සීමිත පන්දුවාර තරගාවලියේ පන්දුවෙන්, පිත්තෙන් වැඩ පෙන්වූ දක්ෂයෝ

1462
Top bowlers and Batsmen

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජාතික කණ්ඩායමට ඇතුළත් වීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා සවියක් වීම පිණිස මෙන්ම, ජාතික තේරීම් කමිටුවට ක්‍රීඩකයින්ගේ දස්කම් පිළිබඳව තක්සේරුවක් ලබා ගැනීම පිණිස සංවිධානය කරන ලද දේශීය ප්‍රිමියර් ලීග් අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරණ අංශයෙන් හා පන්දු යැවීමේ අංශයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ දස්කම් පිළිබඳව අවධානය යොමු කරමු.

පිතිකරණ අංශය
  1. ලහිරු මිලන්ත – රාගම ක්‍රිකට් සමාජය

1994 මැයි මස 28 වන දින කළුතර දී උපත ලැබූ බමුණුගම කොරාලගේ එෂාන් ලහිරු මිලන්ත නම් මේ යොවුන් ක්‍රීඩකයා සාන්ත පීතර විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේය. පාසල් දිවියෙන් අනතුරුව ඔහු රාගම ක්‍රිකට් සමාජය හා එක්විය.

නිමා වූ (2017/18) අන්තර් සමාජ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට ඔහු සමත් විය. තරගාවලියේ තරග 6කට සහභාගී වෙමින් ඔහු ලකුණු 448ක් රැස්කර ගත්තේ 74.66ක් වැනි ඉහළ දල ලකුණු වේගයක් රඳවා ගනිමින්. එම ලකුණු 448 ලබා ගැනීමේ දී ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 100.90ක වැනි අගයක පැවතියේය.

චන්දිගේ උත්සාහය අපතේ යැවූ ගුණතිලක එස්. එස්. සී වෙත ශූරතාව දිනා දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ සීමිත පන්දුවාර…

ජාතික ක්‍රිකට් කණ්ඩායමට කිසිදු අවස්ථාවක කැඳවීමක් නොලද ඔහුගේ එම ලකුණු ප්‍රමාණයට එක් ශතකයක් හා අර්ධ ශතක 4ක් ඇතුලත් විය. වමතින් පිතිකරණයේ නිරත වන මිලන්ත 4 පහර 50කට හා 6 පහර 10කට හිමිකම් කීමට සමත් විය.

  1. ඇන්ජලෝ පෙරේරා – එන්. සී. සී

සාන්ත පීතර විද්‍යාලයෙන් බිහි වූ ඇන්ජලෝ කනිෂ්ක පෙරේරා මෙවර තරගවාරය තුළ එන්. සී. සී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය.

28 හැවිරිදි ඇන්ජලෝ පෙරේරා 2013 දී (වයස අවුරුදු 23) ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තරම් වාසනාවන්ත විය. ඔහු මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 4කට හා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දෙකකට සිය දායකත්වය ලබා දී ඇත.

මෙම තරගාවලියේ දී ඔහු දැක්වූ දස්කම් දෙස හැරී බලන විට තරග 8ක දී ඔහුගේ පිත්තෙන් ලකුණු 380ක් ලබාගෙන ඇත්තේ එක් ශතකයක් හා අර්ධ ශතක 3ක් සමඟිනි. එම ලකුණු ලබා ගැනීමේ දී ඔහුගේ පිත්තෙන් 4 පහර 35ක් හා 6 පහර 7ක් වාර්තා වී ඇත. 126.66ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගත් ඇන්ජලෝ පෙරේරා එම තරගාවලියේ දී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වන්නේ බදුරලිය ක්‍රීඩා සමාජයට එදිරිව ලබාගත් ලකුණු 106*යි.

  1. මහේල උඩවත්ත – එන්. සී. සී

අඩි 5යි අඟල් 8ක් උසැති වමතින් පිත්ත හසුරුවන, දකුණතින් දඟපන්දු යවන මේ ක්‍රිකට් ක්‍රීඩකයා මීට පෙර හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කළ ද, 2017/18 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දී එන්. සී. සී. කණ්ඩායම හා එක්විය.

මහේල ලක්මාල් උඩවත්ත 1986 දී උපත ලැබූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරග 17ක දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට සමත් වී ඇත. ඒ අතරට පන්දුවාර 50 තරග හා විස්සයි විස්ස තරග පමණක් ඇතුලත්ය.

එන්. සී. සී. කණ්ඩායමේ මැදපෙළ සවිමත් කරන උඩවත්ත මෙවර තරග වාරය තුළ දී ලකුණු 376ක් රැස්කරගෙන තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර 3 වන තැන දිනා ගත්තේ තරග 8කට සහභාගී වෙමිනි. එම ලකුණු අතරට ශතක හා අර්ධ ශතක දෙකක් ඇතුළත් වෙද්දී 4 පහර 42කින් හා 6 පහර 4කින් සිය ඉනිම් කිහිපය වර්ණවත් කර ගැනීමට ඔහු සමත්ව ඇත.

පන්දු යැවීමේ අංශය
  1. සචිත්‍ර සේනානායක – සිංහල ක්‍රීඩා සමාජය (එස්. එස්. සී)

සචිත්‍ර සේනානායක නම ඇසුණු සැණින් ඔබට මතක් වන්නේ 2014 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පැවති 5 වැනි එක්දින ක්‍රිකට් තරගය බව නිසැකය. ඒ එම තරගයේ දී ජෝස් බට්ලර්ව අපූරු ලෙස දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට සචිත්‍ර සමත් වීම නිසාවෙයි.

සචිත්‍ර මෙවර සීමිත පන්දුවාර තරගාවලියේ තරග 8ක් තුළ කඩුලු 17ක් දවා ගනිමින් මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස අබිසෙස් ලබා ගන්නා ලදි. එම තරග අතරින් එක් තරගයක දී ලකුණු 25ක් තුළ කඩුලු 4ක් දවා ගැනීම ඔහුගේ හොඳම දස්කමයි. එසේම එම තරගාවලිය තුළ සචිත්‍ර යැවූ පන්දුවාර 69.1 අතරින් පන්දුවාර 9ක්ම නිලකුණු  පන්දුවාර වීම කැපී පෙනුණි. සචිත්‍රගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ එස්. එස්. සී. කණ්ඩායමට මෙවර තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට හැකි විය.

  1. මහේෂ් ප්‍රියදර්ශන – පොලිස් ක්‍රීඩා සමාජය

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාව හදාරා පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනාගත් ගාල්ලේ උපත ලද මහේෂ්ගේ නාමය අපට එතරම් හුරුපුරුදු නොවුනත් තරගාවලියේ තරග වැදුණු කණ්ඩායම්වල ක්‍රීඩකයින් අතර ඔහුගේ නාමය නිතර නිතර කතාබහට ලක්විය.

දකුණතින් මඳ වේගපන්දු යවන 36 හැවිරිදි මහේෂ් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජය සවිමත් කරයි. තරගාවලියේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන වැඩිම කඩුලු ලාභියා වීමට ඔහුට හැකි විය. එහි දී මහේෂ් විසින් තරග 5ක් තුළ කඩුලු 14ක් දවා ගත්තේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 16.92ක් වැනි අගයක පවත්වා ගනිමිනි.

  1. ජෙෆ්රි වැන්ඩර්සේ – සිංහල ක්‍රීඩා සමාජය (එස්. එස්. සී)

ජෙෆ්රි වැන්ඩර්සේ ලෙස අප හඳුනන ඔහුගේ සම්පූර්ණ නම ජෙෆ්රි ඩෙක්ස්ටර් ෆ්‍රැන්සිස් වැන්ඩර්සේ ය.

1990 වසරේ වත්තල දී උපත ලබා වෙස්ලි විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි වැන්ඩර්සේ වයස අවුරුදු 25ක් වන විට ජාතික ක්‍රිකට් කණ්ඩායමට පිවිසීමට වරම් දිනා ගත් අතර ජාත්‍යන්තර එක්දින තරග 11කට හා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 7ක දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇත.

උස අඩි 5යි අඟල් 7 වන මොහු දකුණත් පා දඟපන්දු යවන්නෙකි. වැන්ඩර්සේ මෙවර තරග වාරය තුළ තරග 8කට සහභාගී වී කඩුලු 14ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභින් අතර තෙවන තැනට පත්වීමට සමත් විය. මෙවර තරග වාරය තුළ ඔහු පන්දුවාර 68යි පන්දු 4ක් ක්‍රියාත්මක කර ඇති අතර එම පන්දු ප්‍රමාණය තුළ ඔහු ලබා දී ඇත්තේ ලකුණු 294ක් පමණි. ලකුණු 37ක් තුළ කඩුලු 4ක් දවා ගැනීම වැන්ඩර්සේ මෙවර තරගාවලිය තුළ දැක්වූ හොඳම දස්කමයි.

දික්වැල්ලගේ සුපිරි ශතකයෙන් NCC කණ්ඩායමත් අවසන් සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමුපෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ (23)..

මීට පෙර 2017/18 තෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය විසින් දිනාගත් අතර පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ශූරතාවය එන්. සී. සී ක්‍රිකට් සමාජය විසින් දිනා ගන්නා ලදි.

එසේම එස්. එස්. සී කණ්ඩායම විසින් පන්දුවාර 50 තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළේය. පසුගිය දා (30) ආරම්භ වූ සිව්දින සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය අවසානයේ ද දස්කම් දැක්වූ ක්‍රීඩකයින් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප සූදානම් රැඳී සිටින්න  ThePapare.com සමඟින්.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<