දසුන්ගෙන් සහ චාමරගෙන් විශිෂ්ට ශතක දෙකක්

10900

නුදුරේදීම පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලානය සඳහා සුදුසුම සංචිතය නම් කිරීමේ අභිප්‍රායෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට්, සුපිරි පළාත් සීමිත පන්දුවාර තරගාවලියේ මූලික වටයේ තරග 2ක් අද (11) කොළඹ දී පැවැත්විණි. එහිදී සුපිරි දක්ෂතා දැක්වූ දසුන් ශානක, මලින්ද පුෂ්පකුමාර සහ චාමර කපුගෙදර යන ක්‍රීඩකයින් තමන් නියෝජනය කරන කණ්ඩායම් වලට ජයග්‍රහණ හිමිකර දුන්හ.

නුවරට තියුණු ජයක්; තවත් තරගයක් සමව නිමා වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශූරයින්ගේ කුසලානය උදෙසා ප්‍රබල ක්‍රීඩක සංචිතයකින් කණ්ඩායම සන්නද්ධ කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ…

කොළඹ සහ ගාල්ල අතර තරගය

SLC Super Provincialප්‍රවේගකාරී මැදපෙළ පිතිකරු දසුන් ශානකගේ ශතකය සහ මලින්ද පුෂ්පකුමාරගේ සුපිරි පන්දු යැවීම නිසා ගාල්ල දිස්ත්‍රික්කයට ප්‍රතිවාදී කොළඹ දිස්ත්‍රික්කය පරදවා ලකුණු 188ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිවිය. තරගය පැවැත්වුනේ කොළඹ CCC පිටියේදීයි.

කාසියේ වාසිය දිනාගත් ගාලු නායක දිමුත් කරුණාරත්න මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේ විශාල ලකුණු ගණනක් රැස් කරගෙන එහි පීඩනය කොළඹ දිස්ත්‍රික්කය මත පැටවීමේ බලාපොරොත්තුවෙනි. එම සැලැස්ම අකුරටම ක්‍රියාත්මක කල ගාලු පිතිකරුවන් තමන්ට නියමිත පන්දුවාර 50 නිමා කරන්නේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 302ක් රැස්කර ගනිමිනි.

විශාල ලකුණු සංඛ්‍යාවක් කරා පහසුවෙන් ගමන් කිරීමට අවශ්‍ය අඩිතාලම ආරම්භක පිතිකරු මිනෝද් භානුක (41) සහ සදීර සමරවික්‍රම දමා දුන්හ. නායකත්වයේ වගකීම මැනවින් තේරුම් ගත් දිමුතු කරුණාරත්න අද දිනයේ ලකුණු 86ක් රැස්කර ගනිමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා සහය විය. ගාලු ඉනිමේ අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි දසුන් ශානක අද CCC පිටිය සිසාරා පහර එල්ල කරමින් නොදැවී ලකුණු 121ක් රැස්කර ගත්තේය. ඔහුගේ විශිෂ්ට ඉනිම හතරේ පහර 7කින් සහ හයේ පහර 7කින් වර්ණවත් විය. කොළඹ කණ්ඩායම මෙම තරගයේදී අතිරේක ලකුණු 21ක්ම ලබා දීමද ජයග්‍රහණය ඔවුන්ගෙන් ඈත් වීමට හේතුවක් බවට පත්විය.

පිලිතුරු ඉනිම ආරම්භයේ සිටම පන්දුවාරයකට ලකුණු 6 ඉක්මවූ වේගයකින් පන්දුවට පහර දීමට සිදුවුනු කොළඹ ක්‍රීඩකයින්ට ලකුණු 303ක ඉලක්කයට ලඟාවීම කිසිසේත්ම ලෙහෙසි පහසු වූයේ නැත. අනෙක් අතට ගාලු පන්දු යවන්නන් ඉනිම ආරම්භයේ සිටම මනා සංයමයකින් යුතුව පන්දු යැවීම නිසා ගාලු පිතිකරුවන්ට නිදහසේ පහරවල් කරා යාමට අවස්ථාවක් උදා නොවීය.

ජාත්‍යන්තර තරග අත්දැකීම් සහිත කොළඹ මුල්පෙළ පිතිකරුවන් සිව් දෙනාම අද තනි ඉලක්කමේ ලකුණු වලට සීමා වීම නිසා කොළඹ දිස්ත්‍රික්කයට පරාජය භාර ගැනීම හැරෙන්නට වෙනත් විකල්පයක් තිබුනේ නැත. කිත්රුවන් විතානගේ සහ තිසර පෙරේරා පිළිවෙලින් ලකුණු 26 සහ 25 බැගින් රැස් කළත් එම ලකුණු ප්‍රමාණය ජයග්‍රහණය අසලකටවත් පැමිණීමට ප්‍රමාණවත් වූයේ නැත. ඒ අනුව පන්දුවාර 26යි පන්දු 5ක් ගතවෙද්දී කොළඹ කණ්ඩායම සියලු දෙනාම දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 114ක් පමණි.

පන්දු යැවීමේදී වමත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර ලකුණු 31කට කොළඹ පිතිකරුවන් සිව් දෙනෙක්ම නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය. මීට අමතරව සුරංග ලක්මාල් කඩුලු 2ක් බිඳ හෙලීය. මෙම තරගයේදී ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ශෙහාන් ජයසූරිය වැනි ජාතික තලයේ පිතිකරුවන් රැසක්ම ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යා වලට දැවී යාම සුවිශේෂී සිදුවීමක් බවට පත්විය.

ගාල්ල – කඩුලු 4ක් දැවී ලකුණු 302 (පන්දුවාර 50): දසුන් ශානක 121*, දිමුත් කරුණාරත්න 86, මිනෝද් භානුක 41, සදීර සමරවික්‍රම 20, ධනංජය ද සිල්වා 12, ශෙහාන් ජයසූරිය 1/35, ජෙෆ්රි වැන්ඩර්සේ 1/50.

කොළඹ – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 26.5): කිත්රුවන් විතානගේ 26, තිසර පෙරේරා 25, සචිත්‍ර සේනානායක 13, වනිඳු හසරංග 10, ඩිල්ශාන් මුණවීර 8, මලින්ද පුෂ්පකුමාර 5/31, සුරංග ලක්මාල් 2/20.


මහනුවර සහ දඹුල්ල අතර තරගය

SLC Super Provincialදකුණත් මැදපෙළ පිතිකරු චාමර කපුගෙදරගේ පිත්තෙන් වාර්තා වුනු විශිෂ්ට ශතකය හේතුවෙන් ලකුණු 19ක ජයක් වාර්තා කරගන්නට මහනුවර කණ්ඩායමට හැකිවිය. ඒ ප්‍රතිවාදී දඹුල්ල කණ්ඩායම පරාජය කරමිනි.

දෙපිළෙන්ම වැඩි ලකුණු සංඛ්‍යා වාර්තා වුනු මෙම තරගය කොළඹ කෝල්ට්ස් පිටියේදී ක්‍රියාත්මක විය. කාසියේ වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායමේ ඇරයුමෙන් පිටියට පිවිසි මහනුවර පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 336ක් වාර්තා කර ගත්හ. ඒ වෙනුවෙන් චාමර කපුගෙදර අගනා වටිනා ශතකයකින් ආධාර විය. මෑතකදී ශ්‍රී ලංකා ජාතික පිළේ දොරටු හැරගත් ලහිරු මධුශංක ද අද දක්ෂ පිතිකරණයක යෙදෙමින් ලකුණු නොදැවී 90ක් රැස්කර ගත්තේය. කෙසේවෙතත් පන්දුවාර සංඛ්‍යාව නිමාවීම හේතුවෙන් ලහිරුට තම ශතකය අහිමි වී ගියේය. පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා, අසිත ප්‍රනාන්දු සහ නුවන් කුලසේකර අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

මෙම දැවැන්ත ලකුණු පුවරුව හඹා යෑමේදී දකුණත් පිතිකරු හර්ෂ කුරේ අද ලකුණු 109ක සුපිරි ඉනිමක් ක්‍රීඩා කලද ඔවුන්ට මහනුවර ඉනිමට වඩා ලකුණු 19න් මෙපිටින් තම ඉනිම අවසන් කරන්නට සිදුවිය. ඒ දඹුල්ල ඉනිමේ සියලුම කඩුලු පන්දුවාර 48යි පන්දු 5ක් තුලදී බිඳ වැටුනු බැවිනි. යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් ද අද ලකුණු 77ක් රැස් කරමින් දඹුල්ල කණ්ඩායමට සවියක් විය.

පන්දු යැවීමේදී දඹුල්ල පිතිකරුවන්ට දැවැන්තම තර්ජනය බවට පත්වූයේ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේයි. ඔහු ලකුණු 46කට කඩුලු 4ක් දවා ගනිමින් දඹුලු ජය මග අහුරාලීමට සමත් විය. මීට අමතරව ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන ධනුෂ්ක ගුණතිලක ද අද තම දකුණත් පිට දඟ පන්දුවේ සහයෙන් කඩුලු 3ක් බිඳ හෙලීය.

මහනුවර – කඩුලු 7ක් දැවී ලකුණු 336 (පන්දුවාර 50): චාමර කපුගෙදර 102, ලහිරු මධුශංක 90*, රමිත් රඹුක්වැල්ල 52*, චරිත් අසලංක 25, දිල්රුවන් පෙරේරා 2/70, අසිත ප්‍රනාන්දු 2/71, නුවන් කුලසේකර 2/72.

දඹුල්ල – සියල්ලන්ම දැවී ලකුණු 317 (පන්දුවාර 48.5): හර්ෂ කුරේ 109, කුසල් මෙන්ඩිස් 77, ලහිරු ගමගේ 4/46, ධනුෂ්ක ගුණතිලක 3/23.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට