අනාගතයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය අතික්‍රමණය කිරීමට සමත් නව දක්ෂයින් සොයා යාම වෙනුවෙන් පවත්වනු ලබන වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (4) නිමාව දුටු අතර මෙම තරගයෙන් බස්නාහිර දකුණ කණ්ඩායමට ලකුණු 130ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි විය.

රැජිණියන්ගේ සටනේ ජය නුගේගොඩ අනුලා විද්‍යාලයට

නුගේගොඩ අනුලා විද්‍යාලය සහ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය අතර පළමුවැනි වරට පැවැත්වුණු රැජිණියන්ගේ සටන….

බස්නාහිර දකුණ හා බස්නාහිර උතුර අතර කොළඹ කෝල්ට්ස් පිටියේ දී ආරම්භ වූ පළමු අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය බස්නාහිර පළාතට හිමි වූ අතර ඔවුන් ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදීමට තීරණය කරන ලදි.

බස්නාහිර දකුණ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය පළමු කඩුල්ල සඳහා ලකුණු 130ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නැංවීමට සමත් විය. එම විශිෂ්ට ලකුණු සබඳතාවය බස්නාහිර කණ්ඩායමට සවිමත් ලකුණු පුවරුවකට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කර දීමට සමත් විය. තම කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නිරත වූ නිශාන් මදුශ්ක පන්දු 122 දී 4 පහර 7ක් හා දැවැන්ත 6 පහර 3ක් සමඟින් ලකුණු 102ක් ලබාගෙන ශතකය සම්පූර්ණ කර ගන්නා ලදි.

සනෝජ් දර්ශික, නිශාන් මදුශ්ක හට අගනා සහයක් ලබා දෙමින් බස්නාහිර දකුණු ඉනිම ගොඩනැංවූ අතර, එහි දී සනෝජ් ලකුණු 52ක් ලබා ගත්තේ බස්නාහිර උතුර පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමිනි.

එම සබඳතාවය නිමාවීමෙන් අනතුරුව, පිටියට අවතීර්ණ වූ කමිල් මිශාර හා අවිඳු ප්‍රනාන්දු ද, පිළිවෙළින් ලකුණු 46ක් හා 29 බැගින් රැස්කර ගත්තේ බස්නාහිර දකුණ කණ්ඩායම ලකුණු 303ක් වැනි සුපිරි ලකුණක් වෙත ඔසවා තබමිනි.

පන්දු යැවීමේ දී බස්නාහිර උතුර පන්දු යවන්නන් දැඩි අපහසුතාවයකට පත්වූ අතර, එහි දී මිතිල ගීත් හා සාජිත් සමීර කඩුලු 2ක් දවා ගනිමින් ඔවුන්ගේ කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ගෙන ඒමට සමත් විය.

ලකුණු 304ක අභියෝගාත්මක ලකුණක් හඹා යාම සඳහා පිටියට පැමිණි බස්නාහිර උතුර පිතිකරුවන්ට ලකුණු පුවරුවේ පීඩනය ඉනිමේ මුල සිටම දැනෙන ලෙසින් පන්දු යැවීමට රොහාන් සංජය ඇතුළු බස්නාහිර දකුණ පන්දු යවන්නන් සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස බස්නාහිර උතුර කණ්ඩායමට පෙර තරගවල දී දැක්වූ පිතිකරණ දස්කම් මෙම තරගයේ දී දැක්වීමට අවකාශයක් ලැබුණේ නැත.

මැදපෙළින් පිටියට පැමිණ යම් සටන්කාමී පිතිකරණයක නිරත වෙමින් ලකුණු 51ක් ලබා ගත් ආනන්ද විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු අත්තනායක තරගය තම කණ්ඩායමට වාසි වන ලෙස හරවා ගැනීමට වෑයම් කළ අතර, ඊට සහයක්වීමට අනෙක් අන්තයෙන් සවිමත් පුරුකක් නොවූ බැවින්, ඔහුගේ කඩුල්ල ද ඉක්මනින් දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නන්ට හැකි විය.

ලහිරු ට අමතරව අශාන් ප්‍රනාන්දු හා පෘථිවි රූසර පිළිවෙළින් ලකුණු 28ක් හා ලකුණු 26ක් ලබා ගත් නමුත්, එය කණ්ඩායමේ පරාජය වැළැක්වීමට තරම් ප්‍රමාණවත් නොවීය.

බස්නාහිර දකුණ වෙනුවෙන් දක්ෂ ලෙස පන්දු යවමින් රොහාන් සංජය, ටශික පෙරේරා හා ඉන්ශාක් සිරිවර්ධන යන ක්‍රීඩකයින් තම දස්කම් ප්‍රදර්ශනය කළේ බස්නාහිර දකුණට අවසන් මහා තරගයට ප්‍රවේශය ලබා දෙමිනි.

බස්නාහිර දකුණ – 303/08 (පන්දු වාර 50): නිශාන් මදුශ්ක 102, සනෝජ් දර්ශික 52, කමිල් මිශාර 46, අවිඳු ප්‍රනාන්දු 29, මිතිල ගීත් 2/48, සාජිත් සමීර 2/68

බස්නාහිර උතුර – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දු වාර 31.1): ලහිරු අත්තනායක 51, අශාන් ප්‍රනාන්දු 28, පෘථිවි රූසර 26, මහේෂ් තීක්ෂණ 23, රොහාන් සංජය 2/24, ටශික පෙරේරා 2/33, ඉන්ශාක් සිරිවර්ධන 2/47

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට