හලාවත ක්‍රීඩා සමාජය සිව්දින තරගය දින දෙකකින් නිමා කරයි

690
SLC Premier League

දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් කරන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරන ක්‍රීඩා සමාජ 14ක් අද (29) ක්‍රීඩාංගණ 7කදී එකිනෙකා හා තරග වැදුනි. එහිදී සුපිරි 8 වටයේ තරගයකට මුහුණ දුන් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය දින දෙකක් වැනි අඩු කාලයක් තුලදී ප්‍රතිවාදී කෝල්ට්ස් කණ්ඩායම පරාජය කිරීමට සමත් විය. මෙහි දැක්වෙන මුල් තරග හතර සුපිරි 8 වටයේ සිව්දින තරග වන අතර අවසන් තරග තුන මූලික වටයේ තුන්දින තරග ලෙසින් අද නිමාවට පත්විය.

යශෝධගේ යෝධ ඉනිම ගාල්ලට බලාපොරොත්තු ගෙන එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන දැවැන්තම තරගාවලියක් වන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් තරග 7ක් අද (28) ක්‍රියාත්මක විය. එහිදී දිනෙත් තිමෝද්‍යය, තරංග පරණවිතාන පැතුම් මධුසංක වැනි පිතිකරුවන් ශතක රැස්කල අතර දිනයේ සුපිරිම ප්‍රහාරකයා බවට පත්වන්නට ලකුණු 167ක් රැස්කල යශෝධ ලංකා සමත් විය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

සුපිරි 8 වටයේ සිව්දින තරගයක් ලෙස ක්‍රියාත්මක වුවත් මෙම තරගය දින දෙකක් තුලදී නිමා කරමින් ඉනිමක සහ ලකුණු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් තමන් සතුකර ගන්නට අද හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සමත් විය. දෙපිළෙන්ම අඩු ලකුණු සංඛ්‍යා වාර්තා වූ මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන් කෝල්ට්ස් කණ්ඩායම රැස්කල ලකුණු 150ට පිලිතුරු ලෙස හලාවත පිතිකරුවන් ලකුණු 196ක් රැස් කළහ.

ඒ අනුව ලකුණු 46ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ කෝල්ට්ස් පිතිකරුවන්ට එහිදී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 39ක් පමණි. ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම පමණක් ලකුණු 16ක් රැස් කල අතර ඉනිමේ සෙසු පිතිකරුවන් ලබාගත් ලකුණු දැක්වුනේ දුරකථන අංකයක් ලෙසිනි. කෝල්ට්ස් පිතිකරුවන් අන්ත අසරණ කළ මලින්ද පුෂ්පකුමාර ලකුණු 3කට කඩුලු 4ක් බිඳ හෙලූ අතර මධූක ලියනපතිරණගේ සහ ඉසුරු උදාන කඩුලු 3 බැගින් දවාලූහ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 150 (පන්දුවාර 46.5): සදීර සමරවික්‍රම 29, ප්‍රභාත් ජයසූරිය 26, අකිල ධනංජය 24, අරෝෂ් ජනෝද 7/38, ඉසුරු උදාන 2/27.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 196 (පන්දුවාර 49.5):
රුක්ෂාන් ශෙහාන් 36, මහේල උඩවත්ත 27, අරෝෂ් ජනෝද 22, විදුර අධිකාරි 21, අකිල ධනංජය 3/11, ඉශාන් ජයරත්න 3/46, දිල්රුවන් පෙරේරා 2/67.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 39 (පන්දුවාර 13.4): මලින්ද පුෂ්පකුමාර 4/03, මධූක ලියනපතිරණගේ 3/02, ඉසුරු උදාන 3/09.



ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

දිනෙත් තිමෝද්‍යය සහ තරංග පරණවිතාන රැස්කල ශතක දෙකෙන් සුපෝෂණය වූ ටැමිල් යූනියන් ප්‍රථම ඉනිම අද ලකුණු 318දී නිමාව දුටුවේය. මේ වන විට එම ඉනිම හඹායමින් සිටින රාගම ක්‍රිකට් සමාජය එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 212ක් ලබාගෙන ස්ථාවර තත්වයක පසුවේ. නොදැවී පන්දුවට පහර දෙන දකුණත් පිතිකරු ජනිත් ලියනගේ ලකුණු 104ක් ද, වමත් පිතිකරු ලහිරු මිලන්ත ලකුණු 100ක් ලබාගෙන සිටියි. මොවුන් දෙදෙනා මේ වනවිටත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 212ක නොබිඳුණු විශිෂ්ට සබඳතාවයක් පවත්වා තිබේ. දේශීය පිටියේ හොඳින් දස්කම් දක්වන ලහිරු මිලන්ත 22වැනි වියේ පසුවන අතර ජනිත් ලියනගේ තවමත් 21වැනි වියේ පසුවන යොවුන් පිතිකරුවෙකි.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 318 (පන්දුවාර 101.5): දිනෙත් තිමෝද්‍යය 113, තරංග පරණවිතාන 109, සිතාර ගිම්හාන් 31, අමිල අපොන්සු 3/43, චතුර පීරිස් 3/57, නිලංක ප්‍රේමරත්න 2/84, ජනිත් ලියනගේ 2/32.

