පාසල් 16කට SLCයෙන් තෑග්ගක්

55

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ, වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල්  සඳහා පන්දු යැවීමේ යන්ත්‍ර (Bowling Machine) 16ක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

Video – ‘මට පුළුවන්, හරි දේ කළා කියලා හිතනවා’ – නුවන් ප්‍රදීප්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියා ක්‍රිකට් …..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවූ මෙම වැඩපිළිවෙළ යටතේ පළමුවෙන්, ශ්‍රී ලංකාවේ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 36න් 16ක් සඳහා පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමීම සිදු කර ඇත. 

පාසල් 36 සඳහාම යන්ත්‍ර ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවන අතර අනෙක් කණ්ඩායම් සඳහා අවශ්‍ය ඉතිරි යන්ත්‍ර 20 ද මේ වන විටත් ඇනවුම් කර තිබේ. ඒ අනුව ඒ යන්ත්‍ර සියල්ල ශ්‍රී ලංකාවට පැමිණි විගස එම පාසල්වලට ද ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේ දී පියවර ගනු ඇත.

නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කර තිබෙන මෙම පන්දු යැවීමේ යන්ත්‍රයක් එහි ඇති විදුලි කෝෂය (Battery) හරහා පැය 3ක පමණ කාලයක් ක්‍රියා කරවීමේ හැකියාවකින් යුක්ත වීම මෙහි තිබෙන එක් විශේෂත්වයක් ලෙස සැලකේ.  

භාවිතා කිරීමෙන් පසු නැවත ආරෝපණය කර ගත හැකි (Charging) ආකාරයෙන් මෙම පන්දු යැවීමේ යන්ත්‍රය නිර්මාණය කර තිබෙන නිසා පාසල්වල පුහුණු කටයුතු විදුලි රැහැන් භාවිතයකින් තොරව ඉතා පහසුවෙන් සිදු කිරීමේ හැකියාව පවතිනු ඇත.

ශ්‍රී ලංකා මුදලින් රුපියල් හය ලක්ෂ පනස්දහසක (650,000/=) මුදලකින් යුක්ත වන මේ පන්දු යැවීමේ යන්ත්‍රය ශ්‍රී ලංකාවට ගෙන්වන ලද පළමු අවස්ථාව මෙයයි. එම අවස්ථාවට පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති ඔෂාර පණ්ඩිතරත්න මහතා ද සහභාගි වී සිටියේය.

ශ්‍රී ලංකා හදවත පසාරු කළ කැන්ගරු හිතුවක්කාරයා

1992 අගෝස්තු මස දිනෙක සිංහල සමාජ පිටියේ දී ක්‍රිකට් ….

පළමු පෙළ කාණ්ඩයේ ඉදිරියෙන්ම පසුවන පාසල් 16 හි විදුහල්පතිවරුන්ගේ ද සහභාගිත්වයෙන් පැවති මෙම අවස්ථාවට සහභාගී වූ ශම්මි සිල්වා මහතා, “පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑම සඳහා අපි වැඩි මුදලක් ඉදිරියේ දී වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. සැඟවුණු දක්ෂතා ඇති ක්‍රීඩකයන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් සොයා ගැනීමේ හැකියාව තියෙන බව අපි විශ්වාස කරනවා” යැයි පැවසීය.

පන්දු යැවීමේ යන්ත්‍ර ලබා දුන් පළමු පාසල් 16 :

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, මොරටුව සාන්ත  සෙබස්තියන් විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය, මරදාන සහිරා විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<