මලින්දගේ දඟ පන්දුව නිසා හලාවතට පෙරළිකාර ජයක්

905
SLC Premier League 2016/17 Tier A January 8th roundup

දේශීය ක්‍රිකට් පිටිය අතිශයින්ම කාර්‍යබහුල කරවන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් ක්‍රියාත්මක වුනු තරඟ 6ක් අද (08) නිමාව දිටීය. එහිදී හලාවත මේරියන්ස්, බදුරලිය සහ රාගම ක්‍රීඩා සමාජ පූර්ණ තරඟ ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් වූහ.

පසුගිය ලිපි: ප්‍රබල SSC කණ්ඩායම හලාවත දඟ පන්දුව ඉදිරියේ මෙල්ල වෙයි

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර තරඟය

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට ලකුණු 34ක තියුණු ජයක් හිමිවුණු මෙම තරගය කටුනාය‍ක දී පැවැත්විය. මලින්ද පුෂ්පකුමාරගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තහවුරු කරගත් හලාවත ක්‍රීඩකයින්, තික්ෂිල සිල්වාගේ ලකුණු 92 හේතුවෙන් දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව 309ක් කරා රැගෙන යාමට සමත් විය.

එබැවින් SSC පිතිකරුවන්ට ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 324ක් ලෙස සටහන් විය. එම ඉලක්කය හඹායාමට උත්සාහ දැරූ SSC ක්‍රීඩකයින්ට අද රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 289ක් පමණි. හලාවත කණ්ඩායම වෙනුවෙන් තම වගකීම අකුරටම ඉටුකල වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර මෙම තරගයේදී ලකුණු 144කට කඩුලු 10ක් බිඳ හෙලීය. එසේම ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ කඩුලු 500 ද වාර්තා වූයේ මෙම තරගය අතරතුරදීය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 193 (පන්දුවාර 54.1): අශේන් සිල්වා 61, ශෙහාන් ජයසූරිය 45, ජෙෆ්රි වැන්ඩර්සේ 5/61, රෝහිත් දමෝදරන් 33.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 179 (පන්දුවාර 65.3): රමේෂ් මෙන්ඩිස් 53*, දසුන් ශානක 48, මලින්ද පුෂ්පකුමාර 7/52.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 309 (පන්දුවාර 71.1): 
සචිත්‍ර සේරසිංහ 73, ශෙහාන් ජයසූරිය 50, තික්ෂිල ද සිල්වා 92, ජෙෆ්රි වැන්ඩර්සේ 5/94, තරිඳු රත්නායක 3/86.

සිංහල ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 289 (පන්දුවාර 78.2): ජෙෆ්රි වැන්ඩර්සේ 69, කවිඳු කුලසේකර 68, ධනුෂ්ක ගුණතිලක 40, මිනෝද් භානුක 33, මධූක ලියනපතිරණගේ 3/76, මලින්ද පුෂ්පකුමාර 3/92, සචිත්‍ර සේරසිංහ 2/34.


ගාලු ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරඟය

ඊයේ දිනය වන විට ප්‍රථම ඉනිමේ ජය තහවුරු කරගෙන සිටි බදුරලිය ක්‍රීඩා සමාජයට මෙම තරඟයෙන් කඩුලු 7ක පහසු ජයක් හිමිවිය. අද ගාලු දෙවන ඉනිම ලකුණු 233කට සීමා කරන්නට බදුරලිය වේග පන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනා වන නුවන් කරුණාරත්න සහ දිලේශ් ගුණරත්න සමත් විය. ඒ අනුව බදුරලිය කණ්ඩායමට පූර්ණ තරග ජයග්‍රහණයක පහස විඳින්නට අවශ්‍ය වූයේ ලකුණු 136ක් පමණි.

එම ඉලක්කය බදුරලිය පිතිකරුවෝ කඩුලු 3ක් පමණක් දැවී සපුරාගන්නට සමත් වූහ. සාලිය සමන් ඒ වෙනුවෙන් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් අර්ධ ශතකයකින් ආධාර විය.

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 218 (පන්දුවාර 78.2): නිලුශාන් නෝනිස් 62, දමිත හුණුකුඹුර 55, දිලේශ් ගුණරත්න 3/53

බදුරලිය ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 316 (පන්දුවාර 114.3): අලංකාර අසංක 85, නදීර නාවෙල 67, සහන් විජේරත්න 56, සජීව වීරකෝන් 5/96.

ගාලු ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 233 (පන්දුවාර 63.5): ශාලික කරුණානායක 81, චලන ද සිල්වා 27, දිල්හාන් කුරේ 25, නුවන් කරුණාරත්න 3/59, දිලේශ් ගුණරත්න 3/42.

බදුරලිය ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 139 (පන්දුවාර 17.5): සාලිය සමන් 54, සජීව වීරකෝන් 2/61.


රාගම ක්‍රිකට් සමාජය සහ BRC අතර තරඟය

ප්‍රබල රාගම ක්‍රිකට් සමාජයට කඩුලු 8ක පහසු ජයක් හිමි වූ මෙම තරඟයට BRC කණ්ඩායම සත්කාරකත්වය දැරීය. අද රාගම පිතිකරුවන්ට මෙම තරඟයෙන් ජය තහවුරු කර ගැනීම සඳහා දෙවැනි ඉනිමේදී අවශ්‍ය වූයේ ලකුණු 93ක් පමණි. වමත් පිතිකරු උදාර ජයසුන්දර අද හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 56ක් වාර්තා කරමින් එම අභියෝගය සාර්ථකව ජය ගන්නට උපකාරී විය.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 194 (පන්දුවාර 60.1): ලසිත් ලක්ෂාන් 46, භානුක රාජපක්ෂ 44, සහන් නානායක්කාර 3/28, අමිල අපොන්සු 4/33.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 254 (පන්දුවාර 84.3): රොෂේන් සිල්වා 91, ජනිත් ලියනගේ 44, ලහිරු තිරිමාන්න 26, ටී. එම්. සම්පත් 5/98, දිනුක හෙට්ටිආරච්චි 3/92.

BRC (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 152 (පන්දුවාර 51): හර්ෂ විතාන 47*, භානුක රාජපක්ෂ 45, රුමේෂ් බුද්ධික 39, සහන් නානායක්කාර 3/35, අමිල අපොන්සු 3/41, කොෂාන් ධනුෂ්ක 2/33.

රාගම ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 93 (පන්දුවාර 19.3): උදාර ජයසුන්දර 56*, ජනිත් ලියනගේ 28*, දිනුක හෙට්ටිආරච්චි 2/31.


යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරඟය

ඊයේ දිනය සඳහා තරඟය නතර කරන විට කෝල්ට්ස් පිළේ පරාජය වෙනුවෙන් සියලු කරුණු සැකසී තිබූ මෙම තරඟය අද උඩු යටිකුරු කරන්නට කෝල්ට්ස් පිතිකරණ බල ඇණිය සමත් විය. මුල් ඉනිමේදී ලකුණු 112කට දැවී ගිය ඔවුන් දෙවැනි ඉනිමේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයේ පිතිහරඹයක යෙදෙමින් කඩුලු 9කට ලකුණු 445ක් වාර්තා කළහ.

ලකුණු 474ක දැවැන්ත ඉලක්කයක පීඩනය හමුවේ තම ක්‍රීඩා සමාජයේ ගෞරවය බේරා ගැනීම වෙනුවෙන් සටන් වැදුනු සදීර සමරවික්‍රම හතරේ පහර 19ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 130ක් රැස් කළේය. ඒ හේතුවෙන් නිසැක තරඟ ජයක් ලබා ගැනීමට තිබූ යුධ හමුදා ක්‍රීඩා සමාජයට සිදුවූයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයකින් සෑහීමකට පත් වන්නටය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 297 (පන්දුවාර 72.4): දුශාන් විමුක්ති 54, සීක්කුගේ ප්‍රසන්න 58, හිමාෂ ලියනගේ 52, නිසල තාරක 3/39

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 112 (පන්දුවාර 35.3): විශාද් රන්දික 36, ඉශාන් ජයරත්න 33*, නුවන් ලියනපතිරණ 3/34, සීක්කුගේ ප්‍රසන්න 2/23, දුශාන් විමුක්ති 2/13, විරාජ් පුෂ්පකුමාර 2/13.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 288 (පන්දුවාර 73.2): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 116*, ඩිල්ශාන් ද සොයිසා 88, චරිත් සුධාරක 2/61.

කෝල්ට්ස් (දෙවන ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 445 (පන්දුවාර 80): සදීර සමරවික්‍රම 130, නිසල තාරක 77, හෂාන් දුමිඳු 73, ඇන්ජෙලෝ ජයසිංහ 51, නුවන් ලියනපතිරණ 3/115, සීක්කුගේ ප්‍රසන්න 2/109.


කොළඹ ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරඟය

ජය පරාජයකින් තොරව නිමාවුනු මෙම තරඟයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය පහසුවෙන්ම තහවුරු කරගන්නට කොළඹ ක්‍රිකට් සමාජය සමත් විය. ඔවුන් ප්‍රථම ඉනිමේ රැස්කල ලකුණු 560ට ශතක දෙකක් අන්තර්ගත වූ අතර ඒවායේ හිමිකරුවන් බවට පත්වන්නට ලසිත් අබේරත්න සහ අශාන් ප්‍රියන්ජන් සමත් වූහ. අද සවස් භාගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 423ක ඉලක්කයක් හඹා ගිය මුවර්ස් පිතිකරුවන් කඩුලු 6ක් දැවී ලකුණු 141ක් ලබා සිටියහ.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 560 (පන්දුවාර 105.2): ලසිත් අබේරත්න 156*, අශාන් ප්‍රියන්ජන් 124, ලක්ෂාන් සඳකැන් 64, මාධව වර්ණපුර 50, වනිඳු හසරංග 47, තිලාන් තුෂාර 3/82.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 275 (පන්දුවාර 64.4): නිලංක සඳකැන් 70*, තිලාන් තුෂාර 46, තරිඳු මෙන්ඩිස් 41, ඩිල්ශාන් මුණවීර 3/26, සචිත් පතිරණ 3/91, අශාන් ප්‍රියන්ජන් 2/30.

කොළඹ ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 137 (පන්දුවාර 26.4): රොන් චන්ද්‍රගුප්ත 43, දිල්ශාන් මුණවීර 41, නිලංක සඳකැන් 6/72, ප්‍රමෝද් මධුවන්ත 3/39.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 141 (පන්දුවාර 41): රුවිඳු ගුණසේකර 53, තරිඳු මෙන්ඩිස් 35, ලක්ෂාන් සඳකැන් 2/33.


ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ NCC අතර තරඟය

මෙම තරඟය අද ජය පරාජයෙන් තොරව නිමා වූවත් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තම ක්‍රීඩා සමාජය නමින් ලියා ගන්නට ටැමිල් යූනියන් ක්‍රීඩකයින් සමත්විය. ඒ NCC කණ්ඩායම ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු 268ට පිලිතුරු ලෙස ඔවුන් ලකුණු 446ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ බැවිනි. ඒ වෙනුවෙන් ප්‍රබල දායකත්වයක් දැක්වූ ජීවන් මෙන්ඩිස් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 151ක් ලබමින් ආධාර විය.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 268 (පන්දුවාර 65): ඇන්ජෙලෝ පෙරේරා 59, නිරෝෂන් දික්වැල්ල 48, සඳුන් වීරක්කොඩි 44, පවන් වික්‍රමසිංහ 43, ලහිරු සමරකෝන් 2/39, ‍රමිත් රඹුක්වැල්ල 2/67.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – 446 (පන්දුවාර 124.5): ජීවන් මෙන්ඩිස් 151*, සිතාර ගිම්හාන් 90, දිනෙත් තිමෝද්‍යය 36, අනුක් ප්‍රනාන්දු 4/81, ෆර්වීස් මහරූෆ් 3/49.

NCC (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 349 (පන්දුවාර 67) : චතුරංග ද සිල්වා 84, නිරෝෂන් දික්වැල්ල 81, ලහිරු උදාර 43, ජීවන් මෙන්ඩිස් 3/74.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට