ආනන්ද විද්‍යාලයට කිරුළු පැළඳවූ කළණගේ විශිෂ්ට ශතකය

1623

තවමත් 16 වැනි වියේ පසුවන නව යොවුන් පිතිකරු කළණ විජේසිරිගේ විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යය හේතුවෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමඟ පැවති වයස අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ අවසන් මහා තරඟය ජය පැරදුමකින් තොරව නිමාකර ගැනීමට අද (09) කොළඹ ආනන්ද විද්‍යාලය සමත්විය. ඒ අනුව තරඟාවලිය පුරාවට ප්‍රසාද ලකුණු වැඩි ප්‍රමාණයක් ලබාගෙන සිටි ආනන්ද විද්‍යාලයට ශූරතා කුසලානයේ  ජය මාවතට අවතීර්ණ වීමට අවස්ථාව උදාවිය.

මුල්පෙළ බිඳ වැටීමෙන් අනතුරුව රිච්මන්ඩ් විද්‍යාලය නැවතත් සටනට

අවිඳු තීක්ෂණ සහ සඳුන් මෙන්ඩිස් පිතිකරණයේ දී දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ආරම්භක දිනයේ වැඩි ගෞරවය අද (08) ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට…

ඊයේ දිනය සඳහා තරඟය නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 307ක් ලබාසිටි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අද උදෑසන නැවතත් තර්ස්ටන් ක්‍රීඩා පිටියට පියමන් කළේ ජයග්‍රහණය පිලිබඳ බලාපොරොත්තු පොදි බැඳ ගනිමිනි. විශේෂයෙන්ම ආරම්භයේදී ලකුණු 22කට කඩුලු 4ක් බිඳ වැටුණු රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු 307ක් තරම් ලකුණු ප්‍රමාණයක් කරා යාමට හැකිවීම හේතුවෙන් පළමු දිනයේ සම්පූර්ණ ගෞරවය ඔවුන්ට නිතැතින්ම හිමිවිය. මුල් ඉනිමේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමේ අටියෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අද උදෑසන සිටම කොළඹ ආනන්ද විද්‍යාලය පන්දුවට පහර දීම සඳහා අවස්ථාව උදාකර දුන්නේය.

ඒ අනුව පිටියට පිවිසි ආනන්ද විද්‍යාලයේ මුල් කඩුලු 2 ලකුණු 14ක් තුලදී බිඳ දමමින් රිච්මන්ඩ් ජය හඬ දෙගුණ තෙගුණ කරන්නට ආරම්භක පන්දු යවන්නන් වශයෙන් කටයුතු කළ තිලංග උදේශන සහ ධනංජය ලක්ෂාන් යන දකුණත් වේග පන්දු යවන්නන් දෙදෙනා ඉඩ හසර සලසා ගත්හ. රිච්මන්ඩ් කණ්ඩායමේ පන්දු යැවීම හමුවේ කවිඳු ගිම්හාන් (01) සහ කණිෂ්ක රන්තිලකගේ (11) හට වේලාසනින්ම ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදුවිය. නමුත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් පිහිටුවමින් ආනන්ද විද්‍යාලයට යම් අස්වැසිල්ලක් එක් කරන්නට අසේල් සිගේරා සහ කළණ විජේසිරි සමත් වූහ. දකුණතින් පිත්ත හසුරුවන අසේල් සිගේරා හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 54ක් රැස් කිරීමට සමත් විය.

නමුත් මෙම ලකුණු සබඳතාවය බිඳ දමමින් නැවතත් සුපුරුදු තරඟ රටාවට අවතීර්ණ වූ රිච්මන්ඩ් පන්දු යවන්නන් ආනන්ද විද්‍යාලයේ කඩුලු තුනක් ලකුණු 6ක් තුලදී බිඳ දමමින් ජයග්‍රහණ සීමාවේ මායිම් තර කර ගත්හ . ඒ වනවිට කඩුලු 5ක් දැවී ගොස් තිබූ ආනන්ද විද්‍යාලීය ප්‍රථම ඉනිමට එකතු වී තිබුනේ ලකුණු 125ක් පමණි. දේශීය යොවුන් ක්‍රීඩකයින් අතර නමක් දිනාගෙන සිටින ශම්මු අශාන්ට අද දිනයේ දී කිසිදු ලකුණක් රැස්කර ගැනීමට ඉඩක් නොලැබුණි. මෙවන් වටපිටාවක් යටතේ ආනන්ද විද්‍යාලීය නායක කවිශ්ක අන්ජුල රැස්කළ ලකුණු 35 පවා ආනන්ද විද්‍යාලයට ඉහළ වටිනාකමක් එක් කළේය.

