බාලිකාවන් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් වැඩකට අතගසයි

313
SLC Supports Girls School Big Matches

2018 වසරේ පැවැත්වෙන බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග 30ක් සඳහා නොකඩවා දෙවන වරටත් අනුග්‍රාහකත්වය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

මල්ෂා සහ උමේෂාගේ සුපිරි දස්කම්වලින් මහනුවරට ජය

වයස අවුරුදු 23න් පහළ සුපිරි පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක..

2017 වසරේ බාලිකා පාසල් මහා ක්‍රිකට් තරගවලට කණ්ඩායම් විස්සක් සහභාගී වූ අතර මේ වසරේ එම පාසල් ප්‍රමාණයට අමතරව තවත් පාසල් දහයක් බාලිකා මහා ක්‍රිකට් තරගවලට එකතු වී ඇත. ඒ අතර යාපනය, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පාසල් ද වේ. කොළඹ, මහනුවර, කළුතර, ගම්පහ, අම්පාර, බදුල්ල, මාතර හා අනුරාධපුර යන දිස්ත්‍රික්කයන් හි බාලිකා පාසල් ද මෙවර අන්තර් පාසල් මහා ක්‍රිකට් තරග පවත්වනු ලැබේ.

සෑම තරගයක්ම සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂය බැගින් පිරිනමන අතර, ඊට අමතරව තරග විනිසුරුවරුන්ට හා ලකුණු සටහන්කරුවන්ට ද දීමනා ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ උපදෙස් මත බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග වැඩි ප්‍රමාණයකට අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ, එමඟින් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි බාලිකාවන්ගේ ඇති උනන්දුව වැඩි කිරීමටයි. එසේම දක්ෂ ක්‍රීඩිකාවන් හට ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දොරගුළු විවර කර දීමට ද එම පාසල් මහා ක්‍රිකට් තරග විශාල අස්වැසිල්ලක් වනු ඇත.

බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග සඳහා පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වසරේ දී රුපියල් මිලියන දෙකක මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත. එසේම මහා තරගවලට සහභාගී වන සියලුම පාසල් ක්‍රිකට් කණ්ඩායම්වලට ක්‍රීඩා උපකරණ ද බෙදා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් අංශයේ ප්‍රධානි වන අප්සරා තිලකරත්න මහත්මිය ප්‍රකාශ කර තිබේ. ලෙදර් ටේප් පන්දුවලින් හා ටෙනිස් පන්දුවලින් මහා ක්‍රිකට් තරග පැවැත්වෙන අතර, හැකි තරම් දුරට ලෙදර් පන්දුවලට ද ඉක්මනින්ම හුරුවන ලෙසට එම පාසල්වලට උපදෙස් ලබා දී ඇති බව තිලකරත්න මහත්මිය වැඩිදුරටත් පවසා ඇත.

මහනුවර පල්ලෙකැලේ හා කොළඹ ආර්. ප්‍රේමදාස වැනි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණ ද මේ බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග සඳහා ලබා දෙනු ඇත. එක් කණ්ඩායමකට පන්දුවාර 50 බැගින් ලබා දෙමින් එක්දින ක්‍රිකට් තරග රටාවට අනුකූලව පවත්වයි.

2017 වසරේ දී පැවැත්වූ බාලිකා මහා ක්‍රිකට් තරග අතරින් කොළඹ විශාඛා – මියුසියස්, නුගේගොඩ අනුලා විද්‍යාලය හා ගම්පහ රත්නාවලී, කටුගස්තොට සාන්ත අන්තෝනි බාලිකා – නුගේගොඩ මැදි විදුහල අතර තරග දැඩි තරගකාරීත්වයක් හා ජනප්‍රියතාවයක් ඉසිලීය.  

>> කොළඹ හා ගාල්ල අතර තරගයේ ඡායාරූප ඇල්බමය

බාලිකා පාසල් මහා ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් ලබන මස පැවැත්වීමට නියමිතය.  ඒ අතරින් නුගේගොඩ අනුලා විද්‍යාලය සහ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය අතර පැවැත්වෙන පාසල් මහා ක්‍රිකට් තරගය මැයි 11 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර මොරටුව වේල්ස් කුමරි බාලිකා විද්‍යාලය සහ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලය අතර තරගය මැයි 26 වැනිදා දෙහිවල එස්. ද එස් ජයසිංහ ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහය දැක්වූ වාද්දුව මැදි විදුහල හා පානදුර මහානාම විද්‍යාලය අතර පැවති තරගයත් නුවරඑළිය ගාමිණි බාලිකා විද්‍යාලය සහ අප අවර් ලේඩීස් විද්‍යාලය අතර තරගය පසුගිය මාසයේ දී සාර්ථකව නිමාව දිවිය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<