රාගම ක්‍රිකට් සමාජය – එක් කඩුල්ලක් දැවී ලකුණු 212 (පන්දුවාර 73): ජනිත් ලියනගේ 104*, ලහිරු මිලන්ත 100*.



කොළඹ ක්‍රිකට් සමාජය සහ NCC අතර තරගය

ඊයේ දිනයේ NCC කණ්ඩායම රැස්කල ලකුණු 200 අභිබවා ගිය CCC පිතිකරුවන් අද තම ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 293ක් රැස් කළහ. එහිදී කැපී පෙනෙන ඉනිමක නිරත වුනු ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත හතරේ පහර 12ක් සමගින් ලකුණු 108ක් රැස් කිරීමට සමත් විය. මේ වනවිට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන NCC පිතිකරුවන් කඩුලු 5කට ලකුණු 187ක් ලබාගෙන CCC කණ්ඩායමට වඩා ලකුණු 94ක් ඉදිරියෙන් පසුවේ.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 200 (පන්දුවාර 49): අනුක් ප්‍රනාන්දු 43, ලහිරු උදාර 40, තිමිර ජයසිංහ 34, හෂාන් උපේන්ද්‍ර 30, ලහිරු ගමගේ 4/52, උස්මාන් ඉශාක් 2/51, වනිඳු හසරංග 2/33.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 293 (පන්දුවාර 78.2): රොන් චන්ද්‍රගුප්ත 108, වනිඳු හසරංග 59, රොෂාන් අනුරුද්ධ 29, රවීන් සේයර් 25, තරිඳු කෞෂාල් 4/71, ලසිත් ඇඹුල්දෙණිය 4/110.

NCC (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 187 (පන්දුවාර 49): ජෙහාන් මුබාරක් 46, ඇන්ජෙලෝ පෙරේරා 43*, තිමිර ජයසිංහ 39*, අනුක් ප්‍රනාන්දු 22, අශාන් ප්‍රියන්ජන් 2/33.



යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර තරගය

යුධ හමුදාව ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු 228ට ප්‍රබල පිලිතුරක් ලබාදුන් SSC කණ්ඩායම තම පළමු ඉනිම නිමා කලේ සියල්ලන්ම දැවී ලකුණු 323ක් රැස් කරමිනි. ඒ අනුව මේ වනවිට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය SSC කණ්ඩායම තහවුරු කරගෙන අවසන්ය. මේ වනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරන යුධ හමුදා පිතිකරුවන් කඩුලු 5ක් දැවී ලකුණු 51ක් පමණක් රැස් කරගෙන සිටින්නේ තරග පරාජයක දැඩි අවදානමක් සහිතවයි.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 228 (පන්දුවාර 67.3): දිල්හාන් ද සොයිසා 74, සීක්කුගේ ප්‍රසන්න 40, දුශාන් විමුක්ති 31, කසුන් මධුශංක 3/29, දසුන් ශානක 2/41, සචිත්‍ර සේනානායක 4/43.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 323 (පන්දුවාර 81.5): දසුන් ශානක 91, චරිත් අසලංක 50, රමේෂ් මෙන්ඩිස් 31*, කවිඳු කුලසේකර 30, මිනෝද් භානුක 28, සචිත්‍ර සේනානායක 31*, සීක්කුගේ ප්‍රසන්න 3/84, දුශාන් විමුක්ති 2/35, කේ. වයි. එන්. මෙන්ඩිස් 2/58, නුවන් ලියනපතිරණ 2/76.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 51 (පන්දුවාර 21): සීක්කුගේ ප්‍රසන්න 31*, විමුක්ති පෙරේරා 2/07, දසුන් ශානක 3/16.



බදුරලිය ක්‍රීඩා සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

තුන්දින තරගයක් ලෙසින් අද නිමාව දුටු මෙම තරගයේ ප්‍රථම දිනය වර්ෂාවට සේදී ගිය නිසා තරගයේ ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ අඩු පන්දුවාර සංඛ්‍යාවකි. එහිදී බදුරලිය ක්‍රීඩා සමාජය ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු 302 අභිබවා ගොස් පළමු ඉනිමේ ජයග්‍රහණය තහවුරු කරගන්නට සැරසන්ස් ක්‍රීඩකයින් සමත් විය. සැරසන්ස් පිළ වෙනුවෙන් සුපිරි ඉනිමක නිරත වූ දකුණත් පිතිකරු ගමිඳු කණිෂ්ක අද හතරේ පහර 7ක් සහ හයේ පහර 8ක් සමගින් ලකුණු 130ක් රැස් කළේය.

බදුරලිය ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 302 (පන්දුවාර 91.4): පැතුම් මධුසංක 110, ශෙහාන් ප්‍රනාන්දු 39, දිලේශ් ගුණරත්න 32, නුවන් කරුණාරත්න 27, නදීර නාවෙල 23, සුරාජ් රන්දිව් 3/107, කසුන් රාජිත 3/78.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 321 (පන්දුවාර 87): ගමිඳු කණිෂ්ක 130, උමේෂ් කරුණාරත්න 64, හර්ෂ කුරේ 30, ඉරෝෂ් සමරසූරිය 24, මිලින්ද සිරිවර්ධන 20, දිලේශ් ගුණරත්න 3/48, දුවිඳු තිලකරත්න 2/94.


ගාලු ක්‍රිකට් සමාජය සහ BRC අතර තරගය 


අද නිමාව දුටු තවත් තරගයක් වන මෙහි ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාලු ක්‍රිකට් සමාජය යශෝධ ලංකාගේ ලකුණු 167න් සවිමත් වී ලකුණු 407ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් විය. නමුත් මේ දිනවල ජයග්‍රාහී රිද්මයක පසුවන BRC කණ්ඩායම ලකුණු කඩුලු 6කට ලකුණු 447 රැස් කරමින් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තමන් සතුකර ගත්හ. BRC පිතිකරුවන් බොහෝ දෙනෙකු ලකුණු අතරට පිවිසි අද දිනයේ ඒ අතරින් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වන්නට වමත් පිතිකරු රුමේෂ් බුද්ධික සමත් විය. ඒ හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 116ක් රැස්කර ගනිමිනි.

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 407 (පන්දුවාර 126.5): යශෝධ ලංකා 167, දිල්හාන් කුරේ 82, දමිත හුණුකුඹුර 39, දිනුක හෙට්ටිආරච්චි 7/158.

BRC – කඩුලු 6ක් දැවී ලකුණු 447 (පන්දුවාර 123): රුමේෂ් බුද්ධික 116, ලිසුල ලක්ෂාන් 88, චානක විජේසිංහ 74*, භානුක රාජපක්ෂ 51, ටී. එම්. සම්පත් 56, හර්ෂ විතාන 26, චතුපම ගුණසිංහ 2/88.


බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

මෙම තරගය අද නිමාවට පත්වූයේ මුවර්ස් ක්‍රීඩා සමාජයට ප්‍රථම ඉනිමේ ජය හිමිකර දෙමිනි. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින් සිය මුල් ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු 152 පසුකර ගිය මුවර්ස් පිතිකරුවන් සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 371ක් රැස් කිරීමට සමත් විය. අද තරගය ජය පරාජයෙන් තොරව අවසන් වනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය කඩුලු 4ක් දැවී ලකුණු 201ක් ලබා සිටියහ.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 152 (පන්දුවාර 49.3): තිරාන් ධනපාල 30, විනෝද් පෙරේරා 29, ලහිරු ජයකොඩි 20, ප්‍රමෝද් මධුවන්ත 3/05, නිලංක සඳකැන් 2/47.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 371 (පන්දුවාර 89.4): පබසර වඩුගේ 72, ශනුක දුලාජ් 56, ප්‍රමෝද් මධුවන්ත 70*, ප්‍රිමෝශ් පෙරේරා 31, තරිඳු මෙන්ඩිස් 28, මලිත් ද සිල්වා 6/148.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 201 (පන්දුවාර 47): ලහිරු ජයකොඩි 60, නිසල් ෆ්‍රැන්සිස්කෝ 51, නිපුන් කරුණානායක 49, මොහොමඩ් අක්‍රම් 21, ප්‍රමෝද් මධුවන්ත 2/63.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට