අර්ධ ශතක වැස්සකින් පිටිය වර්ණවත් වේ

1764

සුපිරි පළාත් වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරඟාවලියේ තවත් උණුසුම් තරඟ කිහිපයක්ම අද (28) සාර්ථක ලෙස නිමාව දුටු අතර, එම තරඟ වලින් බස්නාහිර මධ්‍යම, බස්නාහිර උතුර, වයඹ හා මධ්‍යම යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූහ.

බස්නාහිර මධ්‍යම හා උතුරු මැද පළාත් තරගය

බස්නාහිර මධ්‍යම කණ්ඩායමට ලකුණු 69ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර දුන් මෙම තරඟය මග්ගොන සරේ ගම්මාන පිටියේ දී පැවැත්විණි.

ප්‍රථමයෙන් පිටියට අවතීර්ණ වූ බස්නාහිර මධ්‍යම කණ්ඩායම වෙනුවෙන් සවන ප්‍රභාශ් හා ඉරංග හශාන් ප්‍රබල සබඳතාවයක් ගොඩනංවමින් පිළිවෙලින් ලකුණු 59ක් හා ලකුණු 52ක් ලබාගන්නා ලදි. ඔවුන්ගේ එම ලකුණු සබඳතාවය තරඟයට ශක්තිමත් අඩිතාලමක් විය. සිතාර හපුවින ලකුණු 34ක් ලබාගෙන මැදපෙළ සවිමත් කරමින් දායකත්වය දැක්වූ අතර, මන්තිල විජේරත්න හා විහාන් ගුණසේකර කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

ලකුණු 296ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පැමිණි උතුරු මැද කණ්ඩායමට තරඟය අවසානයේ තම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 225ක ප්‍රමාණයක් පමණි. එහිදී කවිඳු මදරසිංහ ලකුණු 69ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුවද, සුහඟ විජේවර්ධන ඇතුළු පන්දු යවන්නන් මදරසිංහ ගේ දැවීයාමට පසුව ඉනිම ගොඩනැංවීමට වෙනත් පිතිකරුවෙකුට අවස්ථාවක් ලබාදුන්නේ නැත. එහිදී සුහඟ කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 4ක් දවා ගන්නා ලදී.

බස්නාහිර මධ්‍යම – සියල්ලන්ම දැවී 295 (පන්දු වාර 49): සවන ප්‍රභාශ් 59, ඉරංග හශාන් 52, සිතාර හපුවින 34, පසිඳු සූරියබණ්ඩාර 30, සුහඟ විජේවර්ධන 27, මන්තිල විජේරත්න 3/27, විහාන් ගුණසේකර 3/39, ශසික සෙනෙවිරත්න 2/44

උතුරු මැද – 226/8 (පන්දු වාර 50): කවිඳු මදරසිංහ 69, විහාන් ගුණසේකර 44, මන්තිල විජේරත්න 40, සුහඟ විජේවර්ධන 4/38, විමුක්ති කුලතුංග 2/45


වයඹ හා බස්නාහිර දකුණ තරගය

සමිත් ඩිල්ශාන් වර්ණවත් පිතිකරණයක් දියත් කළ  මෙම තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල වයඹ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

NCC පිටියේ දී පළමුව පිටියට පැමිණි වයඹ කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන පිතිකරණයක නිරත වු සමිත් ඩිල්ශාන් ලකුණු 64ක් ලබාගෙන තම කණ්ඩායම වෙනුවෙන් සවිමත් අඩිතාලමක් යොදවන ලදි. ඔහුට මනා සහයක් ලබාදුන් නිපුන් ධනංජය නොදැවී ලකුණු 51*ක් ලබාගෙන ලකුණු පුවරුවට නව ජවයක් එක් කරවන ලදි. එම ඉනිම යම් මට්ටමකට අඩාල කිරීමට සමත් වූ සනෝජ් දර්ශික තම පන්දු යැවීමේ හැකියාව පෙන්නුම් කරමින් ලකුණු 29ක් තුළ කඩුලු 5ක් දවා ගත්තේය.

දෙවනුව පිටියට පැමිණි බස්නාහිර දකුණ කණ්ඩායමට ශෙහාන් ඩිල්ශාන් ගේ ලකුණු 39 ඉක්මවා ලකුණක් ලබාගැනීමට නොහැකි වන ලෙස පිතිකරුවන්ව අපහසුතාවට පත් කරවමින් පන්දු යැවීමට වයඹ පන්දු යවන්නන් සමත් විය. එහිදී පුබුදු ගනේගම හා කවීන් බණ්ඩාර කඩුලු 2ක බැගින් දවාලන ලදි.

තරඟය අවසානයේ වයඹ කණ්ඩායමට ලකුණු 67ක ජයග්‍රහණයක් හිමිවිය.

වයඹ – සියල්ලන්ම දැවී 225 (පන්දු වාර 50) : සමිත් ඩිල්ශාන් 64, නිපුන් ධනංජය 51*, පුබුදු ගනේගම 29, කවීන් බණ්ඩාර 21, සනෝජ් දර්ශික 5/29

බස්නාහිර දකුණ – සියල්ලන්ම දැවී 158 (පන්දු වාර 44.1) : ශෙහාන් ඩිල්ශාන් 39, චමිල් මිශාර 30, පුබුදු ගනේගම 2/22, කවීන් බණ්ඩාර 2/26


බස්නාහිර උතුර හා දකුණු පළාත අතර තරගය

පනාගොඩ යූධ හමුදා පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු පළාත් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර මෙම තරඟයෙන් ලකුණු 53ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට බස්නාහිර උතුරු කණ්ඩායම සමත් විය.

අසේල සිගේරා පිටිය සිසරා පිතිකරණයේ යෙදෙමින් තම කණ්ඩායම වෙත ලකුණු 70ක් එක්රැස් කර දෙනලදී . එම ඉනිම ශක්තිමත් මුලාරම්භයක් කරගත් අශාන් ප්‍රනාන්දු හා පෘථිවි රෑසර ලකුණු 40 බැගින් ලකුණු පුවරුවට එක් කරවන විට, එම ඉනිම තුළ කඩුලු 3ක් දවාලීමට රේශාන් කාවින්ද සමත් විය.

දකුණු පළාත් කණ්ඩායමට තම නියමිත පන්දුවාර 50 තුල ලකුණු 278ක යම් අභියෝගාත්මක ඉලක්කයක් හිමිවූ අතර, එය ජයග්‍රහණය කිරීමේ අදහසින් ධනංජය ලක්ෂාන් ලකුණු 85ක් රැස්කරගත්තේ මනා ඉවසීමකින් යුතුවයි. එම ජවය දිගින් දිගටම පවත්වාගෙන යාමට වෑයම් කල රවිදු සංජන තවත් අර්ධ ශතකයක් තම කණ්ඩායම වෙනුවෙන් අත් කර දුන් අතර, බස්නාහිර උතුරු කණ්ඩායමේ විශිෂ්ට පන්දු යැවීමේ ප්‍රතිඵලය නිසාවෙන් දකුණු පළාත් මුල්පෙළ පිතිකරුවන් ගේ වෑයම ව්‍යර්ථ විය.

බස්නාහිර උතුර – 277/9 (පන්දු වාර 50) : අසේල සිගේරා 70, අශාන් ප්‍රනාන්දු 67, පෘථිවි රෑසර 40, කමේෂ් නිර්මාල් 36, රේශාන් කාවින්ද 3/58, සසිත් මදුරංග 2/24

දකුණු පළාත – සියල්ලන්ම දැවී 224 (පන්දු වාර 46.4) : ධනංජය ලක්ෂාන් 85, රවිදු සංජන 52, පෘථිවි රෑසර 2/23, අසේල සිගේරා 2/23, කමේෂ් නිර්මාල් 2/40, මහේෂ් තීක්ෂණ 2/38


මධ්‍යම පළාත හා ඌව පළාත් තරගය

දිනය තුළ ප්‍රථමයෙන් පන්දු යැවීමෙන් වැඩි දස්කම් විදහා දැක්වූ තරඟයක් ලෙසින් කාගේත් අවධානය දිනාගත් මෙම තරඟයේ දී මධ්‍යම කණ්ඩායම කඩුලු 3කින් තරඟය ජයග්‍රහණය කළ අතර මෙම  තරඟය වැලිසර නාවික හමුදා පිටියේ දී ක්‍රියාත්මක විය.

ශසික දුල්ෂාන් නොදැවී ලකුණු 65*ක් ලබාගෙන ඌව ලකුණු පුවරුව පණගැන්වූ අතර, එම ඉනිමට විශිෂ්ට පහරවල් කිහිපයකින් වර්ණවත් විය. කසුන් කරුණාතිලක හා තිමිර සුපුන් කඩුලු 2ක බැගින් දවාලමින් ඌව ඉනිම ලකුණු 215කට සීමාකරවීමට සමත් විය.

අනෙකුත් තරඟවල දී පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම් වලට ජයග්‍රහණය හිමි වූ නමුත්, මෙම තරඟයේ දී දෙවනුව පන්දුවට පහරදුන් මධ්‍යම කණ්ඩායම ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් විය. එහිදී තම කණ්ඩායම ජයටැඹ වෙත පිත්තෙන් ඔසවා තැබූ රවිශ්ක උපේන්ද්‍ර නොදැවී ලකුණු 80*ක් ලබාගෙන සුපිරි පිතිකරණයක නිරත වූ අතර ඔහු දිනයේ වැඩිම ලකුණු ලාභියාද විය. මොහොමඩ් අබ්සාර් ලකුණු 59ක් ලබාගෙන රවිශ්ක ගේ ඉනිම ශක්තිමත් කළ අතර, තම තුන් ඉරියව් දස්කම් දැක්වූ ශසික දුල්ෂාන් කඩුලු 3ක් දවාලන ලදි.

ඌව – 215/9 (පන්දු වාර 50) : ශසික දුල්ෂාන් 65*, චේතක දෙනුවන් 37, ලකිල ටෙශාන් 30, කසුන් කරුණාතිලක 2/21, තිමිර සුපුන් 2/40

මධ්‍යම – 219/7 (පන්දු වාර 44.3) : රවිශ්ක උපේන්ද්‍ර 80*, මොහොමඩ් අබ්සාල් 59, ශසික දුල්ෂාන් 3/22

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට