තරංග තුන්වන පන්දුවාර 20 තරගයෙන් ඉවත් වේ

829
Upul Tharanga

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර තරග සඳහා නායකත්වය දරන උපුල් තරංග ආරක්‍ෂක හේතූන් මත මෙම මස අගදී පාකිස්තානයේ ලාහෝර් නුවර දී පැවැත්වීමට නියමිත පාකිස්තාන කණ්ඩායම සමඟ පන්දුවාර 20 තරගාවලියේ තුන්වන තරගයෙන් ඉවත් වී ඇත.

පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර 20 තරග තුන සඳහාම එක් ශ්‍රී ලංකා සංචිතයක් නම් කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළ අතර ඒ අනුව තරගාවලියේ පළමු තරග දෙක සඳහා කණ්ඩායමට නායකත්වය ලබා දීමේ අවස්ථාව ද තරංග හට අහිමි වනු ඇත.

ලාහෝර් 20-20 තරගයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ස්ථීර කරයි

ලබන 29 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන…

Cricbuzz වෙබ් අඩවියට ලැබී ඇති විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් පාකිස්තානයේ සංචාරය කිරීමට කැමැත්ත පළකර ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සහ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් පමණි.

ඒ අනුව තරංග තරගාවලිය සඳහා සහභාගී නොවන බැවින් එම පන්දුවාර 20 තරග තුන සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීමේ අවස්ථාව බොහෝ විට කුසල් ජනිත් පෙරේරා හට ලැබෙනු ඇතැයි වාර්තා වේ. කුසල් ජනිත් ජුනි මාසයේ දී පාදයේ ආබාධයකට ලක්වූ අතර ඔහු මේ වන විට ඉන් සුවය ලබමින් පසුවෙයි. ඒ අනුව ඔහුව MRI පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත අතර ඔහු ඉන් සමත් වුවහොත් එම තරග තුන සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීමේ අවස්ථාව ඔහුට හිමි වනු ඇත.

ශ්‍රී ලංකා පන්දුවාර 20 කණ්ඩායම සඳහා මෑතක දී ක්‍රීඩා කරනු ලැබූ ඩිල්ශාන් මුණවීර, අෂාන් ප්‍රියංජන් සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින් පාකිස්තානයේ සංචාරය කිරීමට මේ වන විට කැමැත්ත පළකර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනෙක් ක්‍රීඩකයින් සමඟ තවමත් ඒ සම්බන්ධව සාකච්ඡා කරමින් පසුවෙයි.

මීට පෙර කොන්ත්‍රාත්තු ලැබූ ක්‍රීඩකයින් 40 දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා හට ලිපියක් යොමු කරමින් ලාහෝර් නුවර බලා යාමට සිය අකමැත්ත ප්‍රකාශ කළ අතර ඉන් අනතුරුව ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සිය තීරණය වෙනස් කරනු ලැබුව ද තවමත් බහුතරයක් එම සංචාරය සඳහා අකමැත්තෙන් පසු වේ. මේ අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද ඇතුළත් වේ.

මාලිංගව එක්දින සංචිතය සඳහා ඇතුළත් කරනු නොලැබූ නමුත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා Cricbuzz වෙබ් අඩවිය සමඟ ප්‍රකාශ කර ඇත්තේ ඔහු මාලිංගව පන්දුවාර 20 තරගාවලිය සඳහා ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ලාහෝර් නුවර දී පැවැත්වෙන තරගය සඳහා ක්‍රීඩා කිරීමට අකමැත්ත පළකරන ක්‍රීඩකයින් මුළු තරගාවලියටම ඇතුළත් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය සම්බන්ධයෙන් මාලිංග පසුගිය ඉරිදා (15) සිය දැඩි විරෝධතාවය බලධාරීන් වෙත එල්ල කරන ලදි.

2009 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා පිටියට යන අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැගත් බස් රථයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ ක්‍රීඩකයින් අතරට වර්තමානයේ කණ්ඩායම නියෝජනය කරන වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සහ මැදපෙළ පිතිකරු චාමර කපුගෙදර ද ඇතුළත් විය. ඒ අනුව සුරංග ලක්මාල් පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත ප්‍රකාශ කර ඇති බවට වාර්තා වන අතර වාර්තා වන අන්දමට චාමර කපුගෙදර ඒ සඳහා සහභාගී වීමට ඉඩ ඇත.

වසර 8ක කාලයක් සඳහා පාකිස්තාන කණ්ඩායමේ තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට සිදුවීම නිසා පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ වන විට තම රට වෙත නැවතත් තරග රැගෙන යාම සඳහා උත්සාහ කරමින් සිටියි. පසුගිය මාසයේ දී ලෝක කණ්ඩායම පාකිස්තානයේ ලාහෝර් නුවර දී තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියක් ක්‍රීඩා කළ අතර එළඹෙන නොවැම්බර් මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හෝ දකුණු අප්‍රිකානු කණ්ඩායම කෙටි සංචාරයක් සඳහා පාකිස්තානයට ගෙන්වා ගැනීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ වන විට උත්සාහ කරමින් සිටියි.

පාකිස්තාන රජය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සඳහා රාජ්‍ය ප්‍රධානීන් සඳහා ලබා දෙන මට්ටමේ ආරක්ෂාවක් ලබා දීමට පොරොන්දුවක් ද ලබා දී ඇත.

ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා Cricbuzz වෙබ් අඩවිය වෙත පැවසුවේ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය බලා යාමට පෙර එහි යවා පවතින ආරක්‍ෂක තත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගන්නා බවයි. පාකිස්තානය ක්‍රිකට් පිටිය තුළ මෙන්ම දේශපාලන ක්‍ෂේත්‍රයේ දී ද ශ්‍රී ලංකාවේ මිත්‍රරාජ්‍යයක් වන බැවින් ක්‍රීඩා අමාත්‍යවරයා මෙම සංචාරය සඳහා කැමැත්ත පළකර ඇත.

පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරු මයිකි ආතර් මහතා පාකිස්තානයේ දී ලබාදෙන ආරක්‍ෂාව සම්බන්ධයෙන් හොඳින් පැහැදිලි කර දීමෙන් අනතුරුව පසුගිය ඉරිදා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලය පාකිස්තානයේ සංචාරය කිරීම සඳහා සිය කැමැත්ත පළකරනු ලැබීය. එයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් සිව්දෙනෙක් ඇතුළත් වේ. ඒ හෂාන් තිලකරත්න (පිතිකරණ පුහුණුකරු), රුමේෂ් රත්නායක (වේගපන්දු පුහුණුකරු), අසංක ගුරුසිංහ (කළමනාකරු) සහ නික් පොතාස් (ප්‍රධාන පුහුණුකරු) යන යයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විධායක කමිටු රැස්වීමක් පවත්වමින් තීරණය කරනු ලැබුවේ එම තරගය සඳහා සහභාගී වීමට යි. ඒ අනුව පන්දුවාර 20 තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම එළඹෙන 20 වන දින නම් කිරීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ද ක්‍රීඩකයින් සමඟ ලාහෝර් නුවර බලා යාමට නියමිතව ඇත.    

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<