ඩිල්ශාන් මුණවීරට ද්විත්ව ශතකයක් මඟහැරෙයි

1245
SLC premier League 2016/17 tier A january 14th roundup

දේශීය ක්‍රිකට් පිටියේ විශිෂ්ඨයින් සොයා යන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරඟ 5ක් අද (14) ආරම්භ විය. එහිදී දිනයේ කැපී පෙනෙන පිතිකරණයක් වාර්තා වූයේ CCC කණ්ඩායම නියෝජනය කරන ඩිල්ශාන් මුණවීරගෙනි. එසේම වමත් පිතිකරු මිලින්ද සිරිවර්ධන ද අද සැරසන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ශතකයක් වාර්තා කරන ලදී.

පසුගිය ලිපි: NCC පරදා බදුරලිය ක්‍රීඩා සමාජය ජයග්‍රහණයේ සතුට සමරයි

කොළඹ ක්‍රිකට් සමාජය සහ BRC අතර තරඟය

ශ්‍රී ලංකා ජාතික පිළ ද නියෝජනය කළ දක්ෂ පිතිකරුවෙකු වන ඩිල්ශාන් මුණවීරගේ සුපිරි පිතිකරණයෙන් හැඩවුණු මෙම තරගය අද CCC පිටියේදී ආරම්භ විය. කාසියේ වාසිය දිනාගත් කොළඹ ක්‍රිකට් සමාජය මුලින් පන්දුවට පහර දීම තෝරාගත් අතර එම තීරණය 100%ක් නිවැරදි බව සනාථ කරමින් ලකුණු 326ක් ලකුණු පුවරුවේ සටහන් කරන්නට ඔවුන් සමත් විය.

ඒ වෙනුවෙන් විශිෂ්ඨ පිතිකරණයක නිරත වුනු දකුණත් පිතිකරු ඩිල්ශාන් මුණවීර දැකුම්කළු හතරේ පහර 21ක් සහ දැවැන්ත හයේ පහර 5ක් සමඟින් ලකුණු 191ක් රැස් කිරීමට සමත් විය. ටෙස්ට් පිටියේදී වුවද තම ප්‍රහාරාත්මක පිතිකරණය වෙනස් නොකරන ඔහුට අද මෙම දැවැන්ත ඉනිම වෙනුවෙන් වැය වූයේ පන්දු 179ක් පමණි. පන්දු යැවීමේදී දිනුක හෙට්ටිආරච්චි කඩුලු 6ක් බිඳ හෙලමින් BRC පිළ වෙනුවෙන් තම යුතුකම ඉෂ්ඨ කළේය. ප්‍රථම දිනය නිමාවන විට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින BRC කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 56ක් ලබාගෙන සිටියි.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 326 (පන්දුවාර 72.1): ඩිල්ශාන් මුණවීර 191, වනිඳු හසරංග 33, රොන් චන්ද්‍රගුප්ත 28, දිනුක හෙට්ටිආරච්චි 6/137, ඇන්ඩි සොලමන්ස් 3/70.

BRC – කිසිවෙකු නොදැවී ලකුණු 56 (පන්දුවාර 14):ලිසුල ලක්ෂාන් 32*, ලසිත් ලක්ෂාන් 24*.


ගාලු ක්‍රිකට් සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර තරඟය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුනු මෙම තරඟය ගාලු ක්‍රිකට් සමාජයට එතරම් සුබවාදී නොවීය. ඒ කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කල ඔවුන්ට ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 128ක් පමණක් වීම නිසාවෙනි.

ගාලු ක්‍රිකට් සමාජය වෙනුවෙන් දිල්හාන් කුරේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් රැස් කලද ඔහුගේ සහයට වෙනත් පිතිකරුවෙකු නොසිටීම හේතුවෙන් ගාලු පිළ දැවැන්ත පසුබෑමකට ලක්විය. තම දඟ පන්දුවෙන් ගාලු පිතිකරුවන් අසරණ කළ තරිඳු රත්නායක ලකුණු 25කට කඩුලු 4ක් බිඳ හෙලීය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන SSC පිතිකරුවන් එක් කඩුල්ලක් දැවී ලකුණු 121ක් ලබාගෙන සිටියි. නොදැවී පන්දුවට පහර දෙන මිනෝද් භානුක ලකුණු 73යි.

Photos: SL Army vs Saracens CC – SLC Premier League Tier ‘A’ Tournament

Photos of the SL Army vs Saracens – SLC Premier League Tier ‘A’ Tournament 2016/17

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 128 (පන්දුවාර 59.1): දිල්හාන් කුරේ 50, තරිඳු රත්නායක 4/25, සචිත්‍ර සේනානායක 2/30, විමුක්ති පෙරේරා 2/35.

සිංහල ක්‍රීඩා සමාජය – එක් කඩුල්ලක් දැවී ලකුණු 121 (පන්දුවාර 30): මිනෝද් භානුක 73*.


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර තරඟය

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සත්කාරකත්වය දරන මෙම තරඟයේ කාසියේ වාසිය හිමිවුනේ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයටයි. ඔවුන් මුලින් පන්දුවට පහර දීම තෝරා ගනිමින් සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 291ක් රැස් කළහ. හලාවත පිළ වෙනුවෙන් අරෝෂ් ජනෝද හතරේ පහර 4ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 80ක් වාර්තා කල අතර පාදඟ පන්දු යවන ක්‍රීඩක ලහිරු ප්‍රනාන්දු බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 6ක් දවා ගනිමින් පන්දුවෙන් සාර්ථක විය.

තවමත් ජයග්‍රාහකයෙකු පිලිබඳ අනාවැකි පළ කිරීමට නොහැකි අන්දමින් ගලායන මෙම තරඟයේ පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන බ්ලූම්ෆීල්ඩ් පිතිකරුවන් කඩුලු 4ක් දැවී ලකුණු 73ක් ලබා සිටියි. මේ වන විට ලකුණු 17ක් ලබාගෙන නොදැවී පන්දුවට පහර දෙන අදීශ නානායක්කාර අත මෙම තරගයේදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම වෙනුවෙන් වැඩි බරක් පැටවී ඇත.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 291 (පන්දුවාර 60.5): අරෝෂ් ජනෝද 80, ශෙහාන් ජයසූරිය 49, මහේල උඩවත්ත 38, සචිත්‍ර සේරසිංහ 25, ලහිරු ප්‍රනාන්දු 6/93, විනෝද් පෙරේරා 2/30, මලිත් ද සිල්වා 2/48.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 73 (පන්දුවාර 29): මධූක ලියනපතිරණගේ 2/13.


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟය

අද කොළඹ මුවර්ස් ක්‍රීඩා පිටියේදී ආරම්භ වුනු මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් මුවර්ස් ක්‍රීඩකයින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී. ඒ අනුව පිත්තෙන් සාර්ථක වුනු සැරසන්ස් ක්‍රීඩකයින් දිනය නිමාවෙද්දී සියල්ලන්ම දැවී ලකුණු 358ක් රැස් කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ද නියෝජනය කළ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මිලින්ද සිරිවර්ධන අද හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 121ක් වාර්තා කළේය. පන්දුවෙන් දුශාන් විමුක්ති කඩුලු 3ක් බිඳ හෙලන ලදී.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 358 (පන්දුවාර 87.2): මිලින්ද සිරිවර්ධන 121, උමේෂ් කරුණාරත්න 49, හර්ෂ කුරේ 43, චතුර රන්දුනු 30, දුෂාන් විමුක්ති 3/118, නලීන් ප්‍රියදර්ශන 2/41, විරාජ් පුෂ්පකුමාර 2/72.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරඟය

අද කොළඹ NCC පිටියේදී ආරම්භ වුනු මෙම තරඟයේ කාසියේ වාසිය කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට හිමිවිය. ඒ අනුව මුලින් පිතිකරණයේ යෙදීම තෝරාගත් ඔවුන් දිනය නිමාවන විට කඩුලු 8ක් දැවී ලකුණු 301ක් ලබා සිටි‍යි. නිමාවුනු ප්‍රිමියර් ලීග් තරඟ කිහිපය පුරාවට කෝල්ට්ස් පිළේ ගැලවුම්කරුවා බවට පත්වූ සදීර සමරවික්‍රම අද හතරේ පහර 12ක් සමඟින් ලකුණු 96ක් වාර්තා කළේය. ඔහුට අද තම පළමු පෙළ දිවියේ පස්වැනි ශතකය ලකුණු 4කින් අහිමි වූයේ සහන් නානායක්කාරගේ පන්දුවට කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබාදීම හේතුවෙනි. පන්දු යවන්නෙකු ලෙස ප්‍රසිද්ධව සිටියත් මෑත කාලයේ පිත්තෙන් සාර්ථක වූ අකිල ධනංජය මේ වන විට නොදැවී ලකුණු 59ක් රැස් කරගෙන සිටියි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 301 (පන්දුවාර 90): සදීර සමරවික්‍රම 96, අකිල ධනංජය 59*, විශාද් රන්දික 53, අමිල අපොන්සු 5/68.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට