පැමිණීමට නියමිතව තිබූ නමුත් එම තීරණයෙහි යම් වෙනසක් සිදු කරමින් තරගාවලිය දින නියමයකින් තොරව කල්දැමීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කොට තිබේ.

ඩර්බන් පිටිය හඬවමින් දකුණු අප්‍රිකාවට ලකුණු 2ක තියුණු පරාජයක්!

එකකට එකක් පරදින්නට අකමැති සුපිරි කණ්ඩායම් දෙකක් අතර පැවැත්වුනු තවත් උණුසුම් T20…

මේ පිළිබඳව කරුණු පහදා දැනුවත් කිරීම සඳහා ඊයේ (14) දිනයේ දී පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණු අතර එහි දී ඔවුන් සඳහන් කර සිටියේ තරගාවලිය දියත් කිරීම සඳහා සුදුසු කාල සීමාවක් පිළිබඳව දෙපාර්ශවයම එකඟතාවකට පැමිණ පසු අවසන් තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි.

මෙහි දී දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මෙවැනි තීරණයක් ගැනීම සඳහා හේතුපාදක වූ කරුණු පිළිබඳ පැහැදිලි කරමින් PCBය වෙත ලිපියක් යොමු කර ඇති අතර එහි කියැවෙන පරිදි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් හට ඉදිරි කාලපරිච්ඡේදය තුල දී ඉතාමත් කාර්‍යබහුල තරග රටාවකට අනුගත වීමට සිදු වන නිසාවෙන් ආබාධයන්ට ගොදුරු වීමේ අවදානම අවම කරගනිමින් ඔවුන්ගේ වැඩ කොටස කළමනාකරණය කිරීමෙහි ඇති අවශ්‍යතාව මෙවැනි තීරණයක් ගැනීමට මූලිකවම හේතු වූ බවයි.

එක්දින තරග තුනක් සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉන්දියාවේ තරග සංචාරය කිරීමට සැලසුම්කොට ඇති අතර ඉන් අනතුරුව පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසානයත් (මාර්තු 22), ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ආරම්භයටත් (මාර්තු 29) පෙර ඇති විවේක කාල සීමාව මෙම පාකිස්තාන තරග සංචාරය සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරිණි. 

රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් සියලුම තරග පැවැත්වීමට ඒ වන විටත් අවශ්‍ය විධිවිධාන සකස් කොට තිබූ අතර වත්මන් තත්වය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව තරගාවලිය පැවැත්වීමට සුදුසු දින වකවානුවක් ඉදිරියේ දී නම් කිරීමට නියමිත බව සඳහන් වේ.

T20 තරග රටාවට ඉක්මනින්ම සමුදෙනවා – ඩේවිඩ් වෝනර්

ඕස්ට්‍රේලියා ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් විස්සයි විස්ස ක්‍රිකට් දිවියට සමුදීම පිළිබඳව…

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන ඇති තීරණයෙහි කිසිදු වරදක් තමන් නොදකින බව සඳහන් කළ පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වසීම් ඛාන් මහතා එවැනි තීන්දුවක් ගනිමින් ක්‍රීඩකයින් රැකබලා ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් අගය කළ යුතු බවත් වැඩිදුරටත් ප්‍රකාශකොට සිටියේය.

“දකුණු අප්‍රිකානු කණ්ඩායම උණුසුම් ආකාරයෙන් පිළිගන්න අපි ඉතාමත් ආසාවෙන් මඟ බලාගෙන හිටියත් තමන්ගේ ක්‍රීඩකයින්ගේ ක්‍රිකට් අනාගතය පිළිබඳව දුරදිග හිතලා ඔවුන් ගත්ත මේ තීරණයට අපි හැමෝම ගරු කළ යුතුයි. තමන්ගේ ක්‍රීඩකයින් හරියාකාරව කළමනාකරණය කරගන්නවා කියන එක ඕනම රටක ක්‍රිකට් පාලක මණ්ඩලයට පැවරිලා තියෙන ප්‍රධාන රාජකාරියක්.” 

“ඒක නිසා මේ ගත්ත තීරණය සාධාරණයි කියලා කියන්න පුළුවන්. දැනට දෙපාර්ශවයම ඉදිරි තරග කාලසටහන්වල තරග නැති දින වකවානු පිළිබඳව හොයා බලමින් යනවා. අපි ඉතාමත් සතුටු වෙනවා දකුණු අප්‍රිකානු පාර්ශවයට ඔවුන් මේ ගැන දක්වන උනන්දුවට සහ සහයෝගයට.”

දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබන වසරේ මුල් කාර්තුවේ දී එක්දින, විස්සයි විස්ස සහ ටෙස්ට් තරගාවලීන් ඇතුළුව සම්පූර්ණ තරග සංචාරයක් සඳහා පාකිස්තානය වෙත පැමිණීමට නියමිත අතර එය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනාගත තරගාවලි වැඩසටහන ද (FTP) ඇතුළත්ව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<