ශෙහාන් – විශ්ව සුසංයෝගය නිසා කොළඹ අවසන් මහා සටනට

2418
SLC Super Provincial

තුන් ඉරියව්වෙන්ම තම විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරන ශෙහාන් ජයසූරිය සහ වමත් වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දුගේ කැපී පෙනෙන දක්ෂතා හේතුවෙන් අද (26) පැවති සුපිරි පළාත් එක්දින තරඟාවලියේ නාම මාත්‍රික අවසන් පූර්ව තරගය ජය ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය. ඒ අනුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු  අඩු ලකුණු තරඟයක් වූ මෙම තරඟයේදී පරාජයට පත්වුණු මහනුවර කණ්ඩායමට  තරඟාවලියෙන් සමු ගැනීමට සිදුවිය.

ටශික, අශාන් හා නුවනිඳු දිනය වර්ණවත් කරවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සාර්ථක ලෙස සංවිධානය කරනු ලබන සුපිරි පළාත් එක්දින තරඟාවලියේ අවසන් දින කිහිපය ගෙවීයන විට, එම තරඟාවලියට සමගාමීව පවත්වනු ලබන වයස අවුරුදු 19න් පහළ…

කාසියේ වාසිය දිනාගත් මහනුවර කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේ සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුව මත සටහන් කරමින් කොළඹ පිතිකරුවන් වෙත පීඩනයක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙනි. නමුත් එම තීරණය ඔවුන්ටම පාරා වළල්ලක් බවට පත් කරමින් ලකුණු 136කට පමණක් සීමා වන්නට මහනුවර කණ්ඩායම් ක්‍රීඩකයින්ට සිදුවිය. මෙම තරඟාවලිය පුරාවට මහනුවර කණ්ඩායම වෙනුවෙන් සිය පිතිකරණයෙන් ඉහළ කාර්‍යභාරයක් ඉටුකල චාමර කපුගෙදරගේ සේවය ඔවුන්ට අහිමි වීමද මෙම බිඳ වැටීමට ප්‍රබල හේතුවක් බවට පත්විය. මීට දින කිහිපයකට පෙරාතුව කපුගෙදර කළවා ආබාධයකට ලක්වීම නිසා මෙම තරඟයේදී වැඩ බලන නායක ලෙස කටයුතු කළේ වමත් පිතිකරු මහේල උඩවත්තයි.

ඉනිම ආරම්භ කළ සඳුන් වීරක්කොඩිට අද ලකුණු 10කට දැවී යාමට සිදු වූ අතර අනෙක් අන්තයේ සිටි ධනුෂ්ක ගුණතිලකටද ලකුණු 12කට වඩා රැස් කර ගැනීමට කොළඹ පන්දු යවන්නන්ගෙන් ඉඩක් ලැබුනේ නැත. ටී.එම්. සම්පත් ද අද ලකුණු 4කට සීමාවිය. මුල්පෙළ අනපේක්ෂිත ලෙස බිඳ වැටීම නිසා මහනුවර ඉනිමේ ප්‍රථම කඩුලු 3 අහිමි වනවිට ඔවුන් රැස් කරගෙන සිටියේ ලකුණු 28ක් පමණි.

නායක මහේල උඩවත්ත එක් හතරේ පහරක් සමගින් ලකුණු 22ක් රැස් කළ නමුත් මහනුවර ඉනිම ගෞරවණීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට ඔහු අපොහොසත් විය. චරිත් අසලංක, සචිත් පතිරණ වැනි පසුපෙළ පිතිකරුවන්ගෙන්ද ඔහුට වුවමනා සහයෝගය ලැබුනේ නැත. මේ නිසාවෙන් ලකුණු 96කට කඩුලු 9ක්ම බිඳ වැටී අසරණ තත්ත්වයකට වැටීමට මහනුවර ක්‍රීඩකයින්ට සිදුවිය. නමුත් ඉනිමේ අවසන් භාගයේ දී හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 22ක් රැස් කිරීමට දඟ පන්දු යවන්නෙකු ලෙසින් ප්‍රසිද්ධියක් උසුලන අමිල අපොන්සු සමත් විය. අමිලගේ මෙම ප්‍රයත්නය නොවන්නට තරඟය ඉතාමත්ම ඉක්මනින් නිමා වීමට ඉඩ තිබුණි.

පන්දු යැවීමේදී වමත් වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු අද ලකුණු 61කට කඩුලු 4ක් ලෙස බිඳ හෙලමින් දක්ෂතා දැක්වීමට සමත් විය. ඔහු බිඳ හෙලූ කඩුලු 4 කොළඹ ජයග්‍රහණය තහවුරු කිරීමට මහෝපකාරී විය. මීට අමතරව පිතිකරුවෙකු ලෙසින් බොහෝ දක්ෂතා දක්වා ඇති ශෙහාන් ජයසූරිය අද තම පන්දු යැවීමේ දක්ෂතා පෙන්නුම් කරමින් පන්දුවාර 7කදී ලකුණු 14ක් ලබාදෙමින් කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් විය.

ලකුණු 137ක පහසු ඉලක්කයක් හඹාගිය කොළඹ ක්‍රීඩකයින් පන්දුවාර 25යි පන්දු 5ක් ගතවෙද්දී ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය. ඔවුන්ගේත් මුල් කඩුලු 5 ලකුණු 47ක් තුලදී බිඳ වැටුණු නමුත් සයවැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් එක් කරමින් තරඟයේ වාසිය සියතට ගැනීමට ශෙහාන් ජයසූරිය සහ වනිඳු හසරංග සමත් විය. වනිඳු හතරේ පහර 3ක් සමගින් ලකුණු 29ක් රැස් කළ අතර ශෙහාන් ජයසූරියගේ පිතිකරණය  කොළඹ ලකුණු පුවරුව ලකුණු 30කින් වැඩි වර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී විය.

වනිඳුගේ දැවී යාමෙන් අනතුරුව ශෙහාන් සමගින් පිටියේ එක්වුණු සචිත්‍ර සේනානායක හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 22ක් රැස් කරමින් කොළඹ කණ්ඩායමට කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන්නේය. අද දිනයේ ප්‍රහාරක තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් නම් දරා සිටින තිසර පෙරේරාට පෙර සචිත්‍ර පිටියට අවතීර්ණ වීම සුවිශේෂී සිදුවීමක් බවට පත්විය. මෙම ජයත් සමගින් කොළඹ කණ්ඩායම ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරඟයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය. ඔවුන් සමගින් සටන් වදින ප්‍රතිවාදී කණ්ඩායම තීරණය කර ගැනීම උදෙසා පැවැත්වෙන ගාල්ල සහ දඹුල්ල අතර තරගය හෙට (26) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතව ඇත.

මහනුවර – සියල්ලන්ම දැවී ලකුණු 136 (පන්දුවාර 31) මහේල උඩවත්ත 22, අමිල අපොන්සු 22*, ඉසුරු උදාන 16, නුවන් ප්‍රදීප් 14, සඳුන් වීරක්කොඩි 10, චරිත් අසලංක 9, විශ්ව ප්‍රනාන්දු 4/61, ශෙහාන් ජයසූරිය 3/14, වනිඳු හසරංග 2/19.

කොළඹ – කඩුලු 6ක් දැවී ලකුණු 139 (පන්දුවාර 25.5) ශෙහාන් ජයසූරිය 30*, වනිඳු හසරංග 29, කිත්රුවන් විතානගේ 26, සචිත්‍ර සේනානායක 22*, ඩිල්ශාන් මුණවීර 16, අමිල අපොන්සු 2/34, සචිත් පතිරණ 2/35, රමේෂ් මෙන්ඩිස් 1/15.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට