අවිඳුගේ දඟ පන්දුව නිසා ශූරතාවය දකුණු පළාතට

2553
U19 Provincial Final

දිවයින පුරා විසිරී පැතිරී සිටි වයස අවුරුදු 19න් පහළ දක්ෂ යොවුන් ක්‍රීඩකයින් රැසක් එකම තරගාවලියකට කැටි කොට ගනිමින් පැවැත්වුණු අන්තර් පළාත් එක්දින තරගාවලිය අද (07) දකුණු පළාතට ශූරතාවය හිමි කර දෙමින් නිමාවට පත්විය.

ගාලු බලකායෙන් කුසලාන උදුරා ගැනීමේ කොළඹ මෙහෙයුම

මෙවර තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායමක් ලෙස සැලකෙන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමඟ පැවැත්වෙන 2017 අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ…

ඔවුන් හමුවේ පරාජය ලැබුවේ බස්නාහිර පළාත් දකුණු කණ්ඩායමයි. අද සවස් යාමයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය ආශ්‍රිතව පැවති අඩු ආලෝක තත්ත්වය නිසා තරගයේ ප්‍රතිඵලය ඩක්වර්ත් – ලුවිස් න්‍යායට අනුව ගණනය කෙරිණි.

කාසියේ වාසිය දිනා ගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ බස්නාහිර දකුණ කණ්ඩායමේ කඩුලු දෙකක් ඉක්මනින්ම දවා ගැනීමට දකුණු පළාත සමත් විය. ඒ තිසර ඩිල්ශාන් විසින් පන්දුව පිටතට දෝලනය කරමින් බස්නාහිර පළාත් දකුණත් පිතිකරුවන්ට එල්ල කළ පීඩනයේ ප්‍රතිඵලයක් ලෙසයි. අනෙක් අන්තයෙන් පන්දු යැවූ ධනංජය ලක්ෂාන් ද තිසරට හොඳ සහයෝගයක් ලබා දෙමින් සංයමයකින් යුතුව පන්දු යැවීය.

ආර්. ප්‍රේමදාස පිටියේ අද සැකසී තිබුණු මන්දගාමී වියළි තණතීරුවේ හැසිරීම තම පන්දු යැවීමට උපරිමයෙන්ම ආශිර්වාදයක් කර ගත් අවිඳු තීක්ෂණ අද දිනයේ සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 41කට කඩුලු 5ක්ම දවා ගත්තේය. ඔහුගේ වමත් පිට දඟ පන්දුව අද දකුණු පළාතට ශූරතාවය හිමිකර දීමේ දී ඉටු කළ කාර්‍යභාරය සුළුපටු නොවේ. අවිඳුට අමතරව තිසර ඩිල්ශාන් සහ ධනංජය ලක්ෂාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

Photos : Southern P Vs Western P South – U19 Provincial Finals

බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු කමිල් මිෂාර අද සටන්කාමී ඉනිමක නිරත වෙමින් ලකුණු 68ක් වාර්තා කළේය. දීර්ඝ පිතිකරණ ලැයිස්තුවකින් සමන්විත වුවද කමිල්ට සැලකිය යුතු තරමේ සහයෝගයක් ලබා දීමට බස්නාහිර පළාතේ සෙසු පිතිකරුවන් අද සමත් නොවීය. ඒ හේතුවෙන් ඉනිම නිමා වීමට පන්දු 5ක් ඉතිරිව තිබියදී බස්නාහිර දකුණ ලකුණු පුවරුව ලකුණු 189කට සීමා විය. කවිඳු උමයංග සහ අවිඳු ප්‍රනාන්දු පිළිවෙලින් ලකුණු 38 සහ 28 බැගින් ලබා ගත්තද දකුණු පළාතෙන් එල්ල වුනු දඟ පන්දුවේ තර්ජනය හමුවේ නිරුත්තර වන්නට ඔවුන් දෙදෙනාට සිදුවිය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු පළාත් පිතිකරුවන් විනිසුරුවරුන් තරගය නතර කරන මොහොත වනවිට කඩුලු 4ක් දැවී ලකුණු 139ක් ලබා සිටියහ. ඒ ජයග්‍රහණය සඳහා වැඩි ඉඩකඩක් සහිතවයි. ඉන් අනතුරුව නැවතත් තරගය ආරම්භ කිරීම සඳහා ඉඩකඩක් උදා නොවීම හේතුවෙන් තරගයේ තීන්දුව ලබා දීම සඳහා ඩක්වර්ත් – ලුවිස් න්‍යාය භාවිතා කෙරිණි. ඉන් ලැබුණු ප්‍රතිඵලයට අනුව තරගය නතර කරන මොහොත වනවිට දකුණු පළාත් කණ්ඩායම ලකුණු 26ක් ඉදිරියෙන් පසුවීම නිසා ශූරතා කුසලානයේ පහස විඳ ගැනීමට ඔවුන්ට අවස්ථාව උදාවිය.

හංසික වැලිහිඳ දකුණු පළාත් ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් තම කණ්ඩායමට ජය මාවත පෙන්වීය. ඔහු අද තරගය නතර කරන විට නොදැවී ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 58කි. ලකුණු 28ක් ලබාගත් තවීශ අභිෂේක ද දකුණු පළාතේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා තම පිත්තෙන් උපරිම දායකත්වයක් දැක්වීය. මෙම තරගාවලිය අතරතුර දී ක්‍රීඩකයින් පළාත් වශයෙන් බෙදී ක්‍රීඩා කළ ද ඒ අතරතුර දී හඳුනා ගත් සුවිශේෂී යොවුන් ක්‍රීඩකයින්ගේ සේවය දිනක හිමිවන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට වන නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට මෙම තරගාවලියෙන් ලැබුණු දායකත්වය ඉතාමත් වැදගත් වනු ඇත.

බස්නාහිර පළාත (දකුණ) – සියල්ලන්ම දැවී ලකුණු 189 (පන්දුවාර 49.1): කමිල් මිෂාර 68, කවිඳු උමයංග 38, අවිඳු ප්‍රනාන්දු 28, අවිඳු තීක්ෂණ 5/41, තිසර ඩිල්ශාන් 2/23, ධනංජය ලක්ෂාන් 2/20.

දකුණු පළාත – කඩුලු 4ක් දැවී ලකුණු 139 (පන්දුවාර 34): හංසික වැලිහිඳ 58*, තවීෂ අභිෂේක් 28, ඉංශක මධුවින්ද 2/31.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට 

Highlights - U19 Provincial Final