21 හැවිරිදි යොවුන් පිතිකරු සදීර සමරවික්‍රම වාර්තා කළ විශිෂ්ට ශතකය හේතුවෙන් සුපිරි පළාත් සීමිත පන්දුවාර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා අසුන් වෙන්කර ගැනීමට ඊයේ (27) ගාලු කණ්ඩායම සමත් විය. ඔවුන් හමුවේ අවාසනාවන්ත පරාජයකට මුහුණ දුන්නේ ප්‍රතිවාදී දඹුල්ල කණ්ඩායමයි. තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රි තරගයක් ලෙසින් ක්‍රියාත්මක විය.

ශෙහාන් – විශ්ව සුසංයෝගය නිසා කොළඹ අවසන් මහා සටනට

තුන් ඉරියව්වෙන්ම තම විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරන ශෙහාන් ජයසූරිය සහ වමත් වේග පන්දු යවන ක්‍රීඩක..

කාසියේ වාසිය දිනා ගත් ගාලු කණ්ඩායම් නායක උපුල් තරංග ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් වෙත නතු කර ගත්තේ දැවැන්ත ලකුණු පුවරුවක බර දඹුලු ක්‍රීඩකයින් මත පැටවීමේ අරමුණ පෙරදැරි කර ගෙනයි. ඊට ආරම්භයක් ලබා දීමේ අටියෙන් මුලින්ම පිටියට පිවිසියේ නායක තරංග සමගින් යොවුන් ක්‍රීඩක සදීර සමරවික්‍රමයි. ගාලු ඉනිම ලකුණු 24ක් ලෙස සටහන් වෙද්දී ලකුණු 17ක් ලබා සිටි උපුල් තරංගව දවා ගැනීමට අසිත ප්‍රනාන්දුගේ සුරතින් ගිලිහුණු වේග පන්දුවක් සමත් විය.

එතැන් පටන් දිමුත් කරුණාරත්න සහ මිනෝද් භානුක සමඟ එක්වී අර්ධ ශතක සබඳතා දෙකක් ගොඩ නැංවීමට අනෙක් අන්තයේ සිටි සදීර සමරවික්‍රමට හැකියාව ලැබුණි. ඒ අතරින් ලකුණු 22ක් ලබා සිටි දිමුත් කරුණාරත්න දුවද්දී දැවී යාමකට හසුවුනු අතර ලකුණු 25ක් රැස්කර සිටි මිනෝද්ගේ කඩුල්ල අසිතගේ තවත් එක් විශිෂ්ට වේග පන්දුවක් හමුවේ බිඳ වැටුණි. කෙසේ වෙතත් තරගය ගාලු කණ්ඩායමෙන් ගිලිහෙන්නට නොදී ආරක්ෂා කර ගැනීමට මෙම සබඳතා දෙක ඉතාමත් වැදගත් වූ අතර අංක 5 පිතිකරු ශම්මු අශාන් සමඟ එක්වෙමින් ලකුණු 70ක තවත් සුපිරි සබඳතාවයක් ගොඩ නගන්නට ද සදීරට හැකියාව ලැබිණ.

මෙම ආරම්භක සබඳතා කිහිපයේම එක් පුරුකක් බවට පත්වූ දකුණත් පිතිකරු සදීර සමරවික්‍රම ඊයේ පන්දු 104කට මුහුණ දෙමින් ලකුණු 120ක් රැස් කිරීමට සමත් විය. ගාලු කණ්ඩායමට ජයග්‍රහණයේ අරුණලු උදා කළ මෙම සුපිරි ඉනිමට දැකුම්කළු හතරේ පහර 10ක් සහ සීමාවෙන් ඔබ්බට එල්ල වුනු හයේ පහර 2ක් ඇතුළත් විය. මුල්පෙළ පිතිකරුවන් ගොඩනගා දුන් ලකුණු පුවරුව දඹුල්ල පිතිකරුවන්ට ළඟා වීමටවත් නොහැකි තරමට ඉහළ ගෙන යාමේ වගකීම සීක්කුගේ ප්‍රසන්න සහ දසුන් ශානක භාර ගත්හ.

දක්ෂතාවය මෙන්ම තාක්ෂණය ද සහජයෙන්ම උරුම කරගත් මැදපෙළ පිතිකරු දසුන් ශානක ඒ වෙනුවෙන් නොදැවී ලකුණු 49කින් ආධාර විය. ප්‍රේමදාස පිටිය හතරේ පහර 5කින් සහ හයේ පහර 3කින් වර්ණවත් කළ ඔහුට මෙම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම සඳහා වැය වුනේ පන්දු 27ක් පමණි. තම සුපුරුදු පිතිකරණ රටාවේ වෙනසක් සිදු නොකළ සීක්කුගේ ප්‍රසන්න ඊයේ පන්දු 17ක දී රැස්කළ ලකුණු 36ද ගාලු ක්‍රීඩකයින්ට ලකුණු 362ක් වැනි අති විශාල ලකුණු පුවරුවක් ගොඩනගා නැගීම සඳහා අතිශයින් වැදගත් විය. ඉනිම අතරතුර දී බිඳ වැටුණු කඩුලු 7න් 4ක්ම හිමිවූයේ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුටයි. මීට අමතරව බිනුර ප්‍රනාන්දු සහ මිලින්ද සිරිවර්ධන අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ලකුණු 363ක අති දැවැන්ත ඉලක්කයක් හඹා යාමට සිදුවූ දඹුල්ල පිතිකරුවන්ට ප්‍රථම පන්දු වාරයේ සිටම ලකුණු 7කටත් වඩා වැඩි වේගයක් රඳා පවත්වා ගැනීමට අවශ්‍ය විය. එබැවින් ඔවුන්ට වේගවත් ප්‍රහාරයක් දියත් කිරීම හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරිවී නොතිබුණි. නමුත් ඊට උත්සාහ කළ දඹුලු පිළේ කඩුලු එකින් එක බිඳ වැටුණේ ජයග්‍රහණය ඔවුන්ගෙන් තව තවත් ඈත් කරමිනි.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ඊයේ ලකුණු 19කට සීමා වුනු අතර ඔහු සමඟින් ඉනිම ඇරඹූ ලහිරු මිලන්ත රැස් කළේ ලකුණු 6ක් පමණි. ලකුණු 13ක් ලබා සිටි භානුක රාජපක්ෂ දසුන් ශානකගේ මද වේග පන්දුවක් හමුවේ තම කඩුල්ල අහිමි කර ගත්තේය. මැදපෙළ පිතිකරුවන් ලෙස පිටියේ යම් වේලාවක් රැඳුනු ජාත්‍යන්තර තරග අත්දැකීම් සහිත කුසල් මෙන්ඩිස් සහ අශාන් ප්‍රියන්ජන් සබඳතාවයක් ගොඩ නැගීමට උත්සාහ දැරූව ද එය එතරම් සාර්ථක නොවීය. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම අර්ධ ශතකය දකුණත් පිතිකරු අශාන් ප්‍රියන්ජන්ගේ පිත්තෙන් ගලා ආවේය. නොදැවී පන්දුවට පහර දුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

ලකුණු 363ක් හඹා යන දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් සැලකිය යුතු සේවයක් ඉටු කිරීමට මිලින්ද සිරිවර්ධනට සහ හර්ෂ කුරේට හැකියාවක් නොලැබිණ. ඔවුන් දෙදෙනාම ඊයේ රැස් කළේ එක් ලකුණක් බැගින් පමණි. අවසානයේ ශතකයක් වැනි දිගු ඉනිමකින් පෝෂණය නොලැබූ දඹුල්ල ඉනිම ලකුණු 141කට සීමාවිය. ඊට පන්දු වාර 31යි පන්දු 3ක් පමණක් ප්‍රමාණවත් විය. ගාලු කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් කැපී පෙනෙන සේවාවක් ඉටු කිරීමට චතුරංග ද සිල්වා, අකිල ධනංජය සහ දසුන් ශානක සමත් වූහ.

චතුරංග ද සිල්වා ඊයේ තම වමත් දඟ පන්දුවෙන් කඩුලු 3ක්ම බිඳ හෙලීය. ආරම්භක පන්දු යවන්නෙකු ලෙසින් කටයුතු කල දසුන් දඹුල්ල මුල්පෙළ පිතිකරුවන් දෙදෙනෙකු වන අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ දවා ගනිමින් ගාල්ලට අමතර වාසියක් හිමිකර දුන්නේය. එක් කඩුල්ලකට පමණක් හිමිකම් කීවද සාර්ථක ලෙසින් පන්දු යැවූ මලින්ද පුෂ්පකුමාර පන්දුවාර 9කදී ලකුණු 19ක් පමණක් ලබා දෙමින් දඹුල්ලේ ලකුණු වේගය අඩාල කිරීමට සමත් විය.

උපුල් තරංගගේ නායකත්වයෙන් යුතු ගාල්ල කණ්ඩායම ඊයේ ලබාගත් ලකුණු 221ක විශිෂ්ට ජයග්‍රහණයත් සමගින් අවසන් මහා තරගයට එක්වීමේ අවස්ථාව ද ඔවුන්ට හිමිවිය. ඒ පෙරේදා පැවති තරගයේ දී මහනුවර කණ්ඩායමට එරෙහිව සුපිරි ජයක් වාර්තා කළ කොළඹ කණ්ඩායම සමගයි. සුපිරි පළාත් සීමිත පන්දුවාර තරගාවලියේ අවසන් මහා ක්‍රිකට් ගැටුම හෙට (29) ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.

ගාල්ල – කඩුලු 7ක් දැවී ලකුණු 362 (පන්දුවාර 50): සදීර සමරවික්‍රම 120, ශම්මු අශාන් 52, දසුන් ශානක 49*, සීක්කුගේ ප්‍රසන්න 36, මිනෝද් භානුක 25, දිමුත් කරුණාරත්න 22, උපුල් තරංග 17, අසිත ප්‍රනාන්දු 4/62, මිලින්ද සිරිවර්ධන 1/66, බිනුර ප්‍රනාන්දු 1/89.

දඹුල්ල – සියල්ලන්ම දැවී ලකුණු 141 (පන්දුවාර 31.3): අශාන් ප්‍රියන්ජන් 50*, කුසල් මෙන්ඩිස් 23, අවිශ්ක ප්‍රනාන්දු 19, බිනුර ප්‍රනාන්දු 15, භානුක රාජපක්ෂ 13, චතුරංග ද සිල්වා 3/20, අකිල ධනංජය 2/23, දසුන් ශානක 2/24, මලින්ද පුෂ්පකුමාර 1/19.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට

Galle - BattingToss: Galle
Sadeera Samarawickramab Siriwardena120 (104)
Upul Tharangac B Fernando b A Fernando17 (20
Dimuth KarunarathneRun Out22 (31)
Minod Bhanukac Sandakan b A Fernando25 (37)
Sammu Ashan c Cooray b A Fernando52 (48)
Chathuranga De Silvab B Fernando10 (8)
Dasun ShanakaNot Out49 (27)
Seekkuge Prasannac Sub b A Fernando36 (17)
Suranga LakmalNot Out11 (6)
Akila Dhananjaya
Malinda Pushpakumara
TotalExtras (19)362/7 (50 overs)

 

Dambulla - BowlingOMRW
Binura Fernando100891
Asitha Fernando100624
Dilruwan Perera90560
Milinda Siriwardena100661
Lakshan Sandakan100690
Ashan Priyanjan10100
Dambulla - BattingToss: Galle
Avishka Fernandoc Tharanga b Shanaka19 (19)
Lahiru Milanthab Lakmal6 (7)
Bhanuka Rajapaksac Tharanga b Shanaka13 (13)
Kusal Mendisst Samarawickrama b Pushpakumara23 (36)
Ashan PriyanjanNot Out50 (67)
Milinda Siriwardenac Bhanuka b Dhananjaya1 (4)
Harsha Coorayb Dhananjaya1 (2)
Dilruwan PereraRun Out1 (2)
Binura Fernandoc Shanaka b De Silva15 (26)
Lakshan Sandakanc Karunarathne b De Silva2 (12)
Asitha Fernando c Samarawickrama b De Silva0 (2)
TotalExtras (10)141/10 (31.3 overs)

 

Galle - BowlingOMRW
Suranga Lakmal50281
Dasun Shanaka50242
Malinda Pushpakumara90191
Seekkuge Prasanna31250
Chathuranga De Silva6.30203
Akila Dhananjaya30232