නමුත් අවිඳු තීක්ෂණගේ පන්දුවක් හමුවේ ආනන්ද විද්‍යාලීය නායකයා පිටිය හැර යාමත් සමග රිච්මන්ඩ් විද්‍යාලයට නැවතත් තරඟය ජය ගැනීමට වැඩි ඉඩකඩක් විවර විය. ඒ ලකුණු 187කට කඩුලු 7ක් දැවී ගොස් සිටි ආනන්ද විද්‍යාලයේ ඉතිරි කඩුලු 3 දඩයම් කර ගැනීමට තවත් පන්දුවාර 35කටත් වැඩියෙන් ඉතිරිව තිබූ බැවිනි. නමුත් අංක තුන පිතිකරුවා ලෙසින් පිටියට පිවිස අද දිනය නිමාවන තුරුම කඩුල්ලේ රැඳී සිටි කළණ විජේසිරි රිච්මන්ඩ් විද්‍යාලයේ ජයග්‍රහණ බලාපොරොත්තුව  බිඳ හෙලීමට සමත් විය.

විශිෂ්ට ටෙස්ට් පිතිකරුවෙකුගෙන් බලාපොරොත්තු විය හැකි ආකාරයේ සංයමයකින් යුතුව පන්දුව පිළිගත් මෙම ප්‍රතිභාපුර්ණ දකුණත් පිතිකරුවා දිනය නිමාවෙද්දී නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 130කි. ආනන්ද විද්‍යාලය මෙම තරඟය ජය පරාජයෙන් තොරව නිමාකර ගතහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව ඔවුන්ට ශූරතාවය හිමිවන බව දැන සිටි කළණ විනාඩි 373ක් (පැය 6: මිනිත්තු 13) පුරාවට කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 286කට සාර්ථකව මුහුණ දුන්නේය. ඒ අතරතුර ඔහු හතරේ පහර 18ක් සහ එක් හයේ පහරක් එල්ල කිරීමට ද පසුබට නොවීය.

කළණ විජේසිරි සමඟ එක්වී 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86ක විශිෂ්ට ලකුණු සබඳතාවයක් ගොඩ නැගූ සුපුන් වරාගොඩගේ ඉනිම ද ආනන්ද විද්‍යාලයට ජය මාවත පෙන්වූ සන්ධිස්ථානයක් බවට පත්විය. පන්දු 110ක් පුරාවට පිටියේ රැඳී සිටිමින් ඔහු නොදැවී රැස්කල ලකුණු 27 නොවන්නට කළණගේ සියලු උත්සාහයන් ඵල රහිත වන්නට ඉඩ තිබුණි. වරාගොඩ ඊයේ දිනයේ දී ලකුණු 91කට කඩුලු 4ක් දවා ගනිමින් පන්දුවෙන්ද සුවිශේෂී දස්කම් දැක්වීය. පන්දු යැවීමේදී තිලංග උදේශන, අවිඳු තීක්ෂණ සහ සඳුන් මෙන්ඩිස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව නිමා වනවිට ආනන්ද විද්‍යාලය කඩුලු 7ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 273කි.

තරඟය නිමාවන විට දෙපිළේම ක්‍රීඩකයින්ගේ සුදෝ සුදු ඇඳුම් කුණු දුහුවිල්ලෙන් වැසී ගොස් කාල වර්ණයට හැරී තිබුනත් පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ අමරණීය තරගයක කොටස් කරුවන් බවට පත්වන්නට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට සහ කොළඹ ආනන්ද විද්‍යාලයට අවස්ථාව උදාවිය. දින දෙකක් පුරාවට ජය පරාජය දෙපිළටම දෝලනය වුනු මෙම උණුසුම් තරගයේ දී රිච්මන්ඩ් විද්‍යාලීය ක්‍රීඩකයින් ද අවසන් පන්දුව දක්වාම ලබාදුන් සටන අතිශයින්ම ප්‍රශංසනීය විය. ආනන්ද විද්‍යාලය වෙනුවෙන් සුපුන් වරාගොඩ සහ අසේල් සිගේරා ද රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් අවිඳු තීක්ෂණ සහ සඳුන් මෙන්ඩිස් ඉහළ දක්ෂතා ප්‍රකට කළද විශිෂ්ට ශතකයක් රැස්කර ගනිමින් ආනන්ද විද්‍යාලයට ජය මාවත පෙන්වූ කළණ විජේසිරිට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 307 (පන්දුවාර 95) අවිඳු තීක්ෂණ 80, සඳුන් මෙන්ඩිස් 64*, තවීශ අභිෂේක් 46, දුවීන් කළංසූරිය 36*, කසුන් තාරක 25, සුපුන් වරාගොඩ 4/91, අසේල් සිගේරා 2/80.

ආනන්ද විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 273 (පන්දුවාර 95) කළණ විජේසිරි 130*, අසේල් සිගේරා 54, කවිශ්ක අන්ජුල 35, සුපුන් වරාගොඩ 27*, කණිෂ්ක රන්තිලකගේ 11, තිලංග උදේශන 2/32, අවිඳු තීක්ෂණ 2/54, සඳුන් මෙන්ඩිස් 2/107

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට