ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ 2017 සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගිය සෙනසුරාදා අවසන් වූ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවති අවසන් මහා තරගයේ දී ගාල්ල කණ්ඩායම පරදවමින් ශූරතාවට හිමිකම් කීවේ දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ කොළඹ කණ්ඩායමයි.

චන්දිමාල්ගේ ශතකය කොළඹට කිරුළු පළන්දයි!

අත්දැකීම් වලින් සහ තාක්ෂණයෙන් සන්නද්ධ මැදපෙළ පිතිකරුවෙකුගේ භූමිකාව අකුරටම රඟ දැක්වූ..

සති තුනක් පුරා ඉහළ මට්ටමේ ක්‍රීඩා දස්කම් ප්‍රකට කෙරුණු මෙම තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් හතරේ ක්‍රීඩකයන් 60කට අධික පිරිසක් අතරින් තරගාවලියේ කණ්ඩායම  තෝරා ගැනීමට අප දැරූ .උත්සාහයක් මේ.

සධීර සමරවික්‍රම – ගාල්ල

Sadeera Samarawickramaඅලංකාර පිතිකරණ රටාවකට උරුමකම් කියන මෙම දකුණත් පිතිකරුවා මෙම තරගාවලියේ ලකුණු ලාභියා බවට පත් වූ අතර තරගාවලියේ හොඳම පිතිකරු සම්මානයෙන් ද පිදුම් ලැබීය. මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයෙන් බිහි වූ ක්‍රිකට් තරුවක් වන සධීර තරග 7 දී ලකුණු 343ක් ලකුණු 49 සාමාන්‍යයක් ද රඳවා ගනිමිනුයි. තරගාවලිය අරඹමින් මහනුවර කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ලකුණු 109ක් ලබා ගනිමින් තම හැකියාව සහ ශක්තිය ප්‍රදර්ශනය කළ ඔහු එය ස්ථීර කළේ දඹුල්ල කණ්ඩායම සමඟ පැවති අනිවාර්යයෙන්ම ජය ගත යුතු තරගයක දී අගනා ලකුණු 120ක් රැස් කරමිනුයි.

සධීර මෙම තරගාවලියේ වැඩිම හතරේ පහර සංඛ්‍යාවේ (39) වාර්තාවට ද හිමිකම් කියන අතර ඔහුගේ පිතිකරණ දක්ෂතා වලට අමතරව කඩුල්ල පසුපස සිට උඩ පන්දු 9ක් සහ ස්ටම්ප් කිරීම් 8කට දායක වී තිබේ. එබැවින් මෙම කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කරන්නේ ද සධීර සමරවික්‍රමයි.

කුසල් ජනිත් පෙරේරා, ලහිරු මලින්ත සහ සඳුන් වීරක්කොඩි වැනි කඩුලු රකින ආරම්භක පිතිකරුවන්ගෙන් විශාල අභියෝගයක් එල්ල වුව ද, තම ස්ථානය රැක ගන්නට සධීර සමත්ව සිටින්නේ වෙසෙසින්ම ඔහුගේ සුපිරි දක්ෂතා පදනම් කර ගනිමිනුයි.

ඩිල්ශාන් මුණවීර – කොළඹ

Dilshan Munaweeraවැරෙන් පන්දුවට පහර දෙන ආරම්භක පිතිකරු මුණවීර සෑම තරගයක දී ම පාහේ කොළඹ කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබා දීමට සමත් විය. කොළඹ කණ්ඩායමට තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට උපකාරී වූ ප්‍රධාන සාධකයක් ද වන ඔහු, තරග 7 දී ලකුණු 275ක් ලබා ගත්තේ 40කට ආසන්න ලකුණු සාමාන්‍යයක් ද සමඟයි. කෙසේ වෙතත් උපුල් තරංග සහ ධනුෂ්ක ගුණතිලක අභිබවා සධීර සමරවික්‍රමගේ ආරම්භක පිතිකරණ සගයා ලෙස ඩිල්ශාන් මුණවීර නම් කිරීම සඳහා කැපී පෙනෙන ලෙස දායක වූ කරුණ වන්නේ ඔහු රඳවා ගෙන ඇති පන්දු 100කට ලකුණු 120ක ප්‍රහාරාත්මක වේගයයි.

තරගාවලිය ආරම්භයේ දී අසාර්ථක ඉනිම දෙකක් අවසන් කළ ද, අවසානයේ තරගාවලියේ 6 වන වැඩිම ලකුණු ලාභියා බවට ද පත් වූ මුණවීර අගනා අර්ධ ශතක 3ක් රැස් කර තිබේ. ගාල්ල කණ්ඩායමට එරෙහිව මූලික වටයේ තරගයක දී ඔහු පන්දු 54කින් ලකුණු 86ක් ලබා ගත්තේ විදුලි ආලෝක මධ්‍යයේ ලකුණු 299ක් හඹා ගොස් තරගාවලියේ සාර්ථකම හඹා යාම වාර්තා කිරීම සඳහා කොළඹ කණ්ඩායමට මග විවර කර දෙමිනුයි.

දිමුත් කරුණාරත්න – ගාල්ල

Dimuth Karunarathneශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමුඛ ආරම්භක පිතිකරුව‍ෙකු වන දිමුත් හට මෙම තරගාවලියේ දී පැවරී තිබුණේ ගාල්ල කණ්ඩායමේ පිතිකරණ නැංගුරම ලෙස කටයුතු කිරීමේ වගකීමයි. සීමිත පන්දු වාර තරග සඳහා නම් දැරූ ක්‍රීඩකයෙකු නොවුනද, දිමුත් අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරමින් ඉනිම 7 දී ලකුණු 319ක් ලබා ගත්තේ ඉනිමක ලකුණු සාමාන්‍ය 45.57ක් ලෙස රඳවා ගනිමිනුයි.

විශිෂ්ට තාක්ෂණයකින් හෙබි මේ වමත් පිතිකරුවා තරගාවලිය තුල අගනා අර්ධ ශතක 3ක් වාර්තා කරමින් ගාල්ල කණ්ඩායම අවසන් තරගය දක්වා ගෙන එන්නට ඉහළ දායකත්වයක් ලබා දෙන ලදි. තරගාවලියේ තුන්වන වැඩිම ලකුණු ලාභියා බවට ද පත් වෙමින් දිමුත් දැක්වූ ස්ථාවරත්වය හේතුවෙන් භානුක රාජපක්ෂ, කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක වැන්නවුන් අභිබවා මෙම කණ්ඩායමේ අංක 3 ස්ථානය ඔහුට හිමි වීමට හේතු වී ඇත.

දිනේෂ් චන්දිමාල් (නායක) – කොළඹ

Dinesh Chandimalතරගාවලියේ වීරයා ලෙසින් ද සම්මානයට පාත්‍ර වූ ‘චන්දි’ මෙම තරගාවලිය පුරාම ඉතා ඉහළ දස්කම් අතර රැඳෙමින් කොළඹ කණ්ඩායම මෙහෙය වූ අතර තම දක්ෂතා වල කූටප්‍රාප්තිය ලෙස අවසන් මහා තරගයේ දී ලකුණු 113ක් සමඟින් සිය කණ්ඩායම ශූරතාව වෙත ගෙන යන්නට ප්‍රධාන වගකීමක් ඉටු කරන ලදි. ඔහු තරගාවලියේ වීරයා සම්මානය හිමි කර ගැනීමට හේතු වුනේ පිතිකරණ දක්ෂතා ලැයිස්තුවේ පෙරමුණ ගනිමින් තරග 7 දී ලකුණු 398ක් සමඟින් රඳවා ගත් 79.60 අති විශිෂ්ට පිතිකරණ සාමාන්‍යයයි.

චන්දිමාල් මෙම තරගාවලිය තුල ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් පිතිකරණ ස්ථාවරත්වයක් පෙන්නුම් කළා පමණක් නොව පිටියේ දී තම නායකත්ව ගුණාංග ද ඉතා ඉහළින්ම පෙන්වීමට සමත් විය.

ඔහු මෙම කණ්ඩායමේ නායකත්වය සඳහා අනෙක් තරගකරුවන් වන උපුල් තරංග සහ චාමර කපුගෙදර පහසුවෙන් පරාජය කරන්නේ අංක 4 පිතිකරණ ස්ථානය ද හිමි කර ගනිමිනුයි. ලබන මාසයේ දී එංගලන්තයේ පැවැත්වෙන ICC චැම්පියන්ස් කුසලාන තරගාවලියට සූදානම් වීමේ කාල සීමාව තුල චන්දිමාල් පෙන්වූ පිතිකරණ දක්ෂතා නොඅනුමානවම ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට මෙන්ම ක්‍රිකට් බලධාරීන් හට ද මහත් සැනසිල්ලක් වනු ඇත.

චාමර කපුගෙදර – මහනුවර

Chamara Kapugedaraමෙම තරගාවලියෙන් වඩාත්ම ඉහළ ප්‍රතිලාභ හිමි කර ගත් ක්‍රීඩකයා ලෙස නම් කළ හැකි චාමර කපුගෙදර පළමු වටයේ දී වාර්තා කළ අගනා ඉනිම කිහිපයක් හේතුවෙන් චැම්පියන්ස් කුසලාන සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් හිමි කර ගැනීමට ද සමත් විය.

ඔහු මෙම තරගාවලිය තුල ක්‍රීඩා කලේ තරග 4ක් පමණක් වුව ද එහි දී තරග ජයග්‍රහණ සඳහා හේතු වූ ශතක දෙකක් ලබා ගන්නට චාමර සමත් විය. තරග කිහිපයක් අඩුවෙන් ක්‍රීඩා කළ ද තරගාවලියේ සිව්වන වැඩිම ලකුණු ලාභියා ලෙස ඔහු වාර්තා වන්නේ තරග 4 දී ලකුණු 287ක් සමඟ 95.67ක සාමාන්‍යයක් රඳවා ගනිමින්. චාමරගේ ප්‍රහාරාත්මක වේගය 140 ඉක්මවන අතර ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 105 රැස් කරන්නට වැය කර තිබෙන්නේ පන්දු 50ක් පමණි. එම ඉනිම හතරේ පහර 14කින් සහ හයේ පහර 2කින් වර්ණවත් විය.

පාදයේ ආබාධයක් හේතුවෙන් පළමු වටයේ අවසන් තරග දෙකම චාමරට අහිමි වූ අතර ඔහු සමඟින්ම මහනුවර කණ්ඩායමට අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව ද අහිමි විය. කෙසේ වෙතත් තරග දිනවන්නෙකු ලෙස දක්වන දස්කම් හේතුවෙන් සම්මු අශාන්, කිතුරුවන් විතානගේ සහ හර්ෂ කුරේ අභිබවා තීරණාත්මක අංක 5 ස්ථානය හිමි කර ගන්නට චාමර කපුගෙදර සමත්ව තිබේ.

ෂෙහාන් ජයසූරිය – කොළඹ

Shehan Jayasuriyaතරග 7 දී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 198ක් පමණක් වුවද, ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් වාර්තා වූ මහනුවර කණ්ඩායම සමඟ පැවති අවසන් පූර්ව තරගයක් බඳු සටනේ දී ලබා ගත් තීරණාත්මක ලකුණු 30 සහ අවසන් මහා තරගයේ දී නායක චන්දිමාල් සමඟ ලකුණු 139ක සබඳතාවකට දායක වෙමින් ලබා ගත් ලකුණු 77 හේතුවෙන් අංක 6 ස්ථානය හිමි කරගත් ෂෙහාන් ජයසූරිය තම දඟ පන්දුවෙන් පන්දු වාර 10ම වුව ද ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති ක්‍රීඩකයෙකි.

ෂෙහාන් තම උපක්‍රමශීලී පිට දඟ පන්දුවෙන් කඩුලු 11ක් දවා ගන්නට සමත් වූ අතර එම දක්ෂතාව ඔහුව තරගාවලියේ 3 වන වැඩිම කඩුලු ලාභියා බවට ද පත් කරන්නට හේතු විය. ඔහුගේ හොඳම පන්දු යැවීම දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 29කට කඩුලු 4ක් දවා ගැනීමයි. වේගයෙන් පන්දුවට පහර එල්ල කරන්නෙකු ලෙස නම් දරා සිටිය ද ෂෙහාන් අවසන් තරග දෙකේ දී ම ඉතා මුහුකුරා ගිය මට්ටමේ පිතිකරණ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම කැපී පෙනුණි. දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ස්ථානය සඳහා ෂෙහාන් හට අහියෝග කළ අනෙක් ක්‍රීඩකයන් වන්නේ අශාන් ප්‍රියන්ජන් සහ චතුරංග ද සිල්වා යි.

දසුන් ශානක – ගාල්ල

Dasun Shanakaපන්දුවට රිදෙන්නට පහර දීම සඳහා කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ දසුන් ශානකවයි. ඔහු ගාල්ල කණ්ඩායමේ සාර්ථකත්වයට මහත් රුකුලක් බවට පත් වුනේ තරගාවලියේ 5 වන වැඩිම ලකුණු ලාභියා බවට ද පත් වෙමිනුයි. වේගයෙන් පන්දුවට පහර දෙන දසුන් අවසන් තරගයේ දී හැර අනෙක් තරග සියල්ලේ දී ම පාහේ සාර්ථක වූ අතර තරග 7 දී ලකුණු 285ක් ලබා ගෙන ඇත්තේ 71.25ක සාමාන්‍යයක් මෙන්ම 140කට ආසන්න ප්‍රහාරාත්මක වේගයක් ද සමඟයි.

හයේ පහර 20ක් එල්ල කරමින් මෙවර තරගාවලියේ වාර්තා පොත් අතරට ද එක්වූ දසුන් පන්දුවෙන් ද හොඳ දායකත්වයක් ලබා දීමට සමත් වුනේ දඟ පන්දු බල ඇණියක් වූ ගාලු කණ්ඩායමට තම වේග පන්දුවෙන් කඩුලු 7ක් බිඳ දමා දෙමිනුයි. මේ  අනුව වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස තිසර පෙරේරා අභිබවමින් කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගැනීමට දසුන්ට හැකිව තිබේ.

සචිත්‍ර සේනානායක – කොළඹ

Sachithra Senanayakeකණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙස තෝරා ගෙන ඇති සචිත්‍ර තරගාවලිය පුරාවටම දස්කම් අතර සිටියේ තරග 7 දී කඩුලු 10ක් බිඳ හෙලමින්. විශේෂයෙන් පවර් ප්ලේ අවස්ථාවල දී නව පන්දුවෙන් වමත් පිතිකරුවන්ට එල්ල කළ තර්ජනය කැපී පෙනුණු කරුණකි.

පන්දු වාරයකට ලකුණු 4.42ක විශිෂ්ට ගණයේ දල ලකුණු වේගයක් රඳවා ගත් සචිත්‍ර ප්‍රතිවාදී පිතිකරුවන් පාලනය කරන්නට දිගින් දිගටම සමත්කම් දැක්වීය. පසු පෙළ පිතිකරුවෙකු ලෙස වරින් වර එල්ල කළ වේගවත් පහර කිහිපයකින් ද කොළඹ කණ්ඩායමේ ශූරතා ගමනට සවියක් වූ ඔහු ගාලු කණ්ඩායමේ අකිල ධනංජය සහ දඹුල්ලේ දිල්රුවන් පෙරේරා අභිබවමින් කණ්ඩායමට ඇතුලත්ව සිටියි.

නුවන් ප්‍රදීප් – මහනුවර

Nuwan Pradeepප්‍රදීප් මෙම තරගාවලිය තුල දැක්වූ දස්කම් ඔහුට චැම්පියන්ස් කුසලාන සංචිතයේ ස්ථානයක් හිමි කර දෙන්නට ද හේතුවක් විය. තමන් ක්‍රීඩා කළ තරග 4 තුල කඩුලු 9ක් දවා ගත් ප්‍රදීප් කඩුල්ලක් වෙනුවෙන් ලබා දී ඇති ලකුණු සංඛ්‍යාව 22.11ක්.

පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවල දී අවසන් පන්දු වාර තුල ඔහු ක්‍රියාත්මක කරන වේගය අඩාල කළ පන්දු සහ යෝකර් පන්දු ඉතා ප්‍රයෝජනවත් විය.  එමෙන්ම අවශ්‍ය විට වේගවත් බවුන්සර් පන්දු මගින් පිතිකරුවන් භීතියට පත් කළ නුවන් ප්‍රදීප් ඔහුගේ ටෙස්ට් ආරම්භක පන්දු යැවීමේ සගයා වන සුරංග ලක්මාල් අභිබවමින් මෙම කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු තුරුම්පුව බවට පත්ව සිටියි.

මාලින්ද පුෂ්පකුමාර – ගාල්ල

Malinda Pushpakumaraකණ්ඩායමේ වමත් දඟ පන්දු යවන්නා සඳහා අවිවාදිත තෝරා ගැනීම ඔහුයි. තවමත් ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා නොමැති පුෂ්පකුමාර මෙම තරගාවලිය තුල දී ක්‍රීඩාලෝලීන්ගේ නෙතට රසඳුනක් බවට පත් වුනේ තරග 6 දී කඩුලු 13ක් සමඟින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස ද වාර්තා ගත වෙමිනුයි.

30 හැවිරිදි පුෂ්පකුමාර පන්දු වාරයකට ලකුණු 4.11ක විශිෂ්ට දල ලකුණු වේගයක් රඳවා ගෙන ඇති අතර බොහෝ පිතිකරණ බල ඇණි වලට අභියෝගයක් වූ ඔහු මූලික අදියරේ තරගයක දී කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 29කට කඩුලු 5ක් දවා ගැනීම මෙම තරගාවලිය තුල දී පන්දු යවන්නෙක් ඉනිමක දී කඩුලු 5ක් බිඳ හෙලූ එකම අවස්ථාවයි. පුෂ්පකුමාර තම විශිෂ්ටත්වයෙන් සචිත් පතිරණ, ලක්ෂාන් සඳකැන් සහ අමිල අපොන්සු වැනි ජාතික කණ්ඩායම ද නියෝජනය කළ සියලු වමත් දඟපන්දු යවන්නන් අභිබවා යන්නට සමත් විය.

අසිත ප්‍රනාන්දු – දඹුල්ල

Asitha Fernando19 හැවිරිදි වේග පන්දු පෙරළිකරුවෙකු වන අසිත මෙම තරගාවලිය තුල දී ස්ථාවර දක්ෂතා අතර සිටිමින් තරග 6 දී කඩුලු 12ක් දවා ගන්නට සමත් විය. ඔහු පන්දු වාරයක දී ප්‍රතිවාදීන්ට ලබා දෙන ලකුණු සංඛ්‍යාව 6.49ක් වැනි ඉහළ මට්ටමක පැවතුන ද අවශ්‍ය අවස්ථාවල දී තීරණාත්මක දවා ගැනීම් සහ අවසන් පන්දු වාර ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඔහුට තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබීමේ මග විවර කරන ලදි.

මදක් පැරණි පන්දුව රිවර්ස් ස්වින්ග් කිරීමට සහ පිතිකරු තුලට දෝලනය වන යෝකර් පන්දු යොමු කිරීමේ හැකියාව නිසා ඉනිම පුරාවටම පිතිකරුවන්ට හිසරදයක් බවට පත් වන්නට අසිතට හැකියාව ලැබුණි. ඉහළම මට්ටමේ දී වුවද තමන්ට ඇති හැකියාව ප්‍රදර්ශනය කළ අසිත වඩාත් අත්දැකීම් ඇති ලහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර අභිබවා කණ්ඩායමේ අවසන් ස්ථානය තමන් සතු කර ගෙන තිබේ.

මේ අපේ කණ්ඩායමයි, ඔබේ තේරීම කුමක් ද? ඔබේ ‘තරගාවලියේ කණ්ඩායම’ පහතින් නම් කරන්න.

 තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න