“මම නායකත්වයෙන් ඉවත් වෙන්නේ නැහැ” – උපුල් තරංග

906
Tharanga

2017 වසරට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසය තුළ ඔවුන් තරග 5-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයකට මුහුණ දී තිබුණේ එක් අවස්ථාවක දී පමණි. නමුත් මෙම වසර තුළ දී පමණක් උපුල් තරංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 5-0ක් ලෙස අවස්ථා 3කදී පූර්ණ තරගාවලි පරාජයකට මුහුණ දීමට සිදු විය.

බිඳ වැටීම්, කලකිරීම් මැද ශ්‍රී ලංකාවට 5-0ක තරගාවලි පරාජයක්

ශ්‍රී ලංකා පිතිකරුවන් තරගාවලිය පුරාවටම අතිශය අසාර්ථක වීම නිසාත්, කණ්ඩායම තේරීමේ දී සිදු වූ..

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ දී ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ආබාධය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උපුල් තරංග හට හිමි වූ අතර එහි දී එම තරගාවලිය ශ්‍රී ලංකාව තරග 5-0ක් ලෙස පරාජයට පත්විය. අනතුරුව පසුගිය ජූලි මාසයේ දී මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර විස්ස කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස උපුල් තරංග පත්කරනු ලැබීය. ඉන්පසුව ඉන්දියානු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට දී තරග 5-0ක් ලෙස එක්දින තරගාවලිය පරාජයට පත්වූ අතර අනතුරුව පසුගිය දා අවසන් වූ පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 5-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයකට මුහුණ දීමට සිදු විය.

මේ පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තරංග පවසා සිටියේ;

“ඒක තේරීම් කමිටුවේ සහ ක්‍රිකට් ආයතනයේ වගකීමක්. මට කණ්ඩායම අත්හැරලා යන්න ඕනේ නැහැ. කණ්ඩායම ඉදිරියට මෙහෙය වන්නේ කවුද කියන ඒක ක්‍රිකට් ආයතනය තීරණය කරයි.”

“කණ්ඩායමේ නායකයා විදිහට මම අපේ පරාජයේ වගකීම බාර ගන්නවා. ඒ වගේම පිතිකරුවනුත් ඒ හා සමානව පරාජයේ වගකීම බාර ගත යුතුයි. කණ්ඩායමක් විදිහට අපි ලකුණු රැස්කරගත යුතුයි. පිතිකරුවන් තරග 2-3ක අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් තරග 5දීම එහෙම අසාර්ථක වෙන්න බැහැ. කණ්ඩායමක් විදිහට අපි දක්ෂතා අතර නැති වුණාම තරග ජයග්‍රහණය කරන්න අමාරුයි.”

තරංග තවදුරටත් පවසා සිටියේය.

ජ්‍යෙෂ්ඨයන් බෑ කියද්දී විස්සයි විස්ස සුක්කානම තිසරට

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන්..

පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති අවසන් එක්දින තරගය ද පරාජයට වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගී වී ඇති එක්දින තරග 12ම පරාජයට පත්වී ඇත. ඒ අනුව මෙම වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ එක්දින තරග 26න් ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ තරග 4ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පිතිකරණය පසුගිය තරග කිහිපය පුරාවටම කණ්ඩායමට ගැටලුවක් වූ අතර පසුගිය තරග 12දී එක් අවස්ථාවක දී හෝ ඔවුන් ලකුණු 240 සීමාව පසුකර යන්නට සමත් වී නොමැත. එමෙන්ම පාකිස්තාන සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 සීමාව පසුකර යන්නට සමත් වූයේ අවස්ථා 2කදී පමණි.

“අපි අතින් එකම වැරැද්ද කිහිප වරක්ම සිදු වුනා. මෙම තරගයේ දී තුන්වන පන්දුවාරය වන විට අපේ කඩුලු 4ක් දැවී ගියා. ඒ වගේ තත්වෙක ඉඳලා තරගය ජයග්‍රහණය කරන තත්වෙකට එන එක අපහසු දෙයක්. පසුගිය මාස 15-18ක කාලය තුළ අපේ පිතිකරණය තිබුණේ ඉතා දුර්වල මට්ටමක. ඒ නිසා තමයි අපිට ඉහළ දක්‍ෂතා අතරට එන්න බැරි වුනේ.”

පාකිස්තාන සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන් 6දෙනා අතරින් ලකුණු 75කට වඩා රැස්කර ගන්නට සමත් වූයේ පිතිකරුවන් දෙදෙනෙක් පමණි. එමෙන්ම තරගවල දී කණ්ඩායම් දෙක අතර ඇති ලකුණු පරතරය දෙස බැලූ කළ පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය පරාජය කිරීමට ආසන්නයටවත් පැමිණීමට අපොහොසත් වූ බවයි.

“අපි ක්‍රීඩා කරන ආකාරය ගැන ගොඩක් සාකච්ඡා කළා. අපි කරන්න ඕනේ දේවල් ගැනත් ගොඩක් විශ්ලේෂණය කළා. නමුත් පිටිය තුළ දී අපිට ඒවා ක්‍රියාවට නංවන්න බැරි වුනා.”

තරංග පැවසීය.

“කණගාටුවට කරුණ තමයි ඒ තණතිලි ලකුණු රැස්කරගන්න අපහසු තණතිලි නෙමෙයි. ඒවා පිතිකරණයට හිතකර තණතිලි. සිදුවුණේ අපි හොඳින් ක්‍රීඩා නොකරපු එක. නිරෝෂන් දික්වැල්ල දඟපන්දු යවන්නන් හමුවේ හොඳින් ක්‍රීඩා කරන නිසා ඔහුව අංක 5 ස්ථානයේ එවලා අපේ පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් කරන්න අපි අද උත්සාහ කළා. නමුත් තරගය ආරම්භයේ දී අපේ කඩුලු රැසක් බිඳවැටුණු නිසා ඒක අසාර්ථක වුනා.”   

තරංග අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටියේය.  

පරිවර්තනය කරන ලද ලිපියකි. උපුටා ගැනීම Cricbuzz

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<