සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ වැඩ්ඩෝ

1017

පසුගිය මැයි මස 2 වැනිදා ආරම්භ වුන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දින නියමයක් නොමැතිව කිහිප වතාවක දී කල් ගියත්, අවසානයේ එම තරගය පසුගිය ඉරිදා (10) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී නිමා වුනේ ගාල්ල කණ්ඩායම ශූරතාවය ජයග්‍රහණය කරමිනි.  

බංගලි ක්‍රීඩිකාවෝ ඉන්දියාවට නයි පෙන්වද්දී අපේ කෙල්ලන්ට වුන දේ

7 වැනි ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ දී බංගලි ක්‍රීඩිකාවෝ ඉන්දීය ක්‍රීඩිකාවන් පරාජය කරමින් එහි උද්දාමය…….

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ මෙම තරගාවලියේ  පිතිකරණ අංශයෙන් හා පන්දු යැවීමේ අංශයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ දස්කම් පිළිබඳව පසුවිපරමක් කරන්නට ThePapare.com අපි තීරණය කළෙමු.  

වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්

උපුල් තරංග (ගාල්ල)

මේ තරගාවලියේ ගාල්ල කණ්ඩායම වෙනුවෙන් වැදගත් මෙහෙයක් ඉටු කළ පිතිකරුවෙකු ලෙස නායක උපුල් තරංගව හැඳින්වීමට හැකිය.

ගාල්ල බලපිටියේ උපත ලබා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පිවිසීමට වරම් දිනා ගත් වමතින් පිත්ත හසුරුවන තරංග කොළඹ කණ්ඩායම සමඟ පැවති අවසන් තරගයේ දී මෙන්ම මූලික වටයේ තරග කිහිපයක දී ගොඩනංවන ලද සාර්ථක ඉනිම් කිහිපයක්ම ගාලු කණ්ඩායමේ ජයග්‍රහණවල සෙවණැල්ල බවට පත්විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ තරංග නායකත්වය ලබා දුන් ගාලු කණ්ඩායමට තරගාවලියේ සමස්ත ශූරතාවය හිමි වීමයි.

ඔහු මෙවර තරගාවලිය තුළ ගාල්ල කණ්ඩායම නියෝජනය කරමින් තරග 6කට සහභාගී වී ලකුණු 396ක් ලබා ගැනීමට සමත් වූයේ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 66ක් වැනි ඉහළ අගයක පවත්වා ගනිමිනි. එම නිසාවෙන්ම ඔහුට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට අවස්ථාව ලැබුණි. එම ලකුණු ප්‍රමාණය සඳහා වර්ණවත් 4 පහර 47ක් හා මනරම් 6 පහර 9ක් අන්තර්ගත විය.

මහනුවර කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 127 තරගාවලිය තුළ තරංග ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි. තවද තරගාවලියේ දී ඔහු විසින් ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් ලබා ගැනීමට සමත් විය.

තරංග සහ සධීරගේ ඉනිමෙන් ගාල්ලට ශූරතාවය

අවස්ථා දෙකක දී බාලගිරි දෝෂයට හසුවී කල් ගිය අන්තර් පළාත් සුපිරි 4 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරයන් ලෙසින් අභිශේක ලැබීමට…….

ෂෙහාන් ජයසූරිය (කොළඹ)

අනුශූරතාවය දිනා ගත් කොළඹ කණ්ඩායමේ සිටි ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ෂෙහාන් ජයසූරිය හැඳින්වීමට හැකි අතර ඔහු තරග 7ක දී ලකුණු 326ක් ලබා ගත්තේ පන්දු යැවීමෙන් දැක්වූ දස්කම්වලට අමතරවයි. පන්දු යැවීමේ දී ෂෙහාන් ජයසූරියගේ නමට ඉදිරියෙන් කඩුලු 7ක් සටහන්ව තිබුණි.

තරග 7කට සහභාගී වෙමින් ඉනිම් 6ක පිතිකරණයේ නිරත වූ වමතින් පිත්ත හසුරුවන ෂෙහාන් ජයසූරිය මෙම තරගාවලිය තුළ ලකුණු 326ක් රැස්කර ගත්තේ ලකුණු රැස්කර ගැනීමේ සාමාන්‍යය 54.33ක් වැනි අගයක පවත්වා ගනිමිනි.

එසේම ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 110.13ක් වන අතර එක් ශතකයකින් හා අර්ධ ශතක තුනකින් ඔහුගේ ඉනිම් කිහිපය වර්ණවත් කර ගැනීමට ෂෙහාන් සමත් විය. එම ලකුණු රැස්කර ගැනීම සඳහා 4 පහර 37ක් හා 6 පහර 6ක් ඔහුගේ පිත්තෙන් වාර්තා විය.

ෂෙහාන් මේ තරගාවලියේ ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වන්නේ මහනුවර කණ්ඩායම සමඟ මැයි 5 වැනිදා පැවති තරගයක දී පන්දු 100ක් පමණක් වැය කරමින් ලබාගත් ලකුණු 110යි. 4 පහර 11ක් හා 6 පහර 3ක් අන්තර්ගත කරමින් ගොඩනැංවූ එම ඉනිම නිසා ශෙහාන් කොළඹ කණ්ඩායමේ වැඩි ප්‍රසාදය දිනාගත් බව නොරහසකි.

සධීර සමරවික්‍රම (ගාල්ල)

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ ක්‍රීඩකයෙකු වන දකුණතින් පිත්ත හසුරුවන කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දී නියෝජනය කළේ ශූරතාවය දිනා ගත් ගාල්ල කණ්ඩායමයි.

සධීර මෙම තරගාවලියේ ඉනිම් 6ක් සඳහා පිතිකරණයෙන් දායක වූ අතර එහි දී ඔහු එක් ශතකයක් හා අර්ධ  ශතක දෙකක් සමඟින් ලකුණු 296ක් ලබා ගත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 59.20ක් ලෙස සටහන් කරමිනි. එම ලකුණුවලට 4 පහර 27ක් හා 6 පහර 4ක් ඇතුලත් විය.

සධීර කොළඹ කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරගයේ දී නායක තරංග හා එක්ව ගොඩනැංවූ සබඳතාවය ඔවුන්ගේ කණ්ඩායමට ශූරතාවය ජයග්‍රහණය කිරීමට විශාල සවියක් විය.

මැයි 8 වැනිදා පන්දු 118ක දී 4 පහර 11ක් හා යෝධ 6 පහර 4ක් සමඟින් කොළඹ කණ්ඩායමට විරුද්ධව ලබාගත් ලකුණු 130 නිසා ගාල්ල කණ්ඩායම එම තරගයේ දී සවිමත් ලකුණු පුවරුවක් ගොඩනගා ගත්තේ කඩුලු 7ක් දැවී ලකුණු 347ක් ලබා ගනිමිනි. කෙසේ නමුත් එම තරගය පහසුවෙන්ම ගාල්ල කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ සධීරගේ පිතිකරණය හා  මලින්ද පුෂ්පකුමාරගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙනි.

නාය ගිය ඉනිම චන්දිමාල් හුදකලා සටනකින් ගොඩ දමයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ…….

ලහිරු තිරිමාන්න (කොළඹ)

කොළඹ හා දඹුල්ල කණ්ඩායම අතර පැවති තරගයේ තිරිමාන්න ලබාගත් වේගවත් ශතකය නිසා කොළඹ කණ්ඩායමට ලකුණු 4ක තියුණු ජයක් ලබා ගැනීමට හැකි විය. එය එසේ නොවන්නට තිරිමාන්න ඇතුළු කොළඹ කණ්ඩායමට අවසන් මහා තරගය මග හැරෙන්නට ඉඩ තිබුණි.

“කොළඹ කණ්ඩායම අවසන් මහා තරගයට රැගෙන ඒම වෙනුවෙන් වැඩිම දායකත්වයක් ලබා දුන් පිතිකරුවෙක්” ලෙස මා තිරිමාන්නව හැඳින්වීමට කැමැත්තෙමි. වමතින් පිත්ත හසුරුවන ලහිරු තිරිමාන්න මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට පිවිසීමට අවස්ථාව ලබා ගත්තේය.

ඔහු මෙවර තරගාවලිය තුළ ලකුණු 287ක් ලබා ගනිමින් පිතිකරුවන් ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය දිනා ගත්තේ තරග 6ක දී ඉනිම් 5කට දායක වෙමිනි.

4 පහර 19ක් හා 6 පහර 9ක් සමඟ එම ලකුණු ප්‍රමාණය ලබා ගත් තිරිමාන්න මෙවර තරගාවලිය තුළ එක් ශතකයක් (දඹුල්ලට එදිරිව) හා එක් අර්ධ ශතකයක් (මහනුවරට එදිරිව) රැස්කර ගැනීමට සමත් විය. දඹුල්ල කණ්ඩායමට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 107 මෙවර තරග වාරය තුළ තිරිමාන්න එක් ඉනිමක දී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස දත්ත වාර්තාවල සටහන් වේ.

වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නන්

මලින්ද පුෂ්පකුමාර (ගාල්ල)

මලින්ද පුෂ්පකුමාර යනු වයස අවුරුදු 31ක් වන කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි වමතින් දඟපන්දු යවන්නෙකි. හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය තුළ දැක්වූ දස්කම් නිසා ඔහු සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත්තේය.

තවමත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග දෙකක් සඳහා පමණක් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලද පුෂ්පකුමාර, මෙවර තරග වාරය තුළ තරග 6කට සහභාගී වෙමින් ඉනිම් 5ක දී පන්දු යවමින් කඩුලු 15ක් දවා ගැනීමට සමත් වී ඇත. එහි දී ඔහු ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දී ඇත්තේ ලකුණු 165ක් පමණි.

එක් පන්දුවාරයක් තුළ දල වශයෙන් ලකුණු 3.41ක් ලබා දුන් පුෂ්පකුමාර කොළඹ කණ්ඩායමට එරෙහිව එක් ඉනිමක දී ලකුණු 24ක් තුළ කඩුලු 4ක් දවා ගැනීමට ද සමත් විය. කොළඹ හා ගාල්ල කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයක දී ගාල්ල කණ්ඩායම ලබා ගත් ලකුණු 347 රැකගැනීම සඳහා වූ මෙහෙයුම සාක්ෂාත් කර ගැනීම සඳහා ඉහත පැවසූ පරිදි පන්දු යවන්නන් හට වැඩි ජවයක් ලබා දුන්නේ මලින්ද පුෂ්පකුමාර විසිනි. ඔහු එම තරගයේ දී සිය පන්දුවාර 10 අවසන් කළේ නිලකුණු පන්දුවාර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 24ක් තුළ කඩුලු 4ක් දවා ගනිමිනි.

ලක්ෂාන් සඳකැන් (කොළඹ)

දකුණතින් දඟපන්දු යවන ලක්ෂාන් සඳකැන් සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී සහභාගී වූයේ තරග පහකට පමණක් වුවත්, ඔහු එම තරග කිහිපය තුළ දී කඩුලු 12ක් දවා ගැනීමට සමත් වූයේ තරගාවලිය තුළ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය දිනා ගනිමිනි.

පන්දුවාර 44ක් තුළ පන්දු යොමු කළ ලක්ෂාන් සඳකැන් සිය පන්දු හමුවේ ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දී ඇත්තේ ලකුණු 239ක් පමණි. ලකුණු 59කට කඩුලු 4ක් දවා ගැනීම එක් ඉනිමක් තුළ ඔහු යැවූ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වී ඇත. එසේම ඔහු එක් පන්දුවාරයකට දල වශයෙන් ලකුණු 5.43ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත.

දසුන් ශානක (ගාල්ල)

දසුන් ශානක මෙම තරගාවලිය තුළ පන්දුවාර 30ක් ක්‍රියාත්මක කර ඇති අතර එම පන්දුවාර ප්‍රමාණය තුළ ලකුණු 190ක් ප්‍රතිවාදී කණ්ඩායම් වෙත ලබා දී ඇත. ඒ නිසා ඔහු එක් පන්දුවාරයකට ලබා දී ඇති ලකුණු ප්‍රමාණය දල වශයෙන් ලකුණු 6.33කි. එසේම ශානකගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය ද 17.27ක් වැනි මට්ටමක තිබුණි.

දසුන් ශානක තුන් ඉරියව් දස්කම් දක්වන ක්‍රීඩකයෙක් නිසා ඔහු ගාල්ල කණ්ඩායමට ශූරතාවය දිනා දීම වෙනුවෙන් සෑම අංශයකින්ම විශාල මෙහෙයක් ඉටු කළේය. එයට හොඳම නිදසුන වන්නේ පිතිකරණයෙන් ලකුණු 38*ක් ද, පන්දු යැවීමෙන් කඩුලු 3ක් දවා ගනිමින් ගාලු කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 15ක ජයක් හිමි කර දීමයි.

සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී ගාල්ල කණ්ඩායම නියෝජනය කළ දසුන් ශානක තරග හයක් සඳහා සහභාගී වී කඩුලු 11ක් දවා ගත්තේ 25.90ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

>> අවසන් තරගයේ ඡායාරූප ඇල්බමය <<

ඉසුරු උදාන (මහනුවර)

ඉසුරු උදාන වයස අවුරුදු 30ක් වන වමතින් මඳ වේගපන්දු යවන්නෙකි. හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය තුළ දැක්වූ දස්කම් නිසා ඔහු සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත්තේය.

තවමත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග දෙකක් සඳහා පමණක් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරමක් ලද උදාන, මෙවර තරග වාරය තුළ තරග 6කට සහභාගී වෙමින් කඩුලු 10ක් දවා ගැනීමට සමත් වී ඇත. එහි දී ඔහු ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දී ඇත්තේ ලකුණු 259ක් පමණි.

එක් පන්දුවාරයක් තුළ දල වශයෙන් ලකුණු 6.52ක් ලබා දුන් උදාන ගාල්ල කණ්ඩායමට එරෙහිව පැවති තරගයක දී ලකුණු 59ක් තුළ කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. තරගාවලියේ එක් තරගයක දී කඩුලු 5ක් දවා ගත් එකම ක්‍රීඩකයා බවට පත්වන්නේ ද ඉසුරු උදාන පමණි.

ඉසුරු උදාන මේ ලිපිය සඳහා විශේෂ වන්නේ අවසන් මහා තරගයට පැමිණි කණ්ඩායම් දෙක වූ කොළඹ හෝ ගාල්ල යන කණ්ඩායම් නියෝජනය නොකළ ක්‍රීඩකයෙක් වන නිසාවෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<