ශෙහාන්, සචිත්‍ර සහ මලින්ද හලාවතට දැවැන්ත ජයක් ගෙනෙයි

508
SLC Premier League

දේශීය ක්‍රිකට් පිටියේ විශිෂ්ටයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දොරගුළු විවර කරදෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවති තවත් තරග 5ක් අද (23) නිමාවට පත්විය. එහිදී හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය පමණක් දැවැන්ත ජයග්‍රහණයකට හිමිකම් කියූ අතර BRC, SSC, රාගම සහ කෝල්ට්ස් යන ක්‍රීඩා සමාජ වලට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වලින් සෑහීමකට පත් වන්නට සිදු විය.

පසුගිය ලිපි: පන්දුව හුරු දෑතින් පිත්ත හැසිරවූ සචිත්‍රගෙන් සුපිරි ශතකයක්!

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ ගාලු ක්‍රිකට් සමාජය අතර තරගය

අද දින ක්‍රියාත්මක වූ තරග අතුරින් ප්‍රතිඵලයක් සහිතව නිමාවුනු එකම තරගය වන මෙය හලාවත මේරියන්ස් ක්‍රීඩකයින් ජය ගත්තේ ඉනිමකින් සහ ලකුණු 231කිනි. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් හලාවත පිතිකරුවන් රැස් කළ දැවැන්ත ලකුණු 552ට පිලිතුරු ලෙස ගාලු ක්‍රිකට් සමාජයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 157ක් පමණි. එබැවින් නැවතත් පන්දුවට පහර දීමට සිදුවූ ඔවුන් සියලු දෙනාම ලකුණු 164ක් තුලදී දැවී ගියහ.

ප්‍රථම ඉනිමේ විශිෂ්ට පිතිකරණයක යෙදෙමින් ශතක දෙකක් රැස්කල ශෙහාන් ජයසූරිය සහ සචිත්‍ර සේරසිංහ මෙවන් දැවැන්ත ජයක් හලාවතට හිමිකර දීම සඳහා පාර කැපූ අතර, මලින්ද පුෂ්පකුමාර තරගය පුරාවට කඩුලු 11ක් බිඳ හෙලමින් එම ජය ස්ථිර කිරීමට සමත් විය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 552 (පන්දුවාර 113.3): ශෙහාන් ජයසූරිය 168, සචිත්‍ර සේරසිංහ 151, මහේල උඩවත්ත 53, රුක්ෂාන් ශෙහාන් 50*, මලින්ද පුෂ්පකුමාර 41, සජීව වීරකෝන් 3/161.

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 157 (පන්දුවාර 60.2): නිලුශාන් නෝනිස් 47, මලින්ද පුෂ්පකුමාර 5/70, තික්ෂිල ද සිල්වා 3/22.

ගාලු ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 164 (පන්දුවාර 60.3): ශාලික කරුණානායක 64, මලින්ද පුෂ්පකුමාර 6/78, ශෙහාන් ජයසූරිය 3/14.


මුවර්ස් ක්‍රීඩා සමාජය සහ BRC අතර තරගය

ඊයේ දිනය නිමාවන විට කඩුලු 5කට ලකුණු 164ක් ලෙස සටහන් වූ BRC දෙවන ඉනිම අද ලකුණු 280කට සීමා කරමින් තරගය දෙපිළටම විවෘත කරන්නට මුවර්ස් පන්දු යවන්නෝ සමත් වූහ. ඒ වෙනුවෙන් රුවිඳු ගුණසේකර ලකුණු 34කට කඩුලු 4ක් බිඳ හෙලමින් වැඩි දායකත්වයක් සැපයීය. BRC කණ්ඩායම වෙනුවෙන් ටී. එම්. සම්පත් රැස්කල ලකුණු 92 ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත්විය.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 348ක් හඹාගිය මුවර්ස් පිතිකරුවන් තෙවැනි සහ අවසන් දිනය නිමා වන විට කඩුලු 8ක් දැවී ලකුණු 325ක් ලබා සිටියේය. ඒ වන විට මෙම තරගයෙන් ජය ලැබීමට මුවර්ස් ක්‍රීඩකයින්ට ලකුණු 23ක් ද, BRC ක්‍රීඩකයින්ට කඩුලු 2ක් ද අවශ්‍යව තිබුණි. නමුත් කාල වේලාව ප්‍රමාණවත් නොවූ නිසා තරගයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය BRC පිළට හිමිවිය.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 293 (පන්දුවාර 74.2): ලසිත් ලක්ෂාන් 63, හශේන් රාමනායක 53, චානක විජේසිංහ 52, තිලාන් තුෂාර 3/54, දිලංක සඳකැන් 3/80.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 226 (පන්දුවාර 61.3): රුවිඳු ගුණසේකර 50, ප්‍රිමෝශ් පෙරේරා 45, ටී. එම්. සම්පත් 4/57, දිනුක හෙට්ටිආරච්චි 4/73.

BRC (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 280 (පන්දුවාර 64.2): ටී. එම්. සම්පත් 92, ලසිත් ලක්ෂාන් 46, රුවිඳු ගුණසේකර 4/34.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 325 (පන්දුවාර 55): ප්‍රිමෝශ් පෙරේරා 104, ශානුක දුලාජ් 70, පබසර වඩුගේ 50, හශේන් රාමනායක 5/88.


සිංහල ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය අතර තරගය

බ්ලූම්ෆීල්ඩ් ප්‍රථම ඉනිම අද උදෑසන ලකුණු 201කට සීමා වීම නිසා ඔවුන්ට දෙවන වරටත් පන්දුවට පහර දීමේ අවමානයට ලක් වන්නට සිදුවිය. නමුත් දෙවැනි ඉනිමේදී පිත්තෙන් සාර්ථක වූ බ්ලූම්ෆීල්ඩ් පිතිකරුවෝ තෙවැනි දිනය නිමා වන තෙක්ම කඩුලු ආරක්ෂා කරගෙන ලකුණු 296ක් කරා යාමට සමත් විය. ඒ අනුව අද මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ අතර ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ලකුණු 490ක් රැස් කරගත් සිංහල ක්‍රීඩා සමාජයට හිමිවිය.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 490 (පන්දුවාර 99.5): සචිත්‍ර සේනානායක 120, මිනෝද් භානුක 97, ධනුෂ්ක ගුණතිලක 94, චරිත් අසලංක 37, කවිඳු කුලසේකර 36, මලිත් ද සිල්වා 4/151.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 201 (පන්දුවාර 75.3): නිසල් ෆ්‍රැන්සිස්කෝ 58, ජෙෆ්රි වැන්ඩර්සේ 5/53, සචිත්‍ර සේනානායක 4/61.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 296 (පන්දුවාර 81): ලහිරු ජයකොඩි 118*, නිපුන් කරුණානායක 77, ජෙෆ්රි වැන්ඩර්සේ 4/86, කසුන් මධුශංක 4/49.


යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

අද ජය පරාජයෙන් තොරව නිමාවූ තවත් එක් තරගයක් වන මෙහි මුල් ඉනිමේ ජයග්‍රහණය හිමිවූයේ රාගම ක්‍රිකට් සමාජයටයි. ඒ සඳහා කලක පටන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දොරට තට්ටු කරන ක්‍රීඩකයෙකු වන රොෂේන් සිල්වා ශතකයකින් ආධාර විය.  අමිල අපොන්සු ප්‍රථම ඉනිමේ කඩුලු 7ක් බිඳ හෙලමින් එම ජයග්‍රහණය පහසු කළේය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 276 (පන්දුවාර 97.1): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 103, දුශාන් විමුක්ති 40, මංජුල ද සොයිසා 28, අමිල අපොන්සු 7/71.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 304 (පන්දුවාර 78.5): රොෂේන් සිල්වා 109, ලහිරු මිලන්ත 58, චතුර පීරිස් 62, නලීන් ප්‍රියදර්ශන 5/52.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 234 (පන්දුවාර 82.4): ලක්ෂිත මධුශාන් 73, ඩිල්ශාන් ද සොයිසා 48, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 33, අමිල අපොන්සු 4/65.

රාගම ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 40 (පන්දුවාර 9): ලහිරු මිලන්ත 20*, දුශාන් විමුක්ති 2/9.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය අත්වුනු මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන් කෝල්ට්ස් ක්‍රීඩකයින් ලකුණු 374ක් රැස් කල අතර ඊට ප්‍රබල පිලිතුරක් ලබා දුන් සැරසන්ස් කණ්ඩායම ද ලකුණු 351ක් වාර්තා කළේය. ඒ අනුව ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය කෝල්ට්ස් කණ්ඩායම සතු වුනේ ලකුණු 23ක් තරම් සුළු පරතරයකිනි. තෙවැනි දිනයේ නිමාව සනිටුහන් වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි කෝල්ට්ස් ක්‍රිකට් සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 170ක් ලබා සිටියහ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 374 (පන්දුවාර 106.1): ඇන්ජෙලෝ ජයසිංහ 109*, ප්‍රභාත් ජයසූරිය 81, සදීර සමරවික්‍රම 56, චතුර රන්දුනු 6/94.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 351 (පන්දුවාර 103.2): මිලින්ද සිරිවර්ධන 45, සංගීත් කුරේ 57, ඉරෝෂ් සමරසූරිය 50, ප්‍රභාත් ජයසූරිය 4/67.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 170 (පන්දුවාර 53): හෂාන් දුමිඳු 65*, ප්‍රියමාල් පෙරේරා 39, චතුර රන්දුනු 3/62.